දරු උපතට කිට්ටු වන විට හිතේ තියෙන බලාපොරොත්තු, නොඉවසිල්ල, සතුට වැඩි වෙනවා වගේම, නිතැතින්ම පොඩි චකිතයක්, තිගැස්මක් ඇති වීමත් සාමාන්‍යයි. දරු උපත ගැන අද බෙදා ගන්න මේ කරුණු, එහෙම පොඩි හරි චකිතයකින් ඉන්න මවකට තියෙන ගැටලුවලට විසඳුමක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

දරුවා ලැබෙන කාලය සහ දිනය
අපි කාටවත් දරුවෙකු ලැබෙන දිනය සහ ක්‍රමය නිවැරදි ලෙස කලින් කියන්න බැහැ. දරු ගැබට සති 10ක් 13ක් අතරදී කරන scan පරීක්ෂණයේදී, දරුවාට සති 40ක් පිරෙන දිනය අපි නිශ්චය කරනවා. Due date කියලා එහෙම නැත්නම් EDD (Expected Delivery Date) කියලා අපි සටහන් කරන්නේ මේ දවසයි. හැබැයි හරියටම මේ දවසටම බබා ලැබෙන්න ඕන කියලා එකක් නැහැ. සමහර අම්මලට ඒ දවස පහු වෙලා දවස් කිහිපයක් ගියත් කැක්කුම් එන්නේ නැහැ. මෙය බොහොම සාමාන්‍ය තත්ත්වයක්. දවස් ළං වෙලත් පොඩ්ඩක්වත් කැක්කුම ආවේ නැහැ කියලා බය වෙන්න ඕන නැහැ.
ඒ වගේම සමහර වෙලාවට Due date එකට කලින් කැක්කුම පටන් අරගෙන බබා ලැබෙනවා. සති 37ක් කලලයට පිරුණාම ඒ බබා 96% – 99% ක්ම මෝරලා කියලා තමයි අපි සලකන්නේ. ඉතින් ඒ සතිවලදී දරුවෙකු බිහි වුණා කියලා ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. Baby room දාන්න හෝ හුස්ම ගන්න සහයක් අවශ්‍ය වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්.
සමහර වෙලාවට දරුවාගේ වර්ධනය අඩු වෙන්න ගත්තොත්, අම්මාට pressure ආවොත්, එහෙම නැත්නම් සීනි හැදිලා ඉන්සියුලින් ගන්න වුණොත් වගේ වෙලාවක අපි සති 37න් පස්සේ බබා delivery කරමු කියලා අම්මාට යෝජනා කරනවා. එහෙම ගන්න දරුවෙකු සහ සති 40 පිරුණු දරුවෙකු අතර සැලකිය යුතු වෙනසක් නැහැ.
හැබැයි මේ වගේ විශේෂ අවශ්‍යතාවක් නැත්නම් සති 39/40 වෙනකම්ම බබාට හොඳම ස්ථානය මවු කුසයි. මොකද සති 39 දක්වාම දරුවාගේ ශ්වසන පද්ධතියේ, ස්නායු පද්ධතියේ සියුම් වර්ධනය වීම් මවු කුස තුළ සිදු වෙනවා. මේ දේ විශේෂයෙන්ම සඳහන් කළේ සමහර මවුවරු මාස 9ක් පිරුණු ගමන්ම අපෙන් අහනවා “Doctor, දැන් මාස 9කුත් ඉවරයිනේ, මටත් අමාරුයි… බබා ගමුද?” කියලා.
Due Date එක පහු වෙලා කොච්චර දවස් බලන්න පුළුවන්ද?
කැක්කුම දිගටම එන්නේ නැත්නම්, අපිට ගොඩාක් දවස් ඉබේම කැක්කුම එනකම් බලාගෙන ඉන්නත් හැකියාවක් නැහැ. මොකද සති 40න් පස්සේ කල් යන්න යන්න වැදෑමහේ (placenta) ක්‍රියාකාරිත්වය අඩු වෙනවා. බටහිර රටවල නම් සති 42ක් දක්වාම ඉබේ කැක්කුම එනකම් බලන අවස්ථා තියෙනවා. හැබැයි ආසියානු රටවල placenta එකේ ක්‍රියාකාරිත්වය ඊට කලින් අඩු වෙන්න පටන් ගන්න නිසා, අපි සති 40 – 41 අතරදී හෙමින් දරුවා බිහි කරන්න බොහෝ විට ලෑස්ති කරනවා.
ඉබේ ප්‍රසව වේදනා එනකම් කොච්චර දවසක් බලාගෙන ඉන්නවාද, එහෙම නැත්නම් ඊට කලින් කැක්කුම හදවලා හරි සිසේරියන් ශල්‍යකර්මයක් මඟින් බබාව ගන්නවාද කියලා තීරණය කරන්න ඔබේ වෛද්‍යවරයා කරුණු ගණනාවක් පරීක්ෂා කරනවා. බබාගේ බර, බබාගේ බර වැඩි වීමේ වේගය, බබා වටේ තියෙන වතුර මට්ටම, බබාට රුධිර සැපයුම ගැටලුවක් නැතුව ලැබෙනවාද වගේ දේවල් මේ අතර තියෙනවා. සමහර විට ඒ දේවල් මත Due Date එකට පොඩ්ඩක් කලින් බබා ගන්නත් වෛද්‍යවරයා යෝජනා කරනවා.
කැක්කුම ආවේ නැත්නම් සීසර් ද?
Due date එක ලං වෙද්දී, ගැබ්ගෙල දරු ප්‍රසූතියට ලෑස්ති කරලා සහ ගැබ්ගෙල විවර කරලා, ප්‍රසව වේදනා කෘත්‍රිමව ඇති කරන්න හැකියාව තිබෙනවා. මේ සඳහා යෝනි මාර්ගයෙන් ඇතුළු කරන පෙති (PG), හෝ පොඩි කැතීටරයක් සහ කැනියුලාවක් මඟින් ලබා දෙන ඔක්සිටොසින් කියන ඖෂධය භාවිත කරනවා. හැබැයි මෙය සෙමින් සිදු කරන, සමහර විට දින කිහිපයක් ගතවන ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. ඒ විදිහට මුලින් කැක්කුම පොඩ්ඩක්වත් නැති අම්මා කෙනකුට වුණත් අවසානයේදී බොහොම සාමාන්‍ය දරු උපතක් සිදු කරන්න හැකියාව තිබෙනවා.
සීසර් ද නෝමල් ද?
අපේ අම්මලා බහුතරයකට තිබෙන ගැටලුවක් තමයි මේ. සමහර අම්මලා සීසර් ශල්‍ය සැත්කමට අධික අකැමැත්තක් හෝ බියක් දක්වනවා. අනිත් අම්මලා කොහොම හරි සීසර් සැත්කමක් කරලා බබා අරන් දෙන්න කියලා ඉල්ලනවා. මේ ක්‍රම දෙකම දරුවකු බිහි කිරීමේ සම්මත ක්‍රම. අපිට අද රටේ තිබෙන සෞඛ්‍ය පහසුකම් එක්ක මේ ක්‍රම දෙකෙන් කුමකින් වුණත් ආරක්ෂිතව දරුවකු බිහි කරන්න හැකියාවක් තිබෙනවා.
නමුත් ඔබේ වෛද්‍යවරයා ඔබට යෝජනා කරනවා නම් සාමාන්‍ය දරු උපතක් සඳහා ඔබට හැකියාව තියෙනවා කියලා, ඒ සඳහා උත්සාහ කිරීම තමයි ආරක්ෂිතම දේ. සීසර් කරලා ලැබෙන බබාලා දුර්වලයි වගේ මත නම් 100% බොරු කියලා අපේ අම්මලා දන්නවා. සිසේරියන් සැත්කමකදී රුධිර වහනය වෙන්න වගේම මූත්‍රාශයට හානි වෙන්න තියෙන අවදානම සාපේක්ෂව පොඩ්ඩක් වැඩියි. ඒ වගේම එක් වරක් සිසේරියන් සැත්කමකට බඳුන් වුණු කාන්තාවක් දෙවැනි වරන් සාමාන්‍ය දරු උපතක් සිදු කිරීමේදීත් අමතර අවදානමක් තියෙනවා. සාමාන්‍යයෙන් එක් මවකට බරපතළ අවදානමක් නැතුව තුන් වතාවක් වගේ සිසේරියන් ශල්‍යකර්මයට මුහුණ දෙන්න හැකියාව තියෙනවා.
අඬු දාලා බබාලා ගන්නේ ඇයි?
Forceps, වැකියුම් (Vacuum) ක්‍රමවලට සමහර අවස්ථාවලදී බබාලා බිහි කරන අවස්ථා තිබෙනවා. දරුවකු උපත් මාර්ගයේ පහළටම ඇවිත් ගැබ්ගෙලත් සම්පූර්ණයෙන් විවර වුණාට පසු මවට දරුවා බිහි කරන්න තව පැයක් දෙකක් යන අවස්ථා තිබෙනවා. නමුත් ඒ අතරතුර බබාට ලැබෙන රුධිර ප්‍රමාණය අඩු වෙන්න පටන්ගන්න පුළුවන්. ඇතැම් මවකට අධික තෙහෙට්ටුව නිසා බබාව Push කරන්න අපහසු වෙන්නත් පුළුවන්. දරුවා පහළටම ඇවිත් ඉන්න නිසා මේ වගේ අවස්ථාවක කරන සිසේරියන් ශල්‍යකර්මයක් සාමාන්‍යයෙන් වැඩි අවදානමක් තියෙනවා කියලා තමයි සලකන්නේ.
බොහෝ වෙලාවට ඊට වඩා අඩු අවදානමකින් පළපුරුදු වෛද්‍යවරයකුට Forceps හෝ වැකියුම් උපකරණ භාවිතයෙන් දරුවා, විනාඩි කිහිපයක් ඇතුළත උපත් මාර්ගය මඟින් බිහි කරන්න මවට සහය වෙන්න පුළුවන්. කලාතුරකින් මවට හෝ දරුවාට සංකූලතා (complications) එන්න ඉඩ තිබුණත් දරුවකු බිහි කිරීමේ සම්මත ආරක්ෂාකාරී ක්‍රම විදියට තමයි forceps සහ වැකියුම් ක්‍රම සලකන්නේ. ඒක නිසා දරු ප්‍රසූතියේ අවසාන මොහොතේදී වෛද්‍යවරයා යෝජනා කළොත් මෙවැනි ක්‍රමයකට යොමු වෙන්න කලබල වෙන්නේ නැතිව ඔබේ සහය දීම ඉතා වැදගත්.
Normal ගන්න ගිහින් සීසර් කරන්නේ ඇයි?
සමහර වෙලාවට හැම දේම සාමාන්‍ය විදියට පැවතුණු ගර්භිණී සමයක් වුණත් labour room එකට ගියාට පස්සේ වෙනත් අතකට හැරෙන වෙලාවල් තියෙනවා. මොකද ප්‍රසව වේදනා පටන් ගත්තාම තමයි, සමහර වෙලාවට දරුවාට ලැබෙන රුධිර සැපයීම අඩු වෙන්න පටන් අරන් දරුවාගේ heart rate එක අඩු වෙන්න පටන් ගන්නේ. සමහර වෙලාවට water bag එක කැඩුණාට පස්සේ අපිට දැනගන්න ලැබෙනවා දරුවා අම්මගේ බඩේ ඉන්න කොටම මවපහ පිට කරලා කියලා. අපි meconium (මිකෝනියම්) pass කළා කියන්නේ මේ තත්ත්වයටයි. මිකෝනියම් පිට කරලා තිබුණා කියලා විතරක්ම සීසර් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි ඒ වගේ අවස්ථාවක දරුවාට යම් අවදානමක් ඇති වෙනවා.
සමහර වෙලාවට මවට ප්‍රසව වේදනා ආවත් දරුවා උපත් මාර්ගය දිගේ පහළට ඒමක් වෙන්නේ නැහැ. සමහර වෙලාවට labour එකේදී බබා ලැබෙන්න කලින් අම්මගෙන් bleed වෙන්න පටන්ගන්නවා, පෙකණි වැල (cord එක) එළියට ඒමක් වෙනවා, pressure එක වැඩි වෙන්න පටන් ගන්නවා හෝ උණ හැදෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්ත්වයන් එක්ක කලින් සාමාන්‍ය දරු උපතක් සැලසුම් කළ මවකට වුණත් අවසානයේ සිසේරියන් ශල්‍යකර්මයකින් දරුවා ලැබෙන වෙලාවල් තියෙනවා. හැබැයි එහෙම වුණා කියලා බොහෝ විට දිගුකාලීන ගැටලු කිසිවක් ඇති වෙන්නේ නැහැ.
එපිස් (Episiotomy) දෙන්නේ ඇයි?
විටපීය කැපුම එහෙම නැත්නම් අපේ අම්මලා දන්න විදිහට එපිසියෝටෝමි කැපුම, ප්‍රසවයේ ටිකක් අමිහිරි අත්දැකීමක්. දරුවා ලැබෙන මොහොතේ යෝනි විවරය දරුවාගේ හිසේ ප්‍රමාණයට විශාල වෙන්න ඕනේ. හැබැයි සමහර විට එහෙම විශාල වෙද්දී එන තෙරපුමත් එක්ක ගුද මාර්ගයට හානි වෙන්න ඉඩකුත් තියෙනවා. ඉතින් ඒ අවදානම අවම කරන්න ප්‍රසවයේ අවසාන මොහොතේදී එපිසියෝටෝමි කැපුමක් යොදනවා. මෙය සාමාන්‍යයෙන් 2-4 cm වගේ කුඩා කැපුමක්. හොඳින් හිරි වට්ටන්න බෙහෙත් දීලා තමයි එය යොදන්නේ. බබා ලැබුණාම විනාඩි කිහිපයක් ඇතුළත එය නැවත මහනවා. මහද්දීත් හිරි වැටෙන්න බෙහෙත් දෙනවා. සහ මෙයින් එන වේදනාව නැති වෙන්න දරු ප්‍රසූතියෙන් පසු වේදනා නාශක මවට ලබා දෙනවා.
කලාතුරකින් මෙය පැසවලා මැහුම් ලිහෙන්න පුළුවන්. ඒක නිසා එය සනීප වන තුරු පිරිසුදුකම ඉතා වැදගත්. හැබැයි මැහුම් ලිහුණොත් ආපහු මැහුම් යොදන්න පුළුවන් වගේම දිගුකාලීන ගැටලු මුකුත් ඇති වෙන්නෙත් නැහැ.
