මිනිස් අවශ්‍යතා සපුරාලීමට පරිසරයෙන් ලැබෙන බොහෝ දෑ අතරට ශාක ලෝකයෙන් ලැබෙනුයේ මහත් සේවාවකි. අත්‍යවශ්‍යම කාරණා අතරට ගැනෙන ලෙඩ රෝගවලදී අවශ්‍ය වන ඖෂධ සඳහා
ශාක ලෝකය ඉදිරියෙන් සිටියි. “ගහක මුලකි පත්‍රයක් ගෑවුණත් ඇති ලෙඩ රෝග සුව වන්නට” යන මතය පැවතෙන්නේ ශාක ලෝකයේ පවතින විසිමිත බව අතීතයේ ගැමියා දන්නා බැවිනි. ඒ අනුව ඒ විසිමිත ශාක ලෝකයේ අරුමයට මෙවර එකතු වන මේ ඖෂධීය ශාකවල වටිනාකම හඳුනාගනිමු.
සන්ධි රෝග සුවයට භාවිත කරන – එඬරු
සුදු එඬරු, වැට එඬරු, රතු එඬරු යනුවෙන් එඬරු වර්ග ඇත. මෙවා ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වැවෙන අතර අඩි 05ක් 10ක් පමණ උසට වැවෙන ශාකයකි. උෂ්ණ ගුණය පවතී. කටුක රසය ඇත. මෙහි කප හා වාතය සමනය කිරීමේ ගුණය ද ඇත. ඖෂධීය ප්‍රතිකාර ලෙස එඬරු තෙල් ඉතාමත් ජනප්‍රිය වේ. පිත සමනය කිරීමේ හැකියාව ඇත. මුල්, පොතු, කොළ, ගෙඩි ඖෂධ වශයෙන් භාවිත කරයි. එඬරු ඇටවලින් සාදන ලද තෙල්වලින් පිත සමනය වේ. උණ රෝගය සඳහා සුදුසුය. ඉදිමුමට ගුණදායක වේ. සන්ධි වේදනා, ශ්වාස රෝගවලට හා කුෂ්ට සඳහා එඬරු යෝග්‍ය වේ. ප්‍රමේහයන්ට, ප්ලීහා රෝගවලට ද ගුණදායකයි. වාතරක්ත රෝගයට හා හර්නියා (අන්ත්‍රවෘද්ධි) රෝගවලදී එඬරු භාවිත කරයි. ආම වාතයෙන් ඇති වන වේදනා සමනය කිරීමේ ගුණය ඇත. හෘද රෝග සමනය කරයි. එඬරු තෙල්වලින් පිත් වර්ධනය කරයි. නමුත් එඬරු තෙලෙන් සමනය වන්නේ පිතයි. වාත වේදනාව අඩු කරයි. සෙම සමනය කරයි. ශ්වසන රෝග දුරු කරයි. පණු රෝග දුරු කරයි.
සන්ධි ඉදිමීමේදී එඬරු කොළ, අමු කහ කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා තැවීමෙන් අඩුවේ. මේදය අඩු කිරීමේ ගුණය පවතින නිසා අධික ස්ථුලතාවට යොදන කසායවලදී එඬරු මුල් භාවිත කරයි. තැළුම් වූ අවස්ථාවකදී හා ඉදිමුමකදී එඬරු ගසේ පංචාංගයම ගෙන කොටා එඬරු තෙලින් අලවා බැඳීමෙන් සුව කර ගත හැකියි. එඬරු ඇටවලින් සාදාගත් තෙල්, කැඩුම් බිඳුම්වලදී යොදන ඖෂධ ප්‍රතිකාරවලට බහුලව යොදා ගනී. මේ සඳහා පත්තු බැඳීම පිණිස යොදන මැල්ලුමම උපයෝගි කර ගනී. සන්ධි වේදනාවලට යොදන පත්තු ලෙස ද එඬරු භාවිත කරයි. සාදාගත් මැල්ලුම බැඳීමට එඬරු පත්‍ර උපයෝගි කර ගැනීමෙන් ඖෂධීය වටිනාකම වැඩි කර ගත හැකියි. සන්ධි වේදනාවලදී ද එඬරු කොළ තම්බා එම වතුරින් සෝදා තැවීමෙන් රෝග සුව වේ.
රෝග රැසකට සුවය ගෙනෙන – නික කොළ
අඩි 10 ක් පමණ උසට වැඩෙන අතු බෙදී යන නික ශාකය ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වැවෙන අතර බහුලව වැවෙන්නේ වියළි කලාපයේය. මේ ශාකයට හිරු එළිය අත්‍යවශ්‍යය. නික ඖෂධීය ශාකයකි. කොළ, මුල්, පොතු, මල්, ඖෂධ ලෙස භාවිත කරයි. සෙම හා වාතය සමනය කිරීමේ ගුණය සහ වේදනාව සමනය කිරීමේ ගුණය ඇත. නික කොළ කොටා වණ්ඩුවේ තම්බා තැවීමෙන් සන්ධි වේදනා අඩුවී යයි. මෙහිදී වේදනාව හා ඉදිමුම අඩුවේ. වාතය කෝප වීම නිසා ඇති වන හිසරදය හා සෙම කෝප වීම නිසා ඇති වන හිසරදය යන රෝග තත්ත්ව නික කොළ, හීන් උඳුපියලිය සමව ගෙන කොටා වණ්ඩුවේ තම්බා තැවීමෙන් අඩු කර ගත හැකියි. අනවශ්‍ය සෙම් කොටස් බැහැර කිරීමේ ගුණය ඇත. එබැවින් ශීර්ෂය (හිස හා ගෙල) ආශ්‍රිතව පවතින අනවශ්‍ය සෙම් කොටස් බැහැර කිරීමට නික කොළ යුෂ මෙන්ම නික ශාකය යොදා සාදන ලද තෙල් වර්ග බහුල වශයෙන් භාවිත කරයි. හිසකෙස් පෝෂණයෙන් වඩයි. එසේම හිසකෙස්වලට ගුණදායක වේ. අකලට කෙස් වැටීම හා පැසීම අඩුවී යයි.
ශ්වසන රෝගවලට ද භාවිත කළ හැකිය. පත්‍ර පුලුස්සා දුම් ඇල්ලීමට භාවිත කරයි. නික මුල් පක්ෂාඝාත (අංශභාග) රෝගවලදී භාවිත කරන කසායට ගනී. නික කොළ, පාවට්ටා කොළ, එඬරු කොළ සමඟ අමු ඉඟුරු සමඟින් කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා තැවීමෙන් වයස්ගත වීම නිසා ඇති වන සන්ධි රෝග අඩුවේ. නික කොළ තම්බා තැවීමෙන් තැළුම් සුව වී යයි. මාංස පේශි ඉරීම නිසා ඇති වන වේදනාව ද අඩුවී යයි.
ඇස් රුදාවට – දෙළුම්
හිරු එළිය හොඳින් පතිත වන ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වැවෙන දෙළුම් අලංකාරය පිණිස ද වවනු ලබයි. මෙය ඖෂධයක් සේම පලතුරක් ද වේ. ඖෂධ ලෙස ගෙඩි, මල්, මුල්, පොතු, කොළ, දලු භාවිත කරයි. දෙළුම් ශරීර ශක්තිය වර්ධනය කරයි. දෙළුම් ඇටවල පවතින මාංශමය කොටස සිරුරට ශක්තිය ලබා දෙන කොටසයි. මෙම ගසේ පවතින කහට රසය මිනිස් සිරුරේ ලේ පිටතට ගලා යෑම නවතාලිය හැකි ඖෂධයකි. ගෙඩිවල ඇත්තේ මධුර රසයයි. නාසයෙන් රුධිරය ගලන විටදී දෙළුම් මල් තළා මිරිකා ගත් යුෂ බිංදු කිහිපයක් නාසයට දැමීමෙන් ලේ ගැලීම නතර කළ හැකියි. දෙළුම් ගෙඩියේ ලෙල්ල තම්බා ගත් වතුරට සීනි, මී පැණි දමා බොන්න දීමෙන් ලේ කැටි ගැසීමේ ගුණය වැඩි කර ගත හැකියි. මල කැටි කර දෙයි. මලපහ වීම බුරුල් කර දෙයි. අම්ලපිත්ත රෝගයට සුදුසුයි. ඉදුණු දෙළුම් යුෂ, පානය කිරීමෙන් ආමාශයේ දාහය අඩුවේ. පණු රෝගවලට සුදුසුයි. විශේෂයෙන් දෙළුම් මුලේ පොතු තම්බා සහිඳ ලුණු ටිකක් දමා පානය කිරීම පණු රෝගයට ගුණ දෙයි. අභිෂ්‍යන්දය හෙවත් ඇස් රුදාවට සුදුසුයි. දෙළුම් දලු තම්බා සේදීමෙන් ඇස් රතු වීම හා ඉදිමුම අඩුවී යයි. ඇසේ තැල්මකදී දෙළුම් දලු තම්බා තැවීම කළ හැකියි. සම වර්ණවත් කරයි. කෙස් වඩයි. කෙස් දීප්තිමත් කරයි. සම පැහැපත් කරයි. ඇස් නොපෙනීම දුරු කරයි. ඇස් දීප්තිමත් කරයි.
TEXT – ඉරේෂා ගුණසේකර
