Monday, April 27, 2026
Epaper
Home වෛද්‍යඇදවුණු කොන්දේ සැඟවුණු මාරයා ස්කෝලියෝසිස්

ඇදවුණු කොන්දේ සැඟවුණු මාරයා ස්කෝලියෝසිස්

by Shanaka Lakehouse

වර්තමානයේ බො‍ෙහාමයක් දරු දැරියන් පෙළෙන රෝගී තත්ත්වයක් ලෙස හඳුනාගත හැකි, ස්කෝලියෝසිස් (Scoliosis) නම් රෝගය, කොන්දේ අස්ථි පද්ධතියේ ඇති වන අසාමාන්‍ය ඇදවීමක් ලෙස හඳුනාගත හැකිය. සාමාන්‍යයෙන් නීරෝගි අයෙකුගේ කොන්ද පිටුපසින් බලන විට ඝෘජුව පෙනුණද, ස්කෝලියෝසිස් තත්ත්වයේදී එය ‘S’ හෝ ‘C’ අකුරක හැඩයට පැත්තකට ඇඹරී පවතී. මෙම තත්ත්වය ඉක්මනින් හඳුනාගැනීමට අපහසු වන අතර මෙය සාමාන්‍ය තත්ත්වයක් ලෙස සිතා නොසලකා හැරීම තුළින් මෙම කොන්දේ ඇදවීම බරපතළ විය හැකිය.

මෙහි පවතින ප්‍රධාන ලක්ෂණ පිළිබඳව සලකා බැලීමේදී:

●  ෙපස උරහිස් මට්ටම් එකිනෙකට වෙනස් වීම (එක් උරහිසක් අනෙකට වඩා ඉහළින් පිහිටීම).

● ඉණ දෙපස අසමාන වීම.

● එක් පැත්තක උරහිස් තලය (Shoulder blade) අනෙක් පැත්තට වඩා නෙරා තිබීම.

● ඉදිරියට නැමෙන විට කොන්දේ එක් පැත්තක් ඉහළට නෙරා පෙනීම, වැනි කාරණා හඳුනා ගත හැකිය.

මෙම රෝගය ඇති වීමට බලපාන ප්‍රධාන හේතු මොනවාද?

● හඳුනාගත නොහැකි හේතු (Idiopathic): බොහෝ විට (80% ක් පමණ) මෙයට නිශ්චිත හේතුවක් සොයාගත නොහැකිය. මෙය බොහෝ විට නව යොවුන් වියේ (අවුරුදු 10-15 අතර) දරුවන් තුළ දැකිය හැකිය.

● උපතින් ඇති වන තත්ත්ව (Congenital): කලලය මවගේ කුස තුළ වැඩෙන විට කොන්දේ ඇට පෙළ නිසි ලෙස වර්ධනය නොවීම.

● ස්නායු හා පේශි ආශ්‍රිත ගැටලු (Neuromuscular): මස්තිෂ්ක අාඝාතය (Cerebral Palsy) වැනි රෝගී තත්ත්වයන් නිසා ඇති වන බලපෑම ලෙස හඳුනාගත හැකිය.

Scoliosis ඇති වන ආකාරය අනුව ප්‍රධාන කොටස් කිහිපයකට බෙදිය හැකිය

● නව යොවුන් වියේ ඇති වන ස්කෝලියෝසිස් (Adolescent Idiopathic Scoliosis – AIS): මෙය වඩාත් බහුල වර්ගයයි. වයස අවුරුදු 10ත් 18ත් අතර දරුවන්ගේ ශරීරය වේගයෙන් වර්ධනය වන කාලය තුළ මෙය මතු වේ. ගැහැනු දරුවන් අතර මෙය පිරිමි දරුවන්ට වඩා 8 ගුණයකින් පමණ වැඩියෙන් දැකිය හැකිය.

● පිරිහෙන ස්කෝලියෝසිස් (Degenerative Scoliosis): වයස්ගත පුද්ගලයින්ගේ කොන්දේ ඇති කාටිලේජ (Discs) සහ සන්ධි ගෙවී යාම නිසා කොන්ද පැත්තකට ඇඹරීම මෙහිදී සිදු වේ.

● ස්නායුපේශී ස්කෝලියෝසිස් (Neuromuscular Scoliosis): ස්නායු පද්ධතියේ දුර්වලතා හෝ මාංස පේශි ක්ෂය වීම (Muscular Dystrophy) වැනි රෝගී තත්ත්වයන් නිසා කොන්දේ සමබරතාවය ගිලිහී යාමෙන් මෙය ඇති වේ.

ප්‍රතිකාර ක්‍රම පිළිබඳව දැනුවත් වෙමු

ප්‍රතිකාර තීරණය වන්නේ කොන්දේ ඇදවීමේ ප්‍රමාණය (Curve angle) සහ රෝගියාගේ වයස මතය.

නිරීක්ෂණය (Observation)

ඇදවීම ඉතා සුළු මට්ටමක පවතී නම්, වෛද්‍යවරුන් වරින් වර එය පරීක්ෂා කරමින් නිරීක්ෂණය කරයි.

පටි පැලඳීම (Bracing)

ඇටකටු තවමත් වර්ධනය වන දරුවන්ගේ ඇදවීම වැඩි වීම වැළැක්වීම සඳහා විශේෂිත පටි (Brace) පැලඳීමට උපදෙස් දෙනු ලැබේ.

භෞත චිකිත්සාව (Physiotherapy) කොන්දේ මාංස පේශි ශක්තිමත් කිරීමට සහ ඉරියව් නිවැරදි කිරීමට ව්‍යායාම උදවු වේ.

ශල්‍යකර්ම (Surgery)

ඇදවීම ඉතා දරුණු මට්ටමක පවතී නම්, එය නිවැරදි කිරීමට ශල්‍යකර්ම සිදු කරනු ලැබේ.

රෝග විනිශ්චය කරන්නේ කෙසේද? (Diagnosis)

ඇඩම්ගේ ඉදිරියට නැමීමේ පරීක්ෂණය (Adam’s Forward Bend Test): රෝගියා ඉදිරියට නැමෙන විට කොන්දේ එක් පැත්තක ඉළ ඇට (Rib hump) ඉහළට නෙරා තිබේදැයි වෛද්‍යවරයකුගේ පරීක්ෂාවට ලක් වේ.

● එක්ස්-රේ (X-ray)

කොන්දේ ඇදවීමේ ප්‍රමාණය මැනීමට මෙය අත්‍යවශ්‍ය වේ. මෙහිදී මනිනු ලබන කෝණය “කොබ් කෝණය” (Cobb Angle) ලෙස හැඳින්වේ.

● ඇදවීම 10° ට වඩා අඩු නම් එය සාමාන්‍ය තත්ත්වයකි.

● 25° – 40° අතර නම් පටි (Bracing) පැලඳීමට උපදෙස් දෙයි.

● 45° – 50° ට වඩා වැඩි නම් ශල්‍යකර්මයක් නිර්දේශ කළ හැකිය.

ප්‍රතිකාර නොකිරීමේ සංකූලතා (Complications)

ස්කෝලියෝසිස් තත්ත්වය දරුණු වුවහොත් ශරීරයේ අභ්‍යන්තරයට බලපෑම් ඇති විය හැකිය.

ශ්වසන අපහසුතා

පෙණහලු පිහිටි කුහරය (Rib cage) තෙරපීම නිසා හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය හැකිය.

හෘද රෝග

හදවතට ඇති ඉඩකඩ සීමා වීම නිසා රුධිර සංසරණයට බාධා ඇති විය හැකිය.

දිගු කාලීන කොන්දේ කැක්කුම:

වයසට යත්ම කොන්දේ දැඩි වේදනාවක් සහ අපහසුතාවක් ඇති වීමට ඉඩ ඇත.

මනෝවිද්‍යාත්මක බලපෑම

සිරුරේ පෙනුම වෙනස් වීම නිසා දරුවන් තුළ මානසික පීඩනයක් හෝ ආත්ම විශ්වාසය අඩුවීමක් ඇති විය හැකිය.

මවුපියන්ගේ යුතුකම වන්නේ, දරුවෙකු කුඩා කාලයේදී ශරීරයේ වෙනස්කම් පවතිනවාද යන්න නිරීක්ෂණය කොට, ඒ පිළිබඳව වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීමයි.

 

TEXT – ෂෙරොනි සුභසිංහ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?