Monday, April 27, 2026
Epaper
Home වෛද්‍යනෝමල් සේලයින් ගැන ඔබත් දැනුවත් ද?

නෝමල් සේලයින් ගැන ඔබත් දැනුවත් ද?

by Shanaka Lakehouse

අද කාලයේ රෝහල්වල බහුලවම භාවිත වන ද්‍රාවණයක් ලෙස Normal Saline (සාමාන්‍ය සේලයින්) හැඳින්විය හැකියි. ලුණු (Sodium Chloride) සහ ජලයෙන් පමණක් සෑදූ මෙම ද්‍රාවණය, සරල වුවත් වෛද්‍ය ක්ෂේත්‍රයේ අත්‍යවශ්‍යම භූමිකාවක් ඉටු කරයි. “Normal” යනුවෙන් නම් කර ඇත්තේ එහි ලුණු සාන්ද්‍රණය මිනිස් රුධිරයේ ලුණු මට්ටමට ඉතා සමීප බැවිනි. සාමාන්‍යයෙන් භාවිත වන්නේ 0.9% සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය වන අතර, එය ශරීරයට ආරක්ෂිත ලෙස යෙදිය හැකි ද්‍රව්‍යයකි. මෙම ලිපිය ගෙන එන්නේ බොහෝ රෝග තත්ත්ව සඳහා භාවිතයට ගැනෙන සාමාන්‍ය සේලයින් ගැන අවබෝධයක් ලබා දීමටයි.

ඖෂධ කාණ්ඩය සහ ස්වභාවය

Normal Saline “Isotonic Crystalloid Fluid” යන කාණ්ඩයට අයත් වේ. Isotonic යනුවෙන් අදහස් වන්නේ එහි ද්‍රව්‍ය සාන්ද්‍රණය රුධිරයට සමාන වීමයි. ඒ නිසා මෙය සෛලවලට හානි නොකර ශරීරයේ දියර සමතුලිතතාව පවත්වා ගැනීමට උපකාරී වේ. Crystalloid Fluids ලෙස හැඳින්වෙන්නේ ජලය සහ කුඩා ද්‍රව්‍ය (ලුණු වැනි) දියවී ඇති ද්‍රාවණයන්ය. මෙම ලක්ෂණ නිසා, ශරීරයේ ජලය අඩුවීම (Dehydration) ඇති අවස්ථාවලදී එය ඉතාමත් සුදුසු ද්‍රාවණයක් වේ.

අඩංගු ද්‍රව්‍ය සහ සංයුතිය

සාමාන්‍ය සේලයින්හි අඩංගු වන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් සහ විෂබීජ රහිත ජලය පමණි. 0.9% යනුවෙන් අදහස් වන්නේ ජලය මිලි ලීටර් 100කට සෝඩියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 0.9ක් අඩංගු වීමයි. ඒ අනුව ලීටර් 1ක ද්‍රාවණයක ලුණු ග්‍රෑම් 9ක් පමණ අඩංගු වේ. මෙහි සීනි, විටමින් හෝ කැලරි නොමැති බැවින්, එය ආහාරයක් ලෙස නොව දියර සහ ලවණ පුරවීම සඳහා පමණක් භාවිත කරයි. මෙය විශේෂයෙන් Sterile (විෂබීජ රහිත) ලෙස සකස් කර ඇති නිසා ආරක්ෂිතව වෛද්‍ය භාවිතයට යොදාගත හැකියි.

ශරීරය තුළ ක්‍රියා කරන ආකාරය

සාමාන්‍ය සේලයින් ශරීරයට ඇතුළු වූ විට සෝඩියම් සහ ක්ලෝරයිඩ් ලෙස බෙදී, දියර සමතුලිතතාව පවත්වා ගැනීමට දායක වේ. මෙය රුධිර නාළිකාවල පවතිමින් රුධිර ප්‍රමාණය වැඩි කරයි. ඒ අනුව, රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත් කරයි; හෘදයේ ක්‍රියාකාරිත්වය සක්‍රිය කරයි; මොළය සහ වකුගඩු වැනි අවයව වෙත රුධිර ප්‍රවාහය වැඩි කරයි. මෙය වමනය, පාචනය, උණ හෝ ලේ අහිමිවීම නිසා අහිමි වන දියර නැවත ලබාදීමට උපකාරී වේ.

භාවිත කරන ප්‍රධාන අවස්ථා

සාමාන්‍ය සේලයින් රෝහල්වල හා නිවෙසේදී බොහා ආකාරවලින් භාවිතා වේ. රෝහල්වල භාවිතයේදී IV බිංදු ලෙස ජලය අඩුවීම සුව කිරීමට, Shock, Sepsis වැනි හදිසි තත්ත්වවලදී, සැත්කම් අතරතුර හා පසු, ඖෂධ මිශ්‍ර කිරීමට සහ රුධිර පාරවිලයනයේදී භාවිත කරයි. නිවෙසේදී නාසය වැසී යෑමට නාසික බිංදු ලෙස, තුවාල පිරිසුදු කිරීමට, නෙබියුලයිසර් සඳහා සහ ඇස් සේදීමට භාවිත කරයි. මෙවැනි විවිධ භාවිතයන් නිසා, මෙය සෑම වෛද්‍ය මධ්‍යස්ථානයකම අත්‍යවශ්‍ය ද්‍රාවණයක් ලෙස සැලකේ.

මාත්‍රාව සහ භාවිතය

සාමාන්‍ය සේලයින් ලබාදෙන ප්‍රමාණය වයස, බර සහ රෝග තත්ත්වය අනුව වෙනස් වේ. වැඩිහිටියන්ට සාමාන්‍යයෙන් 500–1000 mL පමණ IV මඟින් ලබාදෙන අතර, බරපතළ අවස්ථාවලදී එය වැඩි කළ හැකියි. ළමුන් සඳහා, කිලෝග්‍රෑමයකට 10–20 mL ලෙස ලබාදේ. නාසික භාවිතයේදී දිනකට කිහිප වතාවක් බිංදු හෝ ස්ප්‍රේ ලෙස භාවිත කළ හැකියි. නමුත් නිවැරදි මාත්‍රාව සෑමවිටම වෛද්‍ය උපදෙස් අනුව තීරණය කළ යුතුය.

අතුරු ආබාධ සහ අවදානම්

සාමාන්‍ය සේලයින් ආරක්ෂිත වුවත්, වැඩි ප්‍රමාණයක් ලබාදීමෙන් අතුරු ආබාධ ඇති විය හැකියි. සාමාන්‍ය අතුරු ආබාධ ලෙස ඉදිමීම, රුධිර පීඩනය වැඩි වීම සහ කැනියුලාව දමා ඇති ස්ථානයේ වේදනාව වැනි තත්ත්ව දැක ගත හැකියි. බරපතළ අවස්ථාවලදී හුස්ම ගැනීමට අපහසු වීම, පෙණහලු තුළ ජලය එකතු වීම, සෝඩියම් සහ ක්ලෝරයිඩ් වැඩි වීම සහ ඉතා වැඩි ප්‍රමාණයක් ලබාදීමෙන් Metabolic Acidosis වැනි තත්ත්ව ද ඇති විය හැකියි.


සැලකිලිමත් විය යුතු අවස්ථා

හෘද රෝග, වකුගඩු රෝග හෝ අධි රුධිර පීඩනය ඇති පුද්ගලයන්ට මෙය සැලකිලිමත්ව භාවිත කළ යුතුය. එවැනි අවස්ථාවලදී වෛද්‍යවරු රුධිර පීඩනය, මූත්‍රා ප්‍රමාණය සහ Electrolyte මට්ටම් නිරීක්ෂණය කරති. ගර්භිණී සහ කිරිදෙන මවුවරුන්ට මෙය සාමාන්‍යයෙන් ආරක්ෂිත වුවද, වෛද්‍යවරයකුගේ උපදෙස් අත්‍යවශ්‍ය වේ.

වැරදි අවබෝධ

බොහෝ දෙනා Saline Drip එකක් ශක්තිය ලබාදෙන බව සිතන නමුත්, එය වැරදියි. මෙය ආහාරයක් නොව, ජලය හා ලවණ පමණක් සපයන ද්‍රාවණයකි. තවද, මෙය ආසාදන සුව කරන බව ද වැරදි අදහසකි. සාමාන්‍ය සේලයින් වයිරස් හෝ බැක්ටීරියා මැඬවත්වන්නේ නැත. නමුත් ශරීරයේ ජලය සහ ලවණ සමතුලිතතාව පවත්වා ගැනීමට එය ඉතා වැදගත් වේ. නිවැරදි ලෙස භාවිත කළ විට එය ඉතා ආරක්ෂිත සහ ප්‍රයෝජනවත් වුව ද, අධික ලෙස භාවිත කිරීමෙන් අනතුරු ඇති විය හැකි බැවින් වෛද්‍ය උපදෙස් අනුව පමණක් භාවිත කිරීම අත්‍යවශ්‍ය වේ.

TEXT – විදුමිණි දිසාකරුණා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?