හෙද පුහුණුව ලබන සමය මගේ ජීවිතයට එක් කළ අත්දැකීම් බොහොමයි. ඒ අතරින් පළමු වතාවට පිළිකා වාට්ටුවකට පය තැබූ ඒ දවස අදටත් මගේ මතකයේ සටහන් වී තිබෙන්නේ කිසිදා
නොමැකෙන සටහනක් ලෙසයි.
එතැනදී මට හමුවුණු එක් රෝගියෙක් කෙරෙහි මගේ හිතේ ඇතිවුණේ දැඩි කම්පනයක් වගේම අප්‍රමාණ අනුකම්පාවක්. මුඛ පිළිකාවකින් පීඩා විඳි ඔහුට, සාමාන්‍ය විදිහට ආහාර වේලක රස බලන්නට තරම්වත් වාසනාවක් තිබුණේ නැහැ. ඔහුගේ කුසගින්න නිව්වේ නාසයෙන් දැමූ බටයක් හරහා ලබාදුන් දියරමය ආහාරවලින් පමණයි. නමුත් ඔහුට රසවත් ආහාරයක් අවශ්‍ය බව දැඩි සේ දැනී තිබුණා.
කෙසේ කවුරුන් කීවත් රෝහලෙන් ලැබෙන ආහාරයට වඩා ගෙදරින් ලැබෙන පුංචි හෝ කැඳ කෝප්පයට රෝගීන් ඇලුම් කරන බව සැබෑවකි. යම් කාලයකදී තමන්ගේ කුඹුරේම කැකුළු හාල විවිධාකාර රසමසවුළු එක්ක කෑ හැටිත් ඔහු කඳුළු පිරි දෙනෙතින් කියා සිටියා. අද ඔහුගේ මුඛයේ යටි හනුවක් ඇත්තේම නැත. පිළිකාව දරුණු ලෙස පැතිරීයාෑම නිසා එය ඉවත් කර තිබුණි. ඔහු හිටියේ දරාගත නොහැකි තරම් දැඩි වේදනාවකින්. ගම්බිම් බොහෝ දුර බැහැර වූ නිසාදෝ ඔහුව බලන්නට පවුලේ කිසිවෙක් පැමිණියේ ද නැහැ. ඒ හුදෙකලා බව ඔහුගේ ශාරීරික වේදනාව තවත් තීව්‍ර කරන්නට ඇතැයි මට සිතුණා.
දිනක් මම නිවෙසට ගිය වෙලාවේ මගේ අම්මා ලවා පොල්කිරි කැඳ ටිකක් හදාගත්තේ ඔහුගේ මේ අසරණකම නිතරම මගේ හිතට වධ දුන් නිසයි. ඒ කැඳ ටික හොඳින් බ්ලෙන්ඩර් කරලා සකසා ගත්තේ නාසයේ බටෙන් ලබා දුන්නත් එහි සුවඳින් හෝ ඔහුගේ වේදනාබර හිතට පුංචිම හෝ අස්වැසිල්ලක් ලැබේවි යැයි කියන අහිංසක බලාපොරොත්තුවෙන්. දින දෙකකට පසු, අර කැඳ එකත් අරගෙන මම හරිම ආසාවෙන් වාට්ටුවට ගියේ ඔහුගේ මූණේ ඇඳෙන පුංචි සැනසිලිදායක හැඟීමක් දකින්න හිතාගෙන.
ඒත්… ඒ වෙද්දිත් ප්‍රමාද වැඩියි. ඔහුගේ ඇඳ හිස්ව තිබුණා. ඒ අසරණ මිනිසා සියලු වේදනාවන්ගෙන් සමුගෙන මේ ලෝකය අතහැර ගොස් අවසන්.
අවුරුදු හතළිස් දෙකක් කියන්නේ ජීවිතයෙන් සමුගන්නට තරම් වයසක් නෙවෙයි. නමුත්, තමන් මේ ලෝකයේ ජීවත් වූ දින ගණනට වඩා දෙතුන් ගුණයක් දුම්වැටි පානය කළ ඔහුට, අවසානයේ උරුම වූයේ කටුක, වේදනාත්මක මරණයක් පමණයි. මෙය එක් කතාවක් පමණයි. මෙවැනි කඳුළු කතා කී දාහක් නම් අපේ රෝහල් වාට්ටු තුළ දිනපතාම නිහඬවම ලියවෙනවා ඇත් ද? 💔 අපි හැමදාම ජීවිතයට පාඩම් ඉගෙන ගන්නේ ජීවිතය අහිමි වන අවසන් තත්පරයේදී. නමුත් ඒ වන විට අපි ප්‍රමාද වැඩියි. 😓
ශ්‍රී ලංකාවේ පිරිමි පාර්ශ්වය අතර බහුලවම දැකිය හැකි පිළිකා තත්ත්වයක් තමයි මුඛ පිළිකාව එහෙමත් නැත්නම් Oral Cancer කියලා කියන්නේ. මේක එකපාරටම හැදෙන ලෙඩක් නෙවෙයි, කලින්ම අපිට රතු නිවේදන නිකුත් කරනවා.
ඒත් අපි ඒවා ගණන් ගන්නේ නෑ. ඔයාලා නොදකිනවා වුණාට රෝහල්වල පිළිකා වාට්ටුවල ගොඩක්ම ඉන්නේ මේ මුඛ පිළිකාව නිසා කෑමක්වත් හරියට ගන්න බැරි රෝගීන්. සමහර අයට නහයෙන් බටයක් දාලා කෑම ගන්න වෙනවා. අපි අසිහියෙන් සිටින රෝගියකුට බටයක් මඟින් ආහාර ලබා දුන්නත්, හොඳ සිහියෙන් සිටින කෙනකුට ඒක හරිම සංවේදී අත්දැකීමක්. 😓💔
අපි අද බලමු මොකක්ද මේ මුඛ පිළිකාව කියලා.
අපේ මුඛයේ ඇතුළත, දිව, තොල්, විදුරුමස් හෝ තල්ල යන ඕනෑම ස්ථානයක සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වීම මෙහිදී සිදුවෙනවා. මුල් අවධියේදීම හඳුනා ගත්තොත්, ඉතාම සාර්ථකව සුව කළ හැකි තත්ත්වයක් තමයි මෙය.
රෝග ලක්ෂණ මෙන්න මේ වගේ.
මේවා උෂ්ණෙට එන උෂ්ණ බිබිළි කියලා නොසලකා හරින්න එපා.
සුව නොවන තුවාල
සති දෙකකට වඩා කල් පවතින, වේදනාවක් ඇති හෝ නැති කටේ තුවාල.
සුදු හෝ රතු ලප (Leukoplakia / Erythroplakia)
කට ඇතුළේ, දිවේ හෝ කම්මුල් ඇතුළත මැකී නොයන සුදු හෝ රතු පැහැති පැල්ලම්.
ගැට ගැසීමක් හෝ ඉදිමීමක්
කට ඇතුළේ හෝ බෙල්ලේ යම් ගැටිත්තක් අතට අසුවීම.
ගිලීමේ අපහසුව
කෑම කන විට හෝ වතුර බොන විට ගිලීමට අපහසු වීම හෝ උගුරේ යමක් හිර වී ඇති බවක් දැනීම.
හිරිවැටීම – කට ඇතුළත හෝ තොල්වල ස්පර්ශය නොදැනී යෑම හෝ හිරිවැටීමක් දැනීම.
මේ තත්ත්වයට ප්‍රධානම හේතු මොනවාද?
බුලත්විට සැපීම
පුවක්, හුනු සහ දුම්කොළ මිශ්‍ර බුලත් විට සැපීම ශ්‍රී ලංකාව තුළ මුඛ පිළිකා ඇතිවීමට ප්‍රධානම හේතුවයි.
දුම්පානය සහ මද්‍යසාර භාවිතය
මේ පුරුදු දෙකම එකට තිබීම අවදානම කිහිප ගුණයකින් වැඩි කරනවා.
නුසුදුසු දන්ත ගැටලු
කැඩුණු දත් හෝ හොඳින් නොගැළපෙන කෘත්‍රිම දත් (Dentures) නිසා දිගින් දිගටම මුඛය ඇතුළත සීරීමකට ලක්වීම.
කොහොමද හොයාගන්නේ?
ස්වයං පරීක්ෂාව (Self-Examination)
මසකට වරක්වත් හොඳ ආලෝකයක් යටතේ කණ්ණාඩියකින් ඔබේ කට ඇතුළත, දිව යට සහ කම්මුල්වල ඇතුළත හොඳින් පරීක්ෂා කර බලන්න. අසාමාන්‍ය ලප හෝ තුවාල ඇත්දැයි බලන්න.
වෛද්‍ය පරීක්ෂණ
රජයේ රෝහල්වල දන්ත සායනයෙන් ඔබට කිසිදු මුදලක් නොගෙවා ඔබේ මුඛය පරීක්ෂා කරවා ගත හැකියි. සැක සහිත ලපයක් ඇත්නම්, කුඩා පටක කොටසක් (Biopsy) ගෙන පරීක්ෂා කර බැලීමෙන් තත්ත්වය නිවැරදිවම තහවුරු කරගන්න පුළුවන්.
වළක්වා ගන්නේ කොහොමද?
අදම බුලත්විට කෑම, දුම්පානය සහ මද්‍යසාර භාවිතය නවතා දමන්න. මේ මුඛ පිළිකාවට මූලිකම හේතුවක් තමයි මේ බුලත් විට සැපීම සහ දුම් පානය. දුම්වැටියේ පැකට් එක ඉස්සරහින්ම පින්තූරයක් දාලා තියෙන්නේ නිකන්ම බලබල යන්න නෙවෙයි.
නැවුම් පලතුරු සහ එළවළු (විශේෂයෙන් කහ සහ තැඹිලි පැහැති පලතුරු) ආහාරයට එක් කරගන්න.
මාස 6කට වරක්වත් වෛද්‍යවරයකු හමුවී මුඛය පරීක්ෂා කරවා ගන්න.
ඔබේ ආදරණීය සැමියා, තාත්තා හෝ සීයා නිතරම බුලත්විට කනවා නම්, අදම ඔවුන්ගේ කට ඇතුළත පරීක්ෂා කර බලන්න. සති දෙකක් තිස්සේ සුව වෙන්නේ නැති තුවාලයක් තියෙනවා නම්, ඕක හරියාවි කියලා ඉන්න දෙන්න එපා. බලෙන්ම හරි දන්ත වෛද්‍යවරයෙක් ළඟට එක්කන් යන්න.
ඔවුන්ගේ සුළු නොසැලකිල්ල, සම්පූර්ණ පවුලේම සතුට උදුරා ගන්න ඉඩ දෙන්න එපා. අපිට වටින්නේ අපේ ආදරණීයයන්ගේ ජීවිතයයි.
