ලංකාවේ ගොඩක් ගැහැනු පිරිමි භේදයක් නැතුව වැඩිය කතා නොකරන, ඒත් කතා කරන්න ඕනිම ලෙඩක් ගැන මම අද ඔයා එක්ක කතා කරන්න හිතුවා. ඔව්, මේවා ලංකාවේ ටිපිකල් සමාජෙ ඇතුළේ ටැබූ ටොපික්ස් (Taboo Topics) කියලා සලකන දේවල්. ඒත් මේවා කතා කරලා ඔයාව දැනුමෙන් සන්නද්ධ කරලා මේවා ජෙනරලයිස් (Generalize) කරන එකනේ මම හැමදාම කරන්නේ.
හරි එහෙනම්, අද කතා කරන්න යන්නේ ලංකාවේ කාන්තාවන් සුලබව මූණදෙන, ඒත් කතා කරන්න අකැමැති, රහසිගතව තියාගෙන ඉන්න හදන යීස්ට් ආසාදන ගැන. එහෙමත් නැත්නම් ඔයාගේ වැජයිනා එක එකපාරටම කසන්න ගන්න එක ගැන. මේකට අපි කියන්නේ VVC එහෙමත් නැත්නම් වල්වෝවැජයිනල් කැන්ඩිඩයසිස් කියලා.
ඉතින් මේ ආසාදන තත්ත්වය ගැන හරියටම දැනගන්න වෛද්‍යවරයකුගේ ම උපදෙස් ලබා ගන්න ඕනි කියලා මට හිතුණා. ඔන්න ඉතින් අද අපේ මේ සාකච්ඡාව කරන්න යන්නේ අර්කා (ARKA) සංවිධානයේ ප්‍රධාන උපදේශිකාවක් වන ඩොක්ට සත්‍යානි වෑවිට එක්ක.
ඩොක්ට, අපි එහෙනම් මුලින්ම කතා කරමු යීස්ට් ආසාදනයක් කියන්නේ මොකක්ද කියන එකේ ඉඳලා…
යීස්ට් කියන්නේ ඇත්තටම අපේ ශරීරයේ ස්වාභාවිකවම ඉන්න දිලීර විශේෂයක්. හැබැයි එක එක හේතු නිසා මේ දිලීරයේ වර්ධනය සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වුණාම ඒක ආසාදනයක් වෙනවා. හැබැයි මේක සමාජ රෝගයක් කියලා වැරදියට තේරුම්ගන්න එපා. මේක ඕනෑම වයසක ඉන්න කාන්තාවන්ට වැළඳෙන්න පුළුවන් සුලබ රෝගයක්.
ඩොක්ට, එතකොට අපිට හැදිලා තියෙන්නේ මේ ලෙඩේ කියලා අපි කොහොමද හොයාගන්නේ?
මෙක හැදුණම ඔයාගේ වැජයිනල් ඒරියා එක එහෙමත් නැත්නම් ලිංගාශ්‍රිත ප්‍රදේශයේ දැඩි කැසීමක් සහ දැවිල්ලක් ඔයාට ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම මූත්‍රා කරද්දී හරි ලිංගික සබඳතා වලදී ඔයාට වේදනාවක් ඇතිවෙන්න පුළුවන්. තව රෝග ලක්ෂණයක් තමයි සුදු පාට, උකු කැටිති විදිහට යෝනි ස්‍රාවයක් පිටවෙන්න පුළුවන්. (මේක සමහර වෙලාවට ගන්ධයකින් තොරයි). ඒ වගේම තමයි, ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඉදිමීමක් හෝ රතු වීමක් ඇතිවෙන්නත් පුළුවන්.
මම අහලා තියෙනවා මේක ලංකාවේ කාන්තාවන් අතර ගොඩක් සුලබ රෝගයක් කියලා. ඒකට මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද?
අපේ රටේ තියෙන්නේ උණුසුම් සහ තෙතමනය සහිත දේශගුණයක්. ඉතින් මේ තත්ත්වය ඇත්තටම යීස්ට් වර්ධනය වෙන්න හිතකර තත්ත්වයක්. ඒ වගේම අපේ රටේ ගොඩක් කාන්තාවන් අඳින්නේ වාතය හුවමාරු කරගන්න පවා අපහසු හිර තද යට ඇඳුම්. ඉතින් ඕකත් ඇත්තටම තව හේතුවක්.
ඊට අමතරව මේ ලෙඩේ ඇතිවෙන්න තියෙන හේතු මොනවද ඩොක්ට?
ගොඩක් වෙලාවට ඔසප් කාලෙදිත් මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන් මැන්ඩි. මොකද ඔය කාලෙදි කාන්තාවන්ගේ ශරීරයේ තියෙන හෝමෝන මට්ටම් වේගයෙන් වෙනස් වෙනවනේ. එතකොට යෝනි මාර්ගයේ තියෙන ස්වාභාවික pH අගය වෙනස් වෙන හින්දා දිලීර වර්ධනය වෙන්න හොඳ පරිසරයක් හැදෙනවා.
ඉතින් ඒකයි අපි හැමවෙලේම කාන්තාවන්ට කියන්නේ එකම සැනිටරි පෑඩ් එක පැය හතරකට, හයකට වඩා පාවිච්චි කරන්න එපා කියලා. ඒ වගේම සමහර කාන්තාවෝ සැනිටරි පෑඩ්ස් වෙනුවට පරණ රෙදි කෑලි පාවිච්චි කරනවනේ. මේවා හොඳට අව්වේ තියලා වේළලා ගන්නේ නැතිවුණොත් මොකද වෙන්නේ? අර රෙදි කෑලිවල තියෙන විෂබීජ කෙළින්ම ඔයාගේ ශරීරයට ඇතුළු වෙනවා.
තවත් විශේෂ දෙයක් මම මෙතැනදී කියන්නම්. දියවැඩියාව සහ මේ යීස්ට් ආසාදන අතර ඝෘජු සම්බන්ධයක් තියෙනවා. ඒකට හේතුව තමයි, ඔයාගේ ලේ වල සීනි මට්ටම පාලනය කරන්නේ නැති වුණාම මූත්‍රාවලයි, යෝනි ස්‍රාවයන්වලයි තියෙන ග්ලූකෝස් මට්ටම ඉහළ යනවා. ඉතින් මේ යීස්ට් වර්ධනය වෙන්න අවශ්‍ය වෙන ප්‍රධානම ශක්ති ප්‍රභවයක් තමයි සීනි කියන්නේ. ඉතින් ඔයාගේ බොඩි එකේ තියෙන සීනි මට්ටම වැඩි වුණාම යීස්ට් සෛල ඉතාමත් වේගයෙන් ගුණනය වෙන්න පටන්ගන්නවා.
ඒ වගේම දියවැඩියාව හැදුණු කෙනෙක්ගේ ප්‍රතිශක්තිය දුර්වලයිනේ. ඒ නිසා ඒ අයට යම් යම් ආසාදන නැවත නැවත වැලඳීමේ ප්‍රවණතාව වැඩියි. තවත් එක හේතුවක් තමයි ඇන්ටිබයෝටික්ස් (Antibiotics) භාවිත කිරීම. සමහර වෙලාවට අපි වෙන ලෙඩකට, උදාහරණයක් විදිහට උගුරේ ආසාදනයකට බොන ඇන්ටිබයෝටික්ස් පෙති නිසාත් මේ යීස්ට් ආසාදනය ඇතිවෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඒ බෙහෙත්වලින් ඔයාගේ ශරීරයේ ඉන්න හිතකර බැක්ටීරියා වර්ග විනාශ වීම නිසා යීස්ට්වලට ඕනෑවටත් වඩා වර්ධනය වෙන්න ඉඩ සැලසීම.
මම අහලා තියෙනවා අපේ ලිංගාශ්‍රිත ප්‍රදේශ පිරිසුදු කරන්න සබන්, ඊටපස්සේ විෂබීජ නාශක දියර වගේ දේවල් හැමවෙලේම පාවිච්චි කරන්න හොඳ නැහැ කියලා. ඒ කතාවේ ඇත්තක් තියෙනවද ඩොක්ටර්?
ඔව් හැමවෙලේම ඒවා පාවිච්චි කළාම ඒ ප්‍රදේශවල ඉන්න හිතකර බැක්ටීරියා වර්ගත් විනාශ වෙලා යනවා. ඒ වගේම මේකත් හොඳට මතක තියාගන්න ඕනි. වැසිකිළි භාවිත කරනකොට සේදීම වගේම පිසදීම කරන්නත් ඕනි හැමවෙලේම ඉස්සරහා ඉඳලා පිටුපසට. මොකද පසුපස ඒ කියන්නේ ගුද මාර්ග ප්‍රදේශයේ ඉන්න විෂබීජ යෝනි මාර්ගය දෙසට පැමිණීම වළක්වන්න මේ ක්‍රමයෙන් පුළුවන්.
කොහොම නමුත් යෝනි මාර්ගය කියන්නේ මැන්ඩි, ස්වයංක්‍රීයව පිරිසුදු වන අවයවයක්. ඉතින් ඒ නිසා යෝනි මාර්ගය පිරිසුදු කරන්න සබන් හරි වෙනත් දියර වර්ග ඕනෑ නැහැ. කරන්න ඕනි පිටත ප්‍රදේශය (Vulva) පමණක් පිරිසුදු වතුරෙන් සෝදලා වියළිව තියාගන්න එක තමයි.
ඩොක්ට, එතකොට අපි මොනවද මේ ලෙඩේ හැදුණම කරන්න ඕනි?
පළමුවෙනිම දේ තමයි, ලැජ්ජාවයි බයයි පැත්තකින් තියලා ඩොක්ට කෙනෙක්ව ගිහින් හම්බවෙලා පැහැදිලිව මේ දේවල් කතා කරලා ඒ ඩොක්ටර් ගෙන් බෙහෙත් ගන්න එක. මේක ඉක්මනට හොඳ වෙන ලෙඩක්. හැබැයි ඉතින් ආයි ආයි හැදෙන එක වළක්වාගන්න නම් හරියට ඔයාව බලාගන්න ඕනි.
ඩොක්ට කියන්නේ අපි අපේ වැජයිනල් හෙල්ත් එක ගැන ගොඩක් හිතන්න ඕනි කියලා නේද?
අනිවාර්යයෙන්ම පළමුවෙනිම දේ ඔයා හැමවෙලේම පිරිසුදුව ඉන්න ඕනි. නිතරම කොට්න් (Cotton) යට ඇඳුම් අඳිනවා නම් හොඳයි. ඒ වගේම තෙත යට ඇඳුම් අඳින්නම එපා. ඔයා ව්‍යායාම කරලා දාඩිය දැම්ම ගමන් හරි ස්විමින්ග් (Swimming) කරලා ඇඳගෙන ඉන්න තෙත ඇඳුම් හරි ඉක්මනින් මාරු කරන්න ඕනි. මොකද තෙතමනයයි රස්නයයි කියන්නේ යීස්ට් වර්ධනය වෙන්න හොඳ පරිසරයක්.
තව ඔයා දියවැඩියාව තියෙන කෙනෙක් නම් ආහාර පාලනය කරන්න ඕනි. ඒ ඇයි කියලා හේතුව දැන් දන්නවනේ. හොඳට මතක තියාගන්න ඕනි කාරණේ තමයි, ඔයාගේ සෞඛ්‍යය ගැන තීරණ ගද්දී ඒකට ලැජ්ජාවයි බයයි කියන සාධක දෙක ඉස්සරහට ගන්න එපා.
ඒ වගේම මේ වගේ ආසාදනයක් ඔයාට නැවත නැවත හැදෙනවා නම් ඔයාගේ සහකරුටත් ප්‍රතිකාර කරන්න ඕනිද කියලා ඩොක්ටර් කෙනෙක්ගෙන් අනිවාර්යයෙන්ම අහන්න. මොකද සමහර වෙලාවට ඔයාගේ සහකරුගේ රෝග ලක්ෂණ පිටතට පේන්න තිබ්බේ නැතත් ඔයා හරහා එයාට බෝවෙන්න පුළුවන්.
බොහොම ස්තුතියි ඩොක්ට.
ඇත්තටම මම නම් හිතන්නේ මේ වගේ ලෙඩත්, උණ හෙම්බිරිස්සාව වගේම සාමාන්‍යකරණය වෙන්න ඕනි කියලා. ඒත් මොකක්දෝ හේතුවකට අපේ ලංකාව ඇතුළේ තවමත් මේවා සාමාන්‍යකරණය වෙලා නැහැ. ඒකනේ ලෙඩේ තිබ්බත් ඩොක්ටර් කෙනෙක් ළඟට යන්නේ නැත්තේ..
හැබැයි දැන් මේක කියවන ඔයා නම් විස්තරේ හරියට දන්න නිසා ලැජ්ජා නොවී ඩොක්ටර් කෙනෙක් ළඟට ගිහින් මේ දේවල් කතා කරන්න ඕනි. ඒ වගේම ඔයාගේ ළඟම ඉන්න අයව මේ ගැන දැනුවත් කරන්නත් ඕනි. මොකද මේ ලෙඩේ සාමාන්‍යකරණය කරන්න පුළුවන් ඔයයි මායි එකතු වුණොත්. ඉතින් මේ දැන්ම මේ ගැන ඔයාගේ හිතවත්තු එක්ක කතා කරන්න පටන්ගන්න.
TEXT – මැන්ඩි සිල්වා
