Monday, May 11, 2026
Epaper
Home විශේෂාංගගුටි දුන්නත් පැණිරස පංගු ව මටම වෙන් කළ අම්මාගේ ආදරය

ගුටි දුන්නත් පැණිරස පංගු ව මටම වෙන් කළ අම්මාගේ ආදරය

මහාචාර්ය සීතා ප්‍රියංගනී බණ්ඩාර

by Shanaka Lakehouse

ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය මෙවර මැයි 10 වැනිදාට යෙදී ඇත. කෙසේ නමුත් මවුවරුන්ගේ දිනයට සීමා නොවී තරුණී පුවත්පත සතියක් පාසා දැයේ මවුවරුන් වෙනුවෙන් තිළිණ කරන “අම්මාවරුනේ” විශේෂාංගය මෙවර හැඩ කරන්නට මහාචාර්යවරියක් බිහි කළ දිරිය මවක තෝරා ගත්තෙමු. මේ මහාචාර්ය දියණිය ශ්‍රී ලංකා පදනම් ආයතනයේ වත්මන් සභාපතිනියයි. ඇය කැලණි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධයනාංශයේ අංශාධිපති ලෙස ද කටයුතු කරයි. ඒ අනුව රටක් වටින දියණියක් ලෙස ලොවක් දිනූ සීතා ප්‍රියංගනී බණ්ඩාර නම් ඇයට මහාචාර්යවරියක වන්නට අත්වැල ලබා දුන්නේ ඇගේ මවුතුමිය බව ඇය කියා සිටියාය. මේ මහාචාර්ය සීතා බණ්ඩාර ඇගේ ආදරණීය මෑණියන් ගැන අප හමුවේ ගෙනහැර දැක්වූ කතාන්දරයයි.

අපේ අම්මාගේ නම චන්ද්‍රාවතී රාජසිංහ. අපේ පවුලේ මා ඇතුළුව සහෝදර සහෝදරියන් සිව් දෙනෙක්. මම පවුලේ දෙවැනියා. ඉතින් සොයුරු සොයුරියන් සිව් දෙනෙක් හිටිය හින්දාම පුංචි කාලේ අම්මා ළඟ නිදා ගන්නට අපි හතරදෙනා පොර කාපු හැටි මට මතකයි. ඉතින් හැම රැයකම අම්මාට තුරුල් වෙලා නිදා ගන්නට අප අතර සුන්දර ගැටුමක් නිර්මාණය වෙනවා.

ඉස්කෝල යන කාලේ අම්මා ලවා කොණ්ඩය ගොතා ගන්නත් අපි අතර තරගයක් තිබුණා. අපි හතර දෙනාගෙන් තුන්දෙනෙක්ම දියණියන්. මම පවුලේ දෙවැනි දරුවා වෙද්දී මට අක්කා කෙනෙක්, නංගියෙක් සහ මල්ලියෙක් හිටියා. අපි සෙල්ලම් කරන වෙලාවේ බයිසිකල් පදින්න ගියෙත් අම්මා සමඟයි. පාසල් ඇරී ආවම වුණත් අම්මා ළඟින්ම ඉන්න අපි අතර ලොකු තරගයක් තිබුණා. ඒ හැම අවස්ථාවකම අම්මා ඇයගේ ආදරය සමානව බෙදා දෙමින් අපව උස් මහත් කළා. අම්මා අපව පරිස්සම් කළේ නිතර උපදෙස් දෙමින්. පවුලේ ගැහැනු ළමයින් තිදෙනකු නිසා අම්මා නිතරම අපට උපදෙස් දුන්නේ කතාන්දර ශෛලියෙන්. ඒ කතන්දර බොහොම රසවත්.

ඇතැම් කතාන්දර සුරංගනා කතා වගේ පෙනුණත් ඒවා ඇතුළේ මේ සමාජය ගැන අර්ථකථන බොහෝමයක් තිබුණා. අපි ඒවායින් හරි මාර්ගයේ ගමන් කරන්නට ඉගෙන ගත්තා. ඉතින් අපි සමාජයේදී විවිධ අත්දැකීම්වලට මුහුණ දෙද්දි අම්මා එදා සුරංගනා කතා ශෛලියෙන් කියා දුන් කතාන්දර අපි අත්දැක්කා.

ඉස්සර වගේ අපි ඉගෙන ගත් සමයේ පාසල් වෑන් රථ, පාසල් බස් සේවා ආදී ආරක්ෂිත වටපිටාවක් තිබුණේ නෑ. අපි පාසල් ගියේ තනිව පා ගමනින්. ඉතින් එවන් වටපිටාවක අම්මා අපට ලබා දුන් උපදෙස් ඉතා වැදගත් වුණා. අපට තනිව පරිස්සම් විය යුතු ආකාරය ගැන ඇය නිතර අපට පෙන්වා දුන්නා. එදාට වඩා ඒ කතාවල අර්ථය දැන් අපට වැටහෙනවා. ඒ වගේම අපට අම්මා පැවසූ බොහෝ දේවල් වැටහෙද්දී අම්මා ජීවතුන් අතර නෑ.

පුංචි සන්දියේ ඕනෑම දරුවෙක් හැදී වැඩෙන්නේ මව ඇසුරේය. මව ඇසුරේ හැදෙමින් වැඩෙමින් සීතා බණ්ඩාර පුංචි සන්දියේ ලද අත්දැකීම් අපට මෙසේ විස්තර කළාය. මං විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ මට කහ උණ හැදුණා. ඉතින් රෝගය උත්සන්න වනතුරුත් මට වැලඳී තිබෙන්නේ කහ උණ යැයි කාටවත් අවබෝධ වුණේ නෑ. එදා අම්මා බොහොම බය වුණා. ඉතින් වෛද්‍යවරයකුගේ ප්‍රතිකාර ගන්නා අතරතුර අම්මා මට ඇඳෙන් බහින්නවත් ඉඩ නුදුන් තරම්. ඉතින් එදා අම්මා මට විශේෂ සැලකිල්ලක් දැක්වූ ආකාරය අමතක වන්නේ නෑ.

පුංචි කාලයේ බයිසිකල් පදින්න ගිහින් මාව වැටුණා. එදා මාව පෙරළුණේ කටු ගාලකට. ඉතින් අම්මා එදා මාව පරිස්සමට කටු අකුලෙන් මුදා ගෙන මාව ගෙදර අරන් ගිය හැටි මට අද වගේ මතකයි. ඒ වගේම අපි හතර දෙනා රණ්ඩු වුණාම වැඩිපුරම ගුටි කන්නේ මං. අක්කා වැඩිමල් නිසාත් නංගි බාලයා නිසාත් මල්ලි පවුලේ එකම පිරිමි ළමයා නිසාත් වැඩිපුර ගුටි නොදෙන සිරිතක් අම්මාගේ තිබුණා. ඉතින් ඒ නිසා අපි රණ්ඩු වුණාම අම්මා වැඩිපුරම ගැහුවේ මට. ඒ වගේම වැඩිපුරම දඟ වැඩ කළෙත් මං තමයි. ඉතින් වැඩිපුරම ගුටි දුන්නු නිසා දෝ පැණි රස කෑමක් ලැබුණත් එයින් වැඩි පංගුවක් මට දෙන්නට අම්මා කටයුතු කළා.

ඒ වගේම ගෙදර තේ බොද්දී මොනයම් හෝ රස කැවිල්ලක් කන්නට මට පුරුදුව සිටියා. ඒ ආසාව ඉටු කරන්නට අම්මා නොපැකිළව කටයුතු කළ හැටි මට මතකයි. ඉතින් ගෙදර අනෙක් තුන් දෙනාට නැතත් තේ බොද්දී බිස්කට් එකක් හෝ සඟවා තබා අම්මා මට ලබා දෙනවා.මහාචාර්යවරියක ලෙස සිය දිවියේ පන්නරය ලබද්දී ඊට මවගෙන් ලද රුකුල ගැන සීතා බණ්ඩාර මහාචාර්යවරිය මෙසේ පවසා සිටියාය. අපේ අම්මා ඉගෙනීමට බොහොම දක්ෂ කෙනෙක් වගේම ඊට බෙහෙවින්ම ඇල්මක් දැක්වූවෙක්. අම්මා ගුරු වෘත්තියට සුදුසුකම් සපුරා තිබුණත් විවාහයෙන් පසුව තාත්තාගේ පවුලේ අය ඇයට රස්සාවක් කරන්නට ඉඩ දී තිබුණේ නෑ. ඒ ගැන අම්මා තරමක දුකකින් පසු වුණා. ඉතින් අම්මා අපට නිතරම කීවේ ගැහැනු ළමයෙක් අනිවාර්යයෙන්ම තමන්ගේ ස්වාධීනත්වය, රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් හරහා ගොඩනඟ ගත යුතු බවයි. ඒ සඳහා අම්මා අපට හොඳින් ඉගැන්නුවා. අම්මාට අහිමි වුණු අවස්ථාව අපට හිමි කර දෙන්නට අම්මා නිතරම උත්සාහ කළා.

පාසල් ඇරී නිවෙසට ආ සැණින් අපිට පාඩම් කියා දෙන්නට ගෙදර වැඩ කරවන්නට අම්මා විශාල කැප කිරීමක් කළා. චක්කරේ පාඩම් ගනිමින්, පාසලේ වැඩ කියා දෙමින් ඇය අපට ඉගෙනීමට බොහෝ සෙයින් උදව් වුණා. ඉතින් ඉගෙනීමට ඇති ඇල්ම වැඩි කරන්නට අපේ අම්මා ලබා දුන්නේ අති විශාල ධෛර්යයක්.

අම්මාට ඉවසීම සහ දරා ගැනීම උපරිමයෙන් තිබුණා. ඒ ඉවසීම සහ දරා ගැනීම අම්මාගෙන් මා ලැබූ දායාදයක් ලෙස මා දකිනවා. කොතරම් කලබල වෙලාවක් වුවත් වටපිටාවෙන් කුමන තරමේ හෝ පීඩාවක් එල්ල වුණත් ඒ තත්ත්වය දරාගෙන කටයුතු කරන්නට මට හුරුව ලැබුණේ මගේ අම්මාගෙන්.

ඒ වගේම සමාජයේ මිනිසුන්ව කියැවීමේ හැකියාවක් මට තිබෙනවා. එය වැරදි කියැවීමක් වන්නේ බොහොම කලාතුරකින්. ඒ ලක්ෂණය අම්මා සතුව වගේම තාත්තා ළඟත් තිබුණා. ඉතින් එයත් මට මවුපියන්ගෙන් ලැබුණු උරුමයක් බැව් මාගේ විශ්වාසයයි.

අපේ අම්මා බොහොම සරල ගති පැවතුම් තිබුණු චරිතයක්. එහෙත් ඇය නිතරම පිරිසිදුව, පිළිවෙළට හැඳ පැලඳ ඉන්නට අමතක කළේ නෑ. විවිධ විලාසිතා කරමින් හැම විටම සින්දුවක් කියමින් නටමින් විනෝදයෙන් කල් ගත කළ අයෙක් ලෙස අම්මාව පෙන්වා දිය හැකියි. ඇය සම්ප්‍රදායික ගැහැනියක් ලෙස කටයුතු කළේ නෑ.

මං ‘අම්මා වගේමයි’ යන්න මට බොහෝ දෙනෙක් විසින් පැවසූවක්. සැබැවින්ම අම්මාගේ රුව සහ පැහැය මට වෙනසක් නැතිව නොඅඩුව ලැබී තිබෙනවා. එයත් අම්මාගෙන් වැඩි ආදරයක් මට හිමි වන්නට හේතු වූවා යැයි මා විශ්වාස කරනවා. ජීවිතයේ ප්‍රශ්නයක් නැඟෙන නිමේෂයක ඊට සැනසිල්ලක් වන්නට අම්මා තරම් මිතුරියක් දරුවෙකුට සිටියිද? මේ එවන් අවස්ථාවල සීතා බණ්ඩාර මහැදුරුතුමියගේ මව කටයුතු කළ ආකාරයයි.

අපේ අම්මා එක්ක ඕනෑ දෙයක් කතා කරන්න පුළුවන් තරමේ මිත්‍රත්වයක් අපට තිබුණා. ඒ මිත්‍රත්වය වඩාත් වර්ධනය වුණේ පාසලේ ඉහළ ශ්‍රේණිවලට යද්දීයි. ඉතින් පිරිමි ළමයෙක් ලියුමක් දුන්නත් පිරිමි ළමයෙක් යාළු වෙන්න ඇහුවත් අපි අම්මාට එය කියනවා. විවාහ ජීවිතයෙන් පස්සේ මම සහ මගේ ස්වාමි පුරුෂයා අතර ඇති වන සුළු ගැටුම් පවා මං අම්මාට පැවසූ අවස්ථා තිබුණා. ඒ හැම තැනකදීම අම්මා අපට ඇහුම්කන් දුන්නා. ඇය නිතරම අපට කිව්වේ හැම ප්‍රශ්නයකටම පළමු විසඳුම ඉවසීම සහ දරා ගැනීම කියායි. ඒ නිසා කලබලයකින් තොරව හැම ප්‍රශ්නයක්ම විසඳා ගැනීමට අපට එයින් මග පෑදුණා.

අම්මා අපට ජීවත් විය යුතු මාර්ගය මෙය යැයි උපදෙස් ලබා දුන්නත් අපට කවදාවත්ම නීති, තහංචි දැම්මේ නැහැ. ඇය කිසිම දෙයක් කරන්න එපා යැයි කීවේ නෑ. ඇය නිතරම කීවේ මේ දේ කළොත් අපට මේ ප්‍රතිඵලය ලැබෙනවා, මේ දේ කළ යුත්තේ මේ ආකාරයටයි ආදී ලෙස නිතරම ඇය අපට යම්කිසි දෙයක අවදානම පැහැදිලි කර දුන්නා. ඉතින් අපත් හැම දෙයක්ම සිදු කළේ ඒ අවදානම පිළිබඳ දැනුමක් ඇතිව. ඒ නිසා අපට කවදාවත්ම වැරදුණේ නෑ. ඉතින් අම්මා අපට ඉගෙන ගැනීමට ඇති කළ ආශාව සහ ජීවිතයට ලබා දුන් නිදහස මට මහාචාර්යවරියක් වන්නට මඟ පෑදුවා.

තමන් වරදක් කරලා නැත්නම් අපි බිය විය යුතු නෑ. ඒ නිසා අපි නොසැලී ඒ අවස්ථාවට මුහුණ දිය යුතුයි යැයි අපට ඇය නිතරම කිව්වා. සමාජයෙන් ලැබෙන කිසිම දෙයක් සිතට නොගෙන ස්වාධීනව ජීවත් වන්නැයි ඇය නිතරම අපට උපදෙස් දුන්නා. ඒ වගේම පසුතැවෙන්න එපා යන්න ඇය අපට නිතර ලබා දුන් උපදෙසක්. සිදු වූ වරද හඳුනාගෙන ඒ වරද නැවත නොකර ජීවත් වීම හැර ඒ වරද ගැන පසු නොතැවෙන ලෙස ඇය අපට ඉගැන්නුවා.

 

TEXT – ආර්.පී. මිහිරාන්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?