Monday, May 18, 2026
Epaper
Home විශේෂාංගමා කළ යෝජනාව මට ම පැවරුණා

මා කළ යෝජනාව මට ම පැවරුණා

‘ඩගී‘ කෘතිය ලියූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීනි අරුණි මුතුමලී

by Shanaka Lakehouse

ලක්බිම පුවත්පතින් තම මුද්‍රිත මාධ්‍ය දිවිය ආරම්භ කළ ඇය මේ වන විට මෙරට සිටින ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියකි. එමෙන්ම විද්‍යුත් මාධ්‍ය කලාවේද විවිධ ඉසව් ස්පර්ශ කරන හසල අත්දැකීම් සහිත ඇය මේ වන විට සුබසෙත පුවත්පතේ කර්තෘවරිය ලෙස ජ්‍යෝතිෂ ශාස්ත්‍රය උදෙසා ද තම මෙහෙවර ඉටු කරමින් සිටින්නීය.

දක්ෂ ලේඛිකාවක ද වන ඇයගෙන් මාධ්‍ය ක්ෂේත්‍රයට මෙන්ම මෙරට කලාව, සාහිත්‍යය අරභයා ද ඉටු වූ සහ ඉටුවන සේවය සුළුපටු නොවේ. මාධ්‍යවේදිනියක, තවත් විටෙක දක්ෂ ලේඛිකාවක ලෙස ද කටයුතු කරමින් සමාජයට තම සේවය නොපිරිහෙළා ඉටු කරන ඇය නමින් අරුණි මුතුමලී ය. දශක තුනකට ආසන්න තම මාධ්‍ය දිවියේ දී ඇය අතින් රචනා වූ කෘති කිහිපයකි. ‘අලි ඇත්තුයි අතපත්තුයි’ අරම එයින් කිහිපයකි. අරුණි මුතුමලී විසින් රචනා කරන ලද නවතම කෘති ද්විත්වය වන ‘ඩගී’ – නීතිඥ, නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධන හැත්තැ පස් වසරක භූමිකාවලෝකනය අපදාන කෘතිය සහ ‘ප්‍රේක්ෂා’ – සියක් සිතක සියක් මතක කෘති ද්විත්වය එළිදැක්වීම හා ජනගත කිරීම පසුගිය දා මරදාන එල්ෆින්ස්ටන් රඟහල පරිශ්‍රයේදී සිදු විණි. මේ සොඳුරු මාධ්‍යවේදිනිය, ලේඛිකාව සමඟ යෙදෙන කතාබහ ඒ නිමිත්තෙනි.

ඔබේ නවතම කෘතිය, ‘ඩගී’ අපදාන කෘතිය බිහි වුණු හැටි දැනගන්න කැමැතියි.

සමාජයේ විවිධ චරිත අපිට හමුවෙනවා. ඒ අතර ඔවුන් රටට සමාජයට කළ සේවය සහ ඔවුන්ගෙන් යම් යම් ක්ෂේත්‍රයන්ට සිදුවූ මෙහෙවර කාලයත් සමඟ යටපත්ව පවතිනවා. සාමාන්‍යයෙන් අපි මාධ්‍යවේදීන් ලෙස එලෙස සමාජයට මෙහෙවරක් ඉටුකළ දක්ෂ විශේෂිත චරිතයක් පිළිබඳව ඉවක් දැනුණු විට ඒ පිළිබඳ ඔවුන් ගැන සෙවීම සිදු කරනවා. එලෙස මට දැන ගැනීමට ලැබුණා, ඩග්ලස් සිරිවර්ධනයන් පිළිබඳව. 1976 වගේ කාලයකදී වේදිකා නාට්‍ය කලාවට අල්ට්‍රාවයලට් ආලෝකය භාවිත කරමින් තමා නිෂ්පාදනය කළ ‘අඹු සැමියෝ’ නාට්‍යයේ භූතාත්මවල ස්වරූපය ප්‍රේක්ෂකයන්ට දනවන්නට කටයුතු කළ, ඒ වගේම 1986 දී ‘හිට්ලර්’ නාට්‍යය – අද කාලයේ අපි චිත්‍රපටවල දකින ‘ඩොල්බි ඇට්මෝස්‘ වැනි බලපෑමක් ඇති කළ හැකි ශබ්ද ක්‍රමයක් තමා සතු සීමිත සංගීත භාණ්ඩ යොදාගෙන ගුවන් යානා මඟින් බෝම්බ පුපුරන හඬ ප්‍රේක්ෂකයින්ට දනවන්නට උත්සාහ කළ, වේදිකා නාට්‍ය තුළ චිත්‍රපට කොටස් පෙන්වූ, නාට්‍ය වැඩමුළු මඟින් නළු නිළියන් විශාල පිරිසකගේ පරම්පරාවක් බිහිකළ පුද්ගලයෙක් තමයි ඩග්ලස් සිරිවර්ධනයන්. නමුත් මම එතුමා පිළිබඳ ලියන්නට හිටියේ නැහැ.

මම ඔහුට යෝජනා කළේ එතුමාගේ ස්වයං චරිතාපදානය එතුමාට ලියන්න කියායි. නමුත් අවසානයේ ඔහු මගෙන් ඉල්ලීමක් කළ නිසාත්, ඔහුගේ නාට්‍ය දිවියට වසර පනහක් පිරීම නිමිත්තෙන් කැස්බියන් (කැස්බෑව සෞන්දර්යයේ ශක්තිය) විසින් සංවිධානය කරන ලද උපහාර උළෙලක දී ඔහු පිළිබඳ කෘතියක් ඔහුට උපහාරයක් වශයෙන් අත්පත් කිරීමේ අවශ්‍යතාව ඉක්මන් වූ නිසාත් මේ කෘතිය රචනා කරන්නට මම මුල් වුණා. ඒක සතුටක්.

ඔබේ පියාත් ඩග්ලස් සිරිවර්ධනත් සමකාලීන කලාකරුවන්. ඩග්ලස් සිරිවර්ධන පිළිබඳ ඔබගේ කුඩා කල මතකය කෙබඳු ද?

ඩග්ලස් සිරිවර්ධනයන් ඔහුගේ ප්‍රථම වේදිකා නාට්‍යය ‘අඹු සැමියෝ’ වේදිකා ගත කරන කාල වකවානුවේදීමයි පරාක්‍රම නිරිඇල්ලයන් ඔහුගේත් කුලුඳුල් වේදිකා නාට්‍ය නිර්මාණය ‘සෙක්කුව’ නිෂ්පාදනය කරන්නේ. එහි සංගීත නිර්මාණය සිදු වුණේ මගේ පියා අතින්. ඔහු ප්‍රවීණ සංගීතඥයෙක් වූ සැම්සන් සිල්වා. ඉතින් ඩග්ලස් සිරිවර්ධන, පරාක්‍රම නිරිඇල්ල වගේම මගේ පියා සැම්සන් සිල්වා කලා ක්ෂේත්‍රයේ එකට කළඑළි බැස්ස පිරිසක්. ඒ නිසා මගේ පියාගේ මිතුරන් ලෙස ඔවුන්ගේ ඇසුර කුඩා කල සිටම මම ලැබුවා. 1993 දී මගේ පියා මෙලොව හැර ගියත් ඔවුන් සමඟ අපේ පවුලේ තිබූ බැඳීම දුරස් වුණේ නැහැ.

චරිත කතාවක් ලිවීම තරමක අභියෝගයක් නේද?

ඔව්. චරිත කතාවක් ලියන එක කොහොම ගත්තත්, සමාජයට සේවයක් කළ අයෙක් වුණත් නැතත් මනුෂ්‍ය චරිතයක් කියන්නේ සංකීර්ණ සංසිද්ධිදාමයක්. ඩග්ලස් සිරිවර්ධන මහතා 75 වසරක් පුරා විවිධ ක්ෂේත්‍රවල – නාට්‍ය, නීතිඥ, ටෙලිනාට්‍ය, අධ්‍යාපන, දේශපාලන, සමාජ සේවය වැනි අංශ ගණනාවක නියැළුණු අයෙක්. ඒ නිසා ඔහු ගැන ලිවීමේදී ඒ සංකීර්ණත්වය වැඩිවුණා. ඒත් මම ඔහුට අසාධාරණයක් නොවන පරිදි, පාඨකයන්ටත් අසාධාරණයක් නොවන පරිදි හැකි තරම් තොරතුරු මේ කෘතියට ඇතුළත් කළා. හැමදෙනාටම තේරුම් ගන්නට හැකි සරල වහරකින් ලියන්නට උත්සාහ කළා. ඔහු පිළිබඳ ඔහුගේ වටිනාකම් සහ සමාජ මෙහෙවර පිළිබඳ බොහෝ කරුණු පොතට ඇතුළත් කළා.

 

TEXT – තුෂාරි නේරංජා වික්‍රමසිංහ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?