මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විනිවිදභාවය සහ ශිෂ්‍ය අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පසුගියදා ගරු අභියාචනාධිකරණය විසින් තීන්දුවක් ලබා දෙන ලදි (නඩු අංක: RTI/01/2024). ඒ අනුව, ඕනෑම විභාග අපේක්ෂකයෙකුට තමන් ලියූ පිළිතුරු පත්‍ර සහ ලකුණු ලබාදුන් පදනම (Marking Scheme) තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගැනීමට ඇති නිත්‍යනුකූල අයිතිය තහවුරු කර ඇත.
මෙම නඩුවට පාදක වූයේ ආර්.ඒ.ඩී. සශින්ද්‍යා රණසිංහ ශිෂ්‍යාව 2023 වසරේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී ප්‍රවේශ විභාගයට පෙනී සිටීමෙන් පසු, ඇයගේ පිළිතුරු පත්‍ර සහ ලකුණු පටිපාටිය ඉල්ලා සිටීමයි. විශ්වවිද්‍යාල පරිපාලනය විසින් එම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළේ එය පුද්ගලික තොරතුරු බවත් විභාග ක්‍රමවේදයට හානිකර බවත් පවසමිනි.
කෙසේ වෙතත්, තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව විසින් එම තොරතුරු ලබාදෙන ලෙස නියෝග කළ අතර, විවෘත විශ්වවිද්‍යාලය එයට එරෙහිව අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කළේය.
ගරු විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන් හමුවේ විභාග වූ මෙම නඩුවේදී අධිකරණය අවධාරණය කළේ, රාජ්‍ය ආයතනයක් මහජනතාව වෙත තොරතුරු ලබාදීමට බැඳී සිටින බවයි. තීන්දුවේ මෙසේ සඳහන් වේ:
“විභාග අපේක්ෂකයෙකු තමන්ගේ පිළිතුරු පත්‍රය ඉල්ලා සිටියහොත්, එය සහ ලකුණු ලබාදුන් ආකාරය හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කිරීමට කිසිදු හේතුවක් මම නොදකිමි.”
මෙම තීන්දුව විවෘත විශ්වවිද්‍යාලයට පමණක් නොව, මෙරට සියලුම විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වෙත ද අදාළ වේ. වර්තමානයේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇතැම් විට සිදුවන බව පැවසෙන පළිගැනීම්, අල්ලස් හෝ අත්තනෝමතික ලකුණු ලබාදීම් වළක්වා ගැනීමට මෙය මනා පිටිවහලකි. තමන් ලියූ පිළිතුරු පත්‍රය පරීක්ෂා කිරීමට ඇති අයිතිය හරහා විභාග ක්‍රමවේදයේ සාධාරණත්වය තහවුරු කර ගැනීමට ශිෂ්‍යයින්ට දැන් අවස්ථාව උදා වී ඇත.
මෙම තීන්දුව මඟින් තොරතුරු දැනගැනීමේ අයිතිය තවදුරටත් ශක්තිමත් කර ඇති අතර, අධ්‍යාපන ආයතන පවත්වාගෙන යන “අපාරදෘශ්‍ය” පාලනයන්ට එරෙහිව විද්‍යාර්ථීන් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයකි. අසාධාරණයට ලක්වන ඕනෑම ශිෂ්‍යයෙකුට තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට මෙය පූර්වාදර්ශයක් වනු නොඅනුමානය.
මෙම පාරදෘශ්‍ය බව දැන ගැනීමේ අයිතිය රාජ්‍ය විශ්ව විද්‍යාලවලට පමණක් නොව මෙරට පවතින පෞද්ගලික විශ්ව විද්‍යාල, අධ්‍යාපන ආයතනවලද ක්‍රියාවට නැංවීම කාලොචිතය.
