Monday, May 18, 2026
Epaper
Home විශේෂාංගහපුතලේ මීදුම් සළු අතර සැඟවුණු බ්‍රිතාන්‍ය සිහිනය ඇඩිසම් බංගලාව

හපුතලේ මීදුම් සළු අතර සැඟවුණු බ්‍රිතාන්‍ය සිහිනය ඇඩිසම් බංගලාව

by Shanaka Lakehouse

ලක් දෙරණේ මධ්‍යම කඳුකරයේ සුන්දරත්වය සොයා යන සංචාරකයකුට හපුතලේ යනු නිතැතින්ම මුණගැසෙන නවාතැනකි. නිරන්තරයෙන් ඇදී එන මීදුම් සළු අතරින් මතුවන නිල්වන් කඳුවැටිත්, තේ වතු යායවලිනුත් හැඩවූ මේ ඉසව්වේ අභිමානවත් ලෙස නැගී සිටින එක් සුවිශේෂී මන්දිරයක් ඇත. ඒ අන් කිසිවක් නොව, වසර සියයකට ආසන්න ඉතිහාසයක පෞඩත්වය අදටත් නොනැසී පවත්වා ගන්නා “ඇඩිසම් බංගලාව” (Adisham Bungalow) හෙවත් වත්මන් ශාන්ත බෙනඩික්ට් ආරාමයයි.

මෙම මන්දිරයේ ඉතිහාසය විමසා බැලීමේදී අප 1931 වසර දක්වා අතීතයට යා යුතුය. මෙය ඉදිකරන ලද්දේ එකල මෙරට සිටි ප්‍රමුඛ පෙළේ බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයකු වූ ශ්‍රීමත් තෝමස් ලිස්ටර් විලියර්ස් (Sir Thomas Lister Villiers) විසිනි. ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු, තේ වගාවට මෙන්ම මෙරට වාණිජ ක්ෂේත්‍රයට විශාල සේවයක් කළ අයෙකි. එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයේ තමා උපන් ‘ඇඩිසම්’ ගම්මානයේ මතකයන් ලක් පොළොව මත ප්‍රතිනිර්මාණය කිරීමට ඔහු උත්සුක විය. තන්ගමලේ රක්ෂිතයට මායිම්ව පිහිටි මේ බිම් කඩ ඔහු තෝරාගත්තේ එහි ඇති දැඩි නිහඬතාව සහ වෙනස් වන සුවිශේෂී කාලගුණය නිසායි.

ටියුඩර් (Tudor) ගෘහ නිර්මාණ ශිල්පයට අනුකූලව නිමවා ඇති මෙම බංගලාව දුටු පමණින් යුරෝපීය මැදිරියක අසිරිය සිහිපත් වේ.

කළු ගලින් නිමවූ මෙහි බිත්ති සහ වහලයේ හැඩතල ඉතාමත් සංකීර්ණ මෙන්ම කලාත්මක මට්ටමකින් පවතී. මහල් දෙකකින් සහ කාමර 25කින් සමන්විත මෙහි සෑම කාමරයක් තුළම ගල් අඟුරු උදුනක් තිබුණි. මෙහි විශේෂත්වය වන්නේ මෙහි ඇතුළත අලංකරණය සඳහා යොදාගත් සෑම අමුද්‍රව්‍යයක්ම පාහේ එංගලන්තයෙන් ආනයනය

කර තිබීමයි. වටිනා තේක්ක දැවයෙන් නිමවූ සුවිශාල පියගැටපෙළ, විචිත්‍රවත් කාපට් වර්ග, දොර ජනෙල්වල ඇති සියුම් වීදුරු සහ ගෘහ භාණ්ඩ බ්‍රිතාන්‍ය රදළ පෙළැන්තියේ ජීවන විලාසය අදටත් ජීවමානව කියාපායි.

බංගලාව තුළ ඇති උදුන් (Fireplaces) සීතල මකාගැනීමට පමණක් නොව මන්දිරයට ගාම්භීර පෙනුමක් ලබාදීමටත් සමත් වී ඇත. එමෙන්ම මෙය දේශීය තාක්ෂණයට අනුව දේශීය කාර්මික ශිල්පියකු යොදාගෙන නිම කිරීමද සුවිශේෂීත්වයකි. විලියර්ස් මහතා සතු වූ විශාල පොත් එකතුවකින් සමන්විත පුස්තකාලය අදටත් ඒ අයුරින්ම සුරක්ෂිතව පවතී. එම යුගයේ බ්‍රිතාන්‍ය සංස්කෘතිය සහ දැනුම ගවේෂණය කරන්නකුට මෙය කදිම තෝතැන්නකි.

ඇඩිසම් බංගලාව යනු හුදු ගොඩනැඟිල්ලක් පමණක් නොවේ. එය සොබාදහම සමඟ මනාව බද්ධ වූ පාරාදීසයකි. බංගලාව වටා පිහිටි තන්ගමලේ කුරුලු රක්ෂිතය නිසා විවිධ දුර්ලභ පක්ෂීන්ගේ නාදය නිරන්තරයෙන් මෙහි ඇසෙන්නට ලැබේ. මන්දිරයේ ඉදිරිපස ඇති උද්‍යානය ඉංග්‍රීසි සම්ප්‍රදායට අනුව ඉතා මනරම් ලෙස සකස් කර ඇත. රෝස, ලිලී වැනි විවිධ වර්ණවලින් යුත් මල් වර්ගත්, කඳුකරයේ මීදුම අතරින් පෙනෙන ඈත කඳුවැටිත් මවන දසුන නෙතට සැබෑ රසඳුනකි. හපුතලේ සීතල සුළඟත්, වටපිටාවේ ඇති නිහඬතාවත් මෙම ස්ථානයට ගෙන එන්නේ අමුතුම ආකාරයේ ආශ්චර්යවත් බවකි.

1961 වසරේදී මෙම බංගලාව රෝමානු කතෝලික පල්ලියේ ශාන්ත බෙනඩික්ට් නිකායට පවරා දෙන ලදි. එතැන් සිට මෙය ආරාමයක් ලෙස ක්‍රියාත්මක වේ. අද වන විට මෙහි වැඩ වසන පියතුමන්ලා මෙම ඓතිහාසික ස්ථානය ඉතා පිරිසුදුව හා ගෞරවනීය ලෙස රැකබලා ගනිති. බංගලාවේ එක් කොටසක් පමණක් සංචාරකයන් සඳහා විවෘත වන අතර අනෙක් කොටස පියතුමන්ලාගේ ආධ්‍යාත්මික කටයුතු සඳහා වෙන් කර ඇත.

ආරාමයේ නඩත්තු කටයුතු සඳහා කෙරෙන විශේෂ කාර්යයක් වන්නේ ස්වාභාවික පලතුරු නිෂ්පාදන නිපදවීමයි. කිසිදු කෘත්‍රිම රසකාරකයක් හෝ වර්ණකයක් නොමැතිව, උද්‍යානයේ වැවෙන ස්ට්‍රෝබෙරි, ගූස්බෙරි (Gooseberry) වැනි පලතුරු යොදාගෙන සාදන ජෑම්, කෝඩියල් සහ චට්නි වර්ග සංචාරකයන් අතර ඉතා ප්‍රසිද්ධය.

හපුතලේ සංචාරයක නිරත වන ඔබ, මීදුම අතරින් එබිකම් කරන මේ අපූරු මන්දිරයට ගොඩවැදීමට අමතක නොකරන්න. එහි ඇති නිහඬ වටපිටාව ඔබේ විඩාබර මනසට සුවයක් ගෙනෙනු නිසැකය. එය අතීත රදළ ජීවන විලාසයත්, වර්තමාන ආධ්‍යාත්මික සන්සුන් බවත් යා කරන සොඳුරු පාලමකි. තන්ගමලේ කඳු මුදුනේ පිහිටි ඇඩිසම් බංගලාව, අපේ රටේ ඇති ගෘහ නිර්මාණ සහ ඓතිහාසික වටිනාකම් අතර නොමැකෙන සලකුණක් ලෙස සදාකාලයටම පවතිනු ඇත.

TEXT – දුලක්ෂි ඩයස්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?