දස මසක් කුස දරා සිට
මා ලොවට වැදූ අම්මා ඔබය
කෙළවරක් නැති දුක් දරා විඳ
මා ලොවට හැදූ අම්මා ඔබය
මීට දශක ගණනාවකට පෙර අම්මා ගැන ප්‍රවීණ සාහිත්‍යධර මහගම සේකරයන් ලියන්නේ එලෙසිනි. එදත් අදත් හෙටත් ලොව කොතැනක සිටියද අම්මලා නම් එලෙසය. අම්මාගේ සෙනෙහස ජාතියකින් ආගමකින් කුලයකින් බෙදා වෙන් කළ නොහැකිය. තරුණී අම්මාවරුනේ විශේෂාංගය සමඟ මෙවර ඔබ හමුවේ සිය මෑණියන් ගැන කතාබස් කරන්නේද මහගම සේකරයන් සේම සිංහල සාහිත්‍යය වෙනුවෙන් අනුපමේය සේවයක් කරන ලේඛිකාවකි. ඇය නමින් ප්‍රියංවදා එම්. බන්දුවර්ධනය. ඇය සිය මව ගැන කතාබහට එක් වූයේ මේ ආකාරයෙනි.
මගේ අම්මගෙ නම පතිරණලාගේ සෝමාවතී. මගේ අම්මා ටිකක් සැරයි. මට සහෝදර සහෝදරියෝ හිටියේ නෑ. මම පවුලේ එකම දරුවා. මගේ අම්මා තාත්තා මං පුංචි කාලෙම දික්කසාද වුණා. ඉතින් පුංචි කාලේ මට හිටියේ අම්මා විතරයි. අම්මා මට බොහොම ආදරය කළා. ඒ කාලේ දෙවැනි ලෝක යුද්ධය අවසන් වූ සමය. ඉතින් ඒ දවස්වල අපට ජීවත් වීම පහසු වුණේ නෑ. ඉතින් ඇය මාව තනිවම හදා ගන්න ලොකු යුද්ධයක් කළා. ඒ දවස්වල අම්මා මට කිරි බෝතලයක් ගේන්න හැමදාම වාගේ කිලෝමීටරයට වැඩි දුරක් ගමන් කළ බව ඇය මට කියා තිබෙනවා. ඒ හැම දෙයක්ම ආදරය නිසා බැව් මම දන්නවා. ඉතින් මගේ ළමා කාලය කරදර දුක්ගැහැට මැද ගෙවුණත් ඒ හැම දුක් කරදරයකදීම අම්මා මා ළඟින්ම හිටියා.
මගේ අම්මා ගොඩක් ලස්සනයි. ඒ වගේම කඩිසරයි. නිතරම ඇගේ හිතේ තිබුණේ නොපසුබස්නා වීර්යයක්. එහෙත් ඇගේ රූමත් බව ඇගේ දිවියේ පරහට හිටියා කිව්වොත් වැරදි නෑ. ඇයට මාව තනිවම බලා ගන්නට නොහැකි වූ තරමටම ඒ රූමත් කම පරහට හිටියා. ඉතින් ඇය නැවතත් විවාහ වුණා. ඒ පවුලේ දරුවො හිටියත් අම්මාගෙන් මට වෙනසක් වුණේ නෑ. අම්මා නිතරම මාව ආරක්ෂා කළා.
තාත්තාගෙන් නඩත්තු මුදල් ගන්නට අම්මා මාවත් අරගෙන උසාවියේ රස්තියාදු වුණු ආකාරය මට අමතක වන්නේ නෑ. ඒ කාලේ මගේ නඩත්තුවට ලැබුණේ රුපියල් දහයක මුදලක්. එයත් හැම මාසයකම මට පිළිවෙළට නොලැබුණු තරම්. ඉතින් අම්මා ඒ වෙනුවෙන් උසාවි යද්දි මාත් ඇගේ අතේ එල්ලීගෙන ගිය හැටි මට මතකයි.
ඒ වගේම මං පාසල් කාලයේ ඉඳන්ම ඉගෙන ගන්න බොහොම දක්ෂයි. ඒත් මං බොහොම හිතුවක්කාරයි. අම්මා මට වඩා දෙවැනි කසාදේ දරුවන්ට ආදරේ යැයි මගෙ හිතට දැනුණු නිසා මං හිතුවක්කාර වුණා යැයි මට හිතෙනවා. ඒ නිසා අම්මා කියන දේ නාහන ගතියක් මගේ තිබුණා. අම්මා දවසක් මට අපූරු දඬුවමක් දුන්නා. මං එතකොට හිටියේ අටේ පන්තියේ. මං ඒ දවස්වල ඉගෙන ගන්න දක්ෂ නිසාම පාසල් ගියේ බොහොම ආසාවෙන්.
එදා අම්මා මට ඉතාම සැරෙන් මෙහෙම කිව්වා. “උඹට මං හොඳ වැඩක් කරන්නන්කෝ. උඹ හිතුවක්කාරයි. මං උඹේ ඉස්කෝලේ ගමන නවත්තන්නන්කෝ” යනුවෙන් පවසමින් පාසලට ගොස් විදුහල්පතිතුමාව හමුවුණා. විදුහල්පතිතුමා ඉදිරියේ මාව පාසලෙන් අස් කර ගන්නට ඕනෑ යැයි පැවසුවේ මං හිතුවක්කාර බව කියමින්. අනතුරුව විදුහල්පතිතුමා අම්මාට දොස් කියමින් මං හොඳින් ඉගෙන ගන්නවා, ඒ නිසා දුවව නොවරදවාම පාසල් එවන්නැයි කියා සිටියා. අම්මා හා බැඳුණු සිය අමරණීය මතක එක පෙළට අප හමුවේ තැබූ ප්‍රියංවදා එම්. බන්දුවර්ධන ලේඛිකාව සිය මවගේ යහපත් ගති ලක්ෂණ මෙලෙස කියා පෑවාය.
අම්මා මට නිතරම අරපිරිමැස්ම ඉගැන්වුවා. අම්මා හරිම සූක්ෂ්ම චරිතයක්. මටත් ඒ අරපිරිමැස්ම හුරු වුණා. අද මං ජීවත් වන්නේ ධනවත් රටක. ඒ වුණත් මගේ ජීවිතයේත් අරපිරිමැස්ම කියන ලක්ෂණය තිබෙනවා. ඉස්සර මගෙ අම්මා, ඇඳ ඇතිරිල්ලක් පරණ වුණාම එය කපා අත්පිස්නා මහනවා. ඒ අත්පිස්නා පවා පරණ වන විට කුස්සියේ බිමට දාන්න යොදා ගත් හැටිත් මට තාම මතකයි.
අම්මා ඒ තරමටම අරපිරිමැස්මෙන් කටයුතු කළා. ඇය කවදාවත්ම කෑම ඉවත දාන්නේ නෑ. පෙර දින රාත්‍රියක ඉතිරි වන කෑම වෙනත් ආකාරයකට නැවත සකස් කර පසුදින උදෑසන ආහාරයට ගැනීම අම්මාගේ සිරිතක්. අම්මාගෙන් ලැබුණු ඒ වටිනා පුරුද්ද මගේ ජීවිතයට අලුත් හැඩයක් එකතු කළා කිව්වොත් නිවැරදියි.
මවුවරුන් දරුවන්ගේ ජීවිතයට හුරු කරන වටිනා පුරුදු ඔවුන්ගේ ජීවිත ජයග්‍රහණයන්ට පාර පෙන්වන්නේ කිසිදු සැකයකින් තොරවය.
අම්මා නිතරම පරිසරය සමඟ ජීවත් වුණු කෙනෙක්. අම්මා පරිසරයට ගොඩක් ආදරෙයි. ඒ පුරුද්ද මගේ ජීවිතයටත් නිරායාසයෙන්ම එකතු වෙලා තියෙනවා. ඉස්සර මගේ කකුලේ තුවාලයක් වුණාම පරිසරයේ තිබෙන ඖෂධ පැළෑටියකින් ඇය මට බෙහෙත් කළා. ඉස්සර අම්මා මා එක්ක කැලේ ගිහින් පලා වර්ග, පලතුරු වර්ග කඩාගෙන එනවා. බිම්මල් කඩන හැටි අම්මා ඉගැන්වූ හැටි මට මතකයි. මේ හැම දෙයකින්ම පරිසරය සමඟ සුහද ජීවිතයක් ගත කරන්නට අම්මා මාව පුරුදු කළා.
අම්මා ගැඩවිලුන් පිලිස්සෙන නිසා කවදාවත්ම කුණු කසළ පිලිස්සුවේ නෑ. නිතරම අම්මා කුණු කසළ වළකට එකතු කළා. මගෙ අම්මා පිනට දහමට ලැදියි. අම්මා නිතරම ආච්චි අම්මා එක්ක මාව පන්සල් යැව්වා. කාලයත් එක්ක මගේ හිතුවක්කාර ගති අඩු වන්නත් එය හේතුවක් වුණා.
අම්මා සතියකට වරක් දෙවරක් කැවුම්, අලුවා වගේ කෑම වර්ග හදනවා. ඒ කෑමවලට හුරු වුණු නිසාම අම්මාට දියවැඩියා හැදුණා. දියවැඩියාව නොවැලඳෙන්නට අම්මා අදටත් ජීවත් වෙනවා. ඒ වගේම අම්මා හදපු හත්මාළුව හරිම රසයි. අම්මාගෙන් කෑම වේලක් කාපු හැම කෙනෙක්ම ඒ හත්මාළුවේ රස අදටත් මතක් කරනවා. හත් මාළුව අවුරුදු කාලයට හැදෙන කෑමක් වුණත් අපේ ගෙදර එය නිතර දෙවේලේ හැදුණු ආහාරයක්.
ප්‍රශ්න කරදර කම්කටොලු ජීවිතයට නොඑන්නේ නම් ඒ ජීවිතය රසවත් වන්නේ නැත. ගලා යන දිය පහරක වුව සැබෑ ලස්සන දිස් වන්නේ ගල් පහර මතින් දිය ගලනා විට නොවේද? ඒ රළු ගල් කුළුවල වදින දිය දහරාවන් නිසා ගඟක් ලස්සන වනවා සේම ප්‍රශ්න කම්කටොලු ඉවසා දරා ගනිමින් ගෙවා දමන ජීවිතය මිනිස් සිතුවිලිවලට අලුත් හැඩයක් එක් කරයි. මේ ප්‍රියංවදා බන්දුවර්ධන සිය මව ප්‍රශ්නවලට මුහුණ දුන් ආකාරය ගැන අපට පැවසූ ආකාරයයි.
ප්‍රශ්න ආවාම අම්මා ගොඩක් ඉවසනවා. හැබැයි ඉවසලා බැරිම තැන අම්මා මට පහර දුන් අවස්ථාත් තිබුණා. මං ඒ කාලේ කොල්ලෙකුට ආදරය කළා. ඉතින් අම්මා ඒ සම්බන්ධයට කැමැති වුණේ නෑ. ඒ වගේම ඒ කොල්ලාගේ තාත්තාත් මේ සම්බන්ධයට අකමැති වුණා. ඉතින් ඒ සම්බන්ධය නවත්තන්නැයි අම්මා නිතරම මට බල කළා. ඒත් අම්මාගේ අවවාද මං පිළිගත්තේ නෑ.
ඒ නිසාම අම්මා මට දඬුවම් කළා. අම්මා මේ සම්බන්ධය කඩන්නට ගුරුකමකුත් කරලා තිබුණා. ඒ අනුව හැදුව යන්තරයක් මගේ කොට්ටය ඇතුළේ දාන්නට අම්මා කටයුතු කර තිබුණේ මටත් හොරෙන්. ඒත් ඒ යන්තරය මට අහුවුණා. අනතුරුව මං තනිවම කල්පනා කළා. අම්මා මේ සම්බන්ධය නවත්තන්නැයි කියන්නේ කුමන හෝ සාධාරණ හේතුවක් නිසා නොවේදැයි මං සිතුවා. ඉතින් මං ඒ සම්බන්ධය නැවැත්තුවා.
ප්‍රවීණ ලේඛිකාවක වන ප්‍රියංවදා එම්. බන්දුවර්ධනයන්ගේ ලේඛන දිවියට සිය මවගෙන් ලැබුණු පන්නරය ගැන ඇය මෙසේ කියා සිටියාය.
මගේ ලේඛන කලාවට අම්මාගේ ජීවිතයෙන් බොහෝ දේ එකතු වුණා. අම්මාගේ ජීවිතය ඇසුරින් මං කෙටි කතා කිහිපයක්ම ලියා තිබෙනවා. මේ අවුරුද්දේ නිකුත් වූ මා ලියූ කෙටි කතා සංග්‍රහයක ‘තේගිස් මාමා’ නම් කෙටි කතාව අම්මාගේ ජීවිතය හා සම්බන්ධයි. ඒ කතාවම වෙනත් ආකාරයකින් ලියලා ඒ දවස්වල මං ගුවන් විදුලියට යැව්වා. අනතුරුව ඒ කතාව ගුවන් විදුලියේ ප්‍රචාරය වෙද්දී අම්මාට අහන්න කියලත් මං කිව්වා. එදා ඒ කතාව අසා අම්මාගේ හිත ටිකක් වෙනස් වෙලා තිබුණු බව මට සැලවුණා. ඒත් අම්මා මට වචනයකින්වත් කිසි දෙයක් කිව්වෙ නෑ. අම්මා මගේ ලේඛන කලාවට නිතරම ආශීර්වාද කළා. ඉතින් අද මං මෙවන් දුර ගමනක් ආවේ ඒ ආශීර්වාදය නිසා යැයි මං විශ්වාස කරනවා.
TEXT – ආර්. පී. මිහිරාන්
