Monday, May 18, 2026
Epaper
Home විශේෂාංගරොන් තියේටර් දස වසරක අභිමානය දිගහැරෙයි

රොන් තියේටර් දස වසරක අභිමානය දිගහැරෙයි

by Shanaka Lakehouse

වෙන්නප්පුව කටුනේරිය රොන් තියේටර් නාට්‍ය පාසල සංවිධාන කරන ‘ස්වර්ගයෙන් කතා කරයි’ වේදිකා නාට්‍යය පසුගියදා නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසල් රංග ශාලාවේදී වේදිකාගත විය. මෙම නාට්‍යය බයිබලයේ කතාවක් ඇසුරින් නිර්මාණය කරන ලද්දකි. නාට්‍යවේදී, තිර පිටපත් රචක රොනල්ඩ් දසනායකගේ ගුරු මාර්ගෝපදේශකත්වයෙන් වසර 10ක් පුරා පවත්වාගෙන යන රොන් තියේටර් නාට්‍ය පාසලේ 2025 වසරේ නාට්‍ය වැඩමුළුව නිමා කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ රංගන දායකත්වයෙන් මෙම නාට්‍යය සංවිධාන කෙරුණි. මෙම නාට්‍යයේ පිටපත් රචනය සහ අධ්‍යක්ෂණය රොනල්ඩ් දසනායක විසින් සිදු කර තිබේ.

‘ස්වර්ගයෙන් කතා කරයි’ වේදිකා නාට්‍යය සඳහා මෙවර නාට්‍ය වැඩමුළුව සාර්ථකව අවසන් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 20 දෙනෙක් රංගනයෙන් දායක වූහ. මෙම නාට්‍යය සාම්ප්‍රදායික පාස්කු නාට්‍ය කලාවෙන් ඔබ්බට ගොස් බයිබලයේ කතාවක් සම්බන්ධව සිදු කර ඇති පර්යේෂණාත්මක නාට්‍යයකි. බයිබලයේ සඳහන් නෝවාගේ ජලගැල්ම කතාන්දරය ඇසුරින් මෙම වේදිකා නාට්‍යය නිර්මාණය කර ඇත. මෙය සම්පූර්ණයෙන් නැවක ගමන් කරන මගීන් පිරිසක් ඇසුරින් නිර්මාණය කර තිබේ.

ලෝකයේ වාසය කරන සුපිරි පැලැන්තියේ ධනවතුන් සහ බලවතුන් පිරිසක් මෙම නැවේ ගමන් කරන්නේ කිසි දි‍ෙනක මිනිසකු පියවර නොතැබූ සොඳුරු පාරාදීසයක් සොයාගෙනය. ධනයෙන් හා බලයෙන් කොතරම් පරිපූර්ණ වුවද මෙහි ගමන් කරන මිනිසුන්ගේ අවගුණ නිරන්තරයෙන් ඉස්මතු වන අයුරු මෙම නාට්‍යයෙන් පැහැදිලි කරයි. මේ ගමනේදී නැව මුහුදුබත් වීමකට මුහුණ දෙන අතර, එහිදී ඉස්මතු වන මානව චර්යාවන් අනුව ඒ ඒ මිනිසුන්ගේ ඉරණම තීන්දු වන ආකාරය මෙම නාට්‍යයෙන් මනාව ගම්‍ය වෙයි. සැබැවින්ම මෙහි නිර්මාණකරු මෙම නැව ඇසුරෙන් දක්වන්නේ අප ජීවත් වන ලෝකයයි. අප නිවැරදිව ගමන් කළහොත් යහපත් තැනකටත්, වැරදි ගමන් මාර්ගයක ගමන් කළහොත් අයහපත් තැනකටත් ගමන් කරන බව පෙන්වා දීම මෙම නාට්‍යයේ ප්‍රධාන අරමුණයි.

මේ වන විට රොන් තියේටර් නාට්‍ය පාසල විසින් නාට්‍ය හා ප්‍රසංග ඇතුළු මෙවන් විශේෂාංග 8ක් සිදු කර ඇති අතර, ඒවාට එක් එක් වර්ෂවල නාට්‍ය වැඩමුළුව නිමා කළ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ රංගන දායකත්වය ලබා දී ඇත. ඒ අනුව මීට පෙර ‘බැද්දේගම’ වේදිකා නාට්‍යය, ‘නෙක්ස්ට් ලෙවල් තියේටර්’ 1 සහ 2 නමින් කුඩා නාට්‍ය එකතුවක්, ‘දුර්දාන්තය’ වේදිකා නාට්‍යය සහ ‘පාලම් තුන හන්දිය’ වේදිකා නාට්‍යය ඉදිරිපත් කර තිබේ.

 

TEXT – ආර්. පී. මිහිරාන්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?