Monday, June 1, 2026
Epaper
Home මනෝ උපදේශනදරුවාට නොකියා හොරෙන් යන්න එපා

දරුවාට නොකියා හොරෙන් යන්න එපා

වෙන්වීමේ කාංසාව පිටුපස ඇති ආදරණීය රහස

by Shanaka Lakehouse

“පුංචි පැටියන්ගේ හිත පාරන වෙන්වීමේ කාංසාව හෙවත් separation anxiety”

සෑම උදෑසනකම නිවෙසින් පිටව යද්දී දරුවාගේ හැඬීම ඔබේ හදවත මොහොතකට නතර කරනවාද? රැකියාවට හෝ වෙනත් ගමනකට සූදානම් වෙද්දී අම්මාගේ ඇඟේ එල්ලී දඟලන, අඬන දරුවා දෙස බලමින් ඔබ පීඩාවට පත්වෙනවා ද? මවක් ලෙස එය දරාගැනීම අතිශය පීඩාකාරී වුවත්, සැබැවින්ම එය ඔබේ දරුවාගේ ලෝකය තුළ සිදුවන ඉතා සුන්දර වර්ධනීය සන්ධිස්ථානයක් බව ඔබ දැන සිටියා ද? දරුවා සහ මව අතර ඇති ඒ නොබිඳෙන ආදරණීය බැඳීම නිසාම ඇතිවන මේ තත්ත්වය මනෝවිද්‍යාවේදී ‘වෙන්වීමේ කාංසාව’ (Separation Anxiety) ලෙස හඳුන්වනවා. අද අපි කතා කරමු, ඔබේ දරුවාගේ මේ වෙන්වීමේ කාංසාව පිටුපස ඇති මනෝවිද්‍යාත්මක පසුබිම.

මොකක්ද මේ වෙන්වීමේ කාංසාව කියන්නේ…

Separation anxiety හෙවත් වෙන්වීමේ කාංසාව කියන්නේ කුඩා දරුවන් තමන් දැඩි ලෙස ඇලුම් කරන තමන්ට ආරක්ෂාව සලසන ප්‍රධාන පුද්ගලයාගෙන් (බොහෝවිට මවගෙන්) වෙන්වීමට දක්වන අකමැත්ත නිසා ඇතිවන බිය හා කනස්සල්ලයි. මෙය මුල් ළමාවියේ ඉතා සාමාන්‍ය සංවර්ධන අවධියක් ලෙස සලකනවා. සාමාන්‍යයෙන් මාස 8, 9 සිට අවුරුදු 3 දක්වා දරුවන් තුළ මෙය බහුලව දකින්න පුළුවන්.

දරුවා මේ ආකාරයට හැසිරෙන්නේ ඇයි?

පුංචි පැටවුන්ට ලෝකය ගැන පවතින්නේ අල්ප අවබෝධයක්. අම්මා තමන්ගේ ඇස් පනාපිට නැති විට ඇය නැවත එයිද නැද්ද යන්න පිළිබඳ ඔවුන්ට නිශ්චිත වැටහීමක් නැහැ. අම්මා මාව දාලා යයි කියන හැඟීම ඔවුන් තුළ ලොකු තනිකමක් සහ බියක් ඇති කරන්න තදින් බලපානවා.

වෙන්වීමේ කාංසාවේ ලක්ෂණ දරුවාගේ වයස සහ පෞරුෂය අනුව වෙනස් වෙන්න පුළුවන්…

මවගේ දැඩි ලෙස ඇලී සිටීම එනම් අම්මා නිවෙස තුළ එහෙ මෙහෙ යන විට පවා දරුවා ඒ පිටුපසම යාම හා අම්මාගේ ඇඳුමේ හෝ අතේ එල්ලී සිටීම.

මව නිවෙසින් පිටතට යන මොහොතේ අධික ලෙස හැඬීම (සාමාන්‍ය හැඬීමකට වඩා වැඩි කාලයක් පැවතීම), බිම පෙරළීම, දැඟලීම.

තනිව නිදා ගැනීමට බිය, රාත්‍රියේ නින්දෙන් බිය වී අවදිව මව සෙවීම.

නිවෙසේ වෙනත් අය සිටියත් තම සමීපතම පුද්ගලයා නැති නම් හුදකලාව සිටීම හා එම පුද්ගලයාට අනතුරක් වේ යැයි නිරන්තරයෙන් සිතීම.

සමුගැනීමේ හෝරාව සතුටුදායක කරගන්නේ කොහොමද?…

දරුවාට නොකියා හොරෙන් යන්න එපා!

බොහෝ අම්මලා කරන වැරැද්දක් තමයි දරුවා නිදාගෙන ඉන්න අතරතුර සෙල්ලම් කරන අතරතුර හොරෙන් යෑම. එය දරුවා තුළ ඔබ කෙරෙහි ඇති විශ්වාසය බිඳ දමනවා. ඒ වෙනුවට දරුවාට ආදරයෙන් සමු දී “අම්මා හවසට එනවා” යන්න නිශ්චිතව පවසා පිටත් වෙන්න.

සමුගැනීමේ වේලාව කෙටි කරන්න…

සමුගැනීමේ දී වැඩි වේලාවක් දරුවා වඩාගෙන හුරතල් කරමින් සිටීමෙන් දරුවාගේ කාංසාව තවත් වැඩිවෙන්න පුළුවන්. කෙටි හා ආදරණීය සමුගැනීමකින් පසු ඔබ ඉක්මනින් පිටත් වීම වඩාත් සුදුසුයි.

පොරොන්දු ඉටු කරන්න…

උදාහරණයක් විදිහට ඔබ දවල් කෑමට එනවා කියා පැවසුවහොත්, හැකි උපරිමයෙන් එම වේලාවට පැමිණෙන්න. එවිට “අම්මා මාව දාලා ගියත් ආයෙත් එනවා” යන ආරක්ෂිත හැඟීම දරුවා තුළ ගොඩනැඟෙනවා.

 

හුරුපුරුදු පරිසරයක් නිර්මාණය කරන්න…

ඔබ නැති අතරතුර දරුවා රැකබලා ගන්නා පුද්ගලයාට දරුවාගේ රුචිකත්වයන් ගැන හොඳ අවබෝධයක් ලබා දෙන්න. ඔබ නැති අතරතුරත් දරුවාගේ එදිනෙදා වැඩ කටයුතු සාමාන්‍ය පරිදිම පවත්වා ගැනීමට වග බලා ගන්න. එවිට දරුවාට දැනෙන අවිනිශ්චිත බව අඩු වී, තමා සුරක්ෂිත බව හැඟෙනවා.

පුංචි දරුවන් තමන් ආදරය කරන අය තමන්ගෙන් වෙන් වෙනවාට ඇති අකැමැත්ත ඉතාම සාමාන්‍ය දෙයක්. මවුපියන් බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් මෙම තත්ත්වය කළමනාකරණය කරගන්න පහසුයි. ඔබේ ඉවසීම හා සෙනෙහස තුළින් දරුවාට ලැබෙන ඒ ආරක්ෂිත හැඟීම හෙට දවසේ ලෝකය ජයගත හැකි ශක්තිමත් පෞරුෂයක් ඇති දරුවකු බිහි කිරීමට උපකාරී වෙනවා. ඉතින් සිනාමුසු මුහුණින් දරුවාට සමුදී, නැවත පැමිණි විට සෙනෙහසින් දරුවා වැලඳ ගන්නත් අමතක කරන්න එපා..

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?