Monday, May 4, 2026
Epaper
Home මනෝ උපදේශනමවුවරුනි ඔබේ දරුවාටත් රසවින්දනය ලබාදෙන්න

මවුවරුනි ඔබේ දරුවාටත් රසවින්දනය ලබාදෙන්න

by Shanaka Lakehouse

ආත්මය සුව කරන එක් ඖෂධයක් වනුයේ රසවින්දනයයි. රසවින්දනය ලබන්නට නම් සෞන්දර්යයෙන් ඔබ පෝෂණය විය යුතුය. ආදරයෙන් හා දැනුමෙන් ලොවක් දිනන්නට දරුවන්ගේ රසවින්දනය සෞන්දර්යය තුළින් විදහාලීම උදෙසා මෙය මහඟු අත්වැලක් වනු ඇත.

බිලිඳකු මෙලොව එළිය දකින තෙක්ම මවුකුස තුළදීම සෞන්දර්ය රසය විඳිනු ලබයි. ඒ කෙසේදයත් මවක තම දරුවා හට මියුරු ශ්‍රවණයන් ආශ්වාදයට ඉඩ සැලසීම හරහාය. වෛද්‍ය උපදෙස් අනුවද කඨෝර ශබ්දයන් නොඇසීමට මවුවරුන් හට අවවාද කරනුයේ රසය බිලිඳු මනස පෝෂණය කරන බැවිනි. මවගේ නැලවිල්ලේ මිමිනුමට කුසේ සිට නැළවෙන දරුවා රසවින්දනයෙන් සෞන්දර්යයට යොමු වනුයේ එලෙසින්ය. එය සෞන්දර්යයේ පළමු පාඩමයි.

ඒ අනුව බිලිඳු වියේ සිට දරුවා ලබන මෙම රසවින්දන හැකියාව බිලිඳාගේ නිර්මාණශීලි හැකියාව මෙන්ම මනස වර්ධනය වීමේ ශක්‍යතාව ඔප්නංවන්නා වූ එක් සාධකයකි. හුදෙක් දැනුම ලබා ගැනීමෙන් ඔබ්බට ගොස් තමා අවට ඇති ලෝකයේ සියලු පරීක්ෂාවන් තෙවැනි ඇසකින් විමර්ශනය කරනුයේ හුදෙක් සෞන්දර්යයේ කලාත්මක රසය පදනම් කරගෙනය. මන්දයත් මනස තැන්පත් කොට පුද්ගල ඒකාග්‍රතාව මතු කරමින් නව සිතුවිලි ගොඩනඟන්නේ සෞන්දර්යය තුළිනි. අදහස් ප්‍රකාශනයට මෙන්ම අලුත් දේ නිර්මාණය කිරීමේ ප්‍රතිභාපූර්ණත්වය ඇති වන්නේද හුදෙක් රසවින්දනය තුළිනි. එමෙන්ම දරුවකුගේ සංවේදනයන්, චිත්තවේගයන්, පරිකල්පන ශක්තීන් මෙන්ම විචාර බුද්ධිය වර්ධනය වන්නේද රසවින්දනය හේතුකොට ගෙනය. තවද සෞන්දර්යයට නැඹුරු දරුවන් ගණිතය, විද්‍යාව හා භාෂාව වැනි විෂයන් සඳහා බොහෝ නැඹුරු වන බවත් දක්ෂ වන බවත් ගුරුවරුන් ඉදිරිපත් කර ඇත.

වර්තමානය තුළ දරුවන් බොහෝ සෙයින් තාක්ෂණයට යොමු වී ඇත. ඒ කෙසේදයත් වර්තමානයේ දී මවුවරුන් දරුවා කුස තුළ සිටියදීම ඔවුනගේ කාලය ගෙවීමට අන්තර්ජාලය භාවිත කරනු ලබයි. නිවෙන ගීයක් ඇසීමට, පරිසරය විඳීමට ඔවුන් වැඩි කාලයක් ගත නොකරයි. මෙහි පවත්නා බලපෑම නම් කුස තුළ සිටියදීම දරුවා හට තාක්ෂණය සංවේදනීය ලෙස පිහිටනු ලැබීමයි. තවත් ලෙසකට කුඩා වියේ සිටම දරුවන් හට ආහාර ලබා දීම, බලා ගැනීම ආදී සියලු කාර්යයන් නූතනයේ දී ජංගම දුරකතනය හරහා සිදුකිරීමට මවුවරුන් පෙලඹෙන්නේය. එනයින් ඇස පිනවීම සිදු කිරීම විනා දරුවා තුළ කිසිදු රසවින්දනයක් ඇති නොකරයි. පෙර පාසලේ සිටම චිත්‍ර ඇඳීමට, ගීත ගැයීමට හා පරිප්පු ඇට ඇලවීමේ සිට නිර්මාණශීලි අංශයන් හරහා හුදෙක් දරුවා තුළ ඉවසීම හා දරා ගැනීමේ හැකියා මතුකරනුයේ සෞන්දර්යයෙනි. සමබර වූ පෞරුෂයක් දායාද කිරීම මෙන්ම රසාලිප්ත භාවයෙන් යුතුව දරුවන් තුළ අධ්‍යයන කටයුතු කරවීමටත් මෙනයින් සෞන්දර්යය හරහා හැකියාව ලැබෙනු ඇත.

චිත්‍ර, නැටුම්, සංගීතය, නාට්‍ය, මූර්ති වැනි සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් මඟින් දරුවන්ගේ මතක ශක්තිය සහ අවධානය යොමු කිරීමේ හැකියාව වැඩිදියුණු වේ. එනයින් ප්‍රාථමික ශ්‍රේණියේ සිටම මෙම විෂයන් පාසල් විෂය නිර්දේශයට එක් කිරීම සියලු පාසල්වල සිදු විය යුතුම වූවකි. යමක් නිර්මාණය කිරීමට මෙන්ම ඉදිරිපත් කිරීමට හැකි වීමෙන් දරුවා තුළ නිරන්තරයෙන්ම ගොඩනැඟෙන්නේ සුවිශාල වූ ආත්ම විශ්වාසයයි. අධ්‍යාපනය මෙන්ම නිරන්තරයෙන්ම දරුවා බෙහෙවින් අධ්‍යයනයේ යෙදිය යුතුය. විද්‍යාත්මක සොයා ගැනීම්වලට අනුව මොළයේ එක් කොටසක් දියුණු වනුයේ කලාව හේතුවෙනි. කලාව නොමැති නම් මොළය අංගසම්පූර්ණ නොවේ. මන්දයත් සංවේදී සංකල්පනා හටගන්නේ කලාව හේතු කොටගෙනය. නර්තනය තුළ පාදය පොළොවට ගැසීමෙන් සමස්ත ස්නායු පද්ධතියම පාලනය වේ. එහි සමබරතාව මත පුද්ගල යහපත් සිතුවිලි වර්ධනය වනු ලබයි. එනම් අප නිරන්තරයෙන් සිතුවිලි සමඟ දිවි ගෙවිය යුතු අතර එම සිතුවිලි උත්පාදනය හුදෙක් සෞන්දර්යය හරහාම සිදු විය යුතු වෙයි. එවිට ක්‍රියාශීලි දරුවෙකු සෞන්දර්යය තුළින් බිහි වනු ඇත. මන්දයත් ඒ හරහා දරුවා හට සියලු දේ උකහා ගැනීමේ හැකියාව වර්ධනය වන බැවිනි. පරිපූර්ණ දරුවෙකු බිහි කිරීමට නම් නිසැකවම කලාව හැදෑරිය යුතුය. රසඥතාව ගිලිහී ගියහොත් පුද්ගල මනස මෙන්ම චර්යා පද්ධතිය අඩාළ වනු ඇත. වර්තමානය තුළ මෙතරම් සියදිවි නසා ගැනීම්, මිනීමැරුම් ආදිය සිදු වනුයේ සෞන්දර්යයේ රසය පුද්ගලයා හට නොමැති වීම හේතුවෙනි.

වෛද්‍යවරයකුගේ මතය අනුව දරුවන්ගේ කායික හා මානසික ශක්තිය ප්‍රවර්ධනය සෞන්දර්යයෙන් සිදු කරනු ලබයි. කණ්ඩායම් හැඟීම් වර්ධනයත්, පෞරුෂත්වය දියුණු කිරීමටත්, රංගනය, නර්තනය, නව නිර්මාණ කිරීම, චිත්‍ර, මූර්ති හා කැටයම් කලාව ආදිය මඟින් දරුවාගේ සියුම් චාලක ශක්තීන් ප්‍රවර්ධනය ද මේ හරහා සිදු වේ. තවද අනෙක් කෙනාගේ හැඟීම් දැනීම් තේරුම් ගැනීම හෙවත් සහකම්පනය ඇති වනුයේ ද සෞන්දර්යය හේතුවෙනි. කුඩා කල සිටම දරුවාගේ කුසලතාවන් නිසි පරිදි හඳුනාගෙන අධ්‍යාපනයට මෙන්ම සෞන්දර්යයට හා රසවින්දනයට දරුවන් යොමු කිරීම ඉතා වැදගත් වනු ඇත.

නවීන තාක්ෂණික ලෝකයත් සමඟ දරුවා තුළින් රසවින්දනාත්මක හැඟීම් ගිලිහී යාමට ඉඩ නොදීමෙන් මානවවාදී හැඟීමෙන් පරිපූර්ණ වූ සමාජයේ යහපැවැත්මට හා ප්‍රගමනයට දායක වන සුන්දර මිනිසෙකු බිහි කිරීමට හුදෙක් සෞන්දර්යය වැදගත් වනු ඇත. මෙය කුඩා කල සිටම දරුවන් හට ලබා දීම මවුවරුන්ගේ කාර්යයකි. ඉදින් මවුවරුනි, ඔබගේ දරුවාටත් සෞන්දර්යාත්මක රසවින්දනය ලබා දෙමින් මානව හිතවාදියෙක් රටට දායාද කරන මෙන් ඉල්ලා සිටිමි.

 

TEXT – සඳලි සත්සරණි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?