මිනිස් සබඳතාවල පදනම වන්නේ එකිනෙකා කෙරෙහි පවතින අන්‍යෝන්‍ය විශ්වාසයයි. විශේෂයෙන්ම ප්‍රේම සබඳතාවක හෝ විවාහ ජීවිතයක ආදරය පෝෂණය වන්නේ මෙම විශ්වාසය මතය. එහෙත්, ඇතැම් අවස්ථාවලදී මෙම සුන්දර බැඳීම තුළට සැකය නමැති විසකුරු සර්පයා රංගනයට පිවිසෙයි. මුලදී කුඩා ඊර්ෂ්‍යාවක් ලෙසින් පෙනී සිටින මෙම හැඟීම, පසුව පාලනය කරගත නොහැකි උමතුවක් දක්වා වර්ධනය වී, මුළු පවුල් සංස්ථාවම අළු කර දමන විනාශකාරී ගින්නක් බවට පත්වේ.
මනෝ විද්‍යාවේදී මෙය “මාරාන්තික ඊර්ෂ්‍යාව” (Morbid Jealousy) හෙවත් ඔතෙලෝ සින්ඩ්‍රෝමය (Othello Syndrome) ලෙස හඳුන්වයි. මෙය හුදෙක් ගතිගුණයක් හෝ ආදරයේ ප්‍රකාශනයක් නොව, කඩිනමින් ප්‍රතිකාර ලැබිය යුතු බරපතළ මානසික තත්ත්වයකි. බොහෝ විට පුවත්පත් පිටුවල වාර්තා වන ඛේදජනක පවුල් ආරවුල්, ගෘහස්ථ හිංසනයන් සහ අකල් මරණ පිටුපස සැඟවී ඇති සැබෑ හතුරා වන්නේ ද මෙයයි. තම සහකරු හෝ සහකාරිය පිළිබඳ අහේතුකව උපදින මෙම දරුණු සැකය කුමක්ද? එය ඇතිවීමට බලපාන විද්‍යාත්මක හේතු මොනවාද? සහ වඩාත් වැදගත්ම දේ වන්නේ, ඔබේ පවුලත්, ඔබේ ආදරණීයයන්ගේ ජීවිතත් මෙම මාරාන්තික උගුලෙන් බේරාගන්නේ කෙසේද යන්නයි.
ආදරය යන සුන්දර හැඟීම තුළ උපදින කුඩා ඊර්ෂ්‍යාවක් ඕනෑම සබඳතාවකට ආභරණයකි. එය බොහෝ විට සැලකෙන්නේ තම සහකරු කෙරෙහි දක්වන දැඩි සෙනෙහසක සලකුණක් ලෙසය. නමුත් ඒ ඊර්ෂ්‍යාව සීමාව ඉක්මවා ගොස්, තම සහකරු හෝ සහකාරිය කෙරෙහි පවතින දැඩි සැකයක් බවට පත්වන්නේ නම්, එය හුදෙක් ආදරයේ ප්‍රකාශනයක් නොව මාරාන්තික ඊර්ෂ්‍යාව හෙවත් Morbid Jealousy නම් දරුණු මානසික තත්ත්වයකි. මෙය විවාහ ජීවිත පමණක් නොව, මුළු පවුල් සංස්ථාවම අළු කර දමන විනාශකාරී ගින්නකි.
මනෝ විද්‍යාවේදී මෙය Othello Syndrome ලෙස ද හඳුන්වනු ලබයි. විලියම් ෂේක්ස්පියර්ගේ ‘ඔතෙලෝ’ නාට්‍යයේ එන ඔතෙලෝ චරිතය තම පතිවත්තාව රකින බිරිය කෙරෙහි ඇති කරගන්නා අහේතුක සැකය මෙයට පාදක වී ඇත. මෙහිදී පුද්ගලයා තම සහකරු වෙනත් අයකු සමඟ අනියම් සබඳතාවක් පවත්වන බවට දැඩිව විශ්වාස කරයි. මෙම විශ්වාසය කෙතරම් ප්‍රබලද යත්, එය අසත්‍ය බව ඔප්පු කිරීමට කොතෙක් සාක්ෂි ඉදිරිපත් කළද රෝගී පුද්ගලයා එය පිළිගන්නේ නැත. ඔවුන් දකින්නේ තමන්ට පෙනෙන මවාගත් සත්‍යය පමණි. සාමාන්‍ය ඊර්ෂ්‍යාව සහ මාරාන්තික ඊර්ෂ්‍යාව අතර පැහැදිලි වෙනසක් ඇත. සාමාන්‍ය ඊර්ෂ්‍යාවකදී යම් සාධාරණ පදනමක් තිබිය හැකිය. නමුත් මාරාන්තික ඊර්ෂ්‍යාව පදනම්වන්නේ පදනම් විරහිත මනෝ විකාර මතය.
මෙම තත්ත්වය හිටිහැටියේ ඇති වන්නක් නොවේ. එය ක්‍රමයෙන් වර්ධනය වන්නක්ි. ඔබ මෙම ලක්ෂණ පිළිබඳව දැනුවත් වීම ඔබේ පවුලේ ආරක්ෂාවට ඉතා වැදගත් වේ. දැනටමත් ඔබටත් මේ රෝගී ලක්ෂණ පවතිනවාද?
පළමු අවධිය (සැකයේ උපත)
සහකරුගේ දුරකතන ඇමතුම්, පණිවුඩ සහ ඇඳුම් පැලඳුම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම මෙහිදී සිදුවේ. සහකරු ප්‍රමාද වී පැමිණෙන සෑම අවස්ථාවකම තර්ක කිරීම් සිදු වේ.
දෙවැනි අවධිය (සෝදිසි කිරීමේ උන්මාදය)
මෙහිදී රෝගියා රහස් පරීක්ෂකයකු ලෙස කටයුතු කරයි. සහකරු නිවෙසින් බැහැරව සිටින විට විනාඩි කිහිපයකට වරක් ඇමතුම් ලබා ගැනීම, ඔවුන්ගේ බෑග් පරීක්ෂා කිරීම, බැංකු ගිණුම් වාර්තා පරීක්ෂා කිරීම සහ රහසින් ලුහුබැඳීම සිදු කරයි.
තෙවන අවධිය (සීමා පැනවීම සහ හුෙදකලා කිරීම)
මිතුරන්, නෑදෑයන් හෝ අසල්වැසියන් සමඟ පවා කතා කිරීම තහනම් කරයි. රැකියාවට යෑම වැළැක්වීම හෝ රැකියා ස්ථානයට නිතර නිතර පැමිණ අනවශ්‍ය ලෙස ප්‍රශ්න කරමින් සහකරුව අපහසුතාවට පත් කරයි.
සිව්වැනි අවධිය (ප්‍රචණ්ඩත්වය)
මෙම රෝගයේ භයානකම අවධිය මෙයයි. තමන් නොකළ වරදක් පිළිගන්නා තෙක් සහකරුට කායිකව වධහිංසා පමුණුවයි. මෙය බොහෝ විට අවසන් වන්නේ ඛේදජනක මරණවලිනි.
මාරාන්තික ඊර්ෂ්‍යාව යනු හුදෙක් නරක ගතිගුණයක් නොව, ජීව විද්‍යාත්මක සහ මනෝ විද්‍යාත්මක පදනමක් ඇති රෝගයකි. මෙය මාරාන්තික වීමට බලපාන ලක්ෂණ වන්නේ, මොළයේ පවතින සෙරටොනින් නම් රසායනිකය අඩු වීම සහ ඩොපමින් මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යෑම මෙයට හේතු විය හැකිය. මොළයේ පූර්ව මස්තිෂ්ක බාහිකයේ සිදුවන වෙනස්කම් නිසා පුද්ගලයකුට තර්කානුකූලව සිතීමේ හැකියාව අහිමි වේ. එසේම දීර්ඝ කාලීන මත්පැන් භාවිතය නිසා පුරුෂයන් තුළ ලිංගික බෙලහීනතාව ඇති විය හැකි අතර, එය වසා ගැනීමටත්, තම සහකාරිය වෙනත් අයකු වෙත යොමු වේ යැයි පවතින බියත් නිසා මෙම සැකය මතු වේ. ශ්‍රී ලංකාවේ පවතින බොහෝ ගෘහස්ථ හිංසන සිද්ධීන්වලට මත්පැන් සහ මාරාන්තික ඊර්ෂ්‍යාව එකට බැඳී පවතී. එසේම තවද විශේෂයෙන්ම පරපීඩක පෞරුෂය සහ මායිම්ගත පෞරුෂ ආබාධ සහිත පුද්ගලයන් තුළ මෙම රෝගය ඇතිවීමේ අවදානම වැඩිය. තමන් පිළිබඳ ඇති අඩු ආත්ම අභිමානය මෙයට ප්‍රධාන හේතුවකි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයෙන් 35%කට වඩා වැඩි ප්‍රමාණයකට මූලික හේතුව වන්නේ මෙම අහේතුක සැකයයි. ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දත්ත අනුව, වාර්ෂිකව වාර්තා වන පවුල් ආරවුල්වලින් 25%කට ආසන්න ප්‍රමාණයක යටිපෙළ පවතින්නේ මාරාන්තික ඊර්ෂ්‍යාව හෙවත් සැකයයි. මේ සැකය නිසා පවුල් පසුබිම් විනාශ වීමටත් හැකියාව ඇත. අද වන විට දික්කසාද ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් වන්නේ සැකය පදනම් කර ගත් මෙම “මාරාන්තික ඊර්ෂ්‍යාව” හෙවත් Morbid Jealousy නම් දරුණු මානසික තත්ත්වයයි. මෙම රෝගය ස්ත්‍රී – පුරුෂ දෙපාර්ශ්වයටම වැළඳිය හැකි වුවද, පිරිමින් තුළින් මෙය ප්‍රචණ්ඩත්වය ලෙසත්, කාන්තාවන් තුළින් එය මානසික අවපීඩනය සහ සියදිවි නසාගැනීමේ උත්සාහයන් ලෙසත් බාහිරට විද්‍යමාන වේ.
මෙම රෝගය එක් පුද්ගලයකුට වැලඳුණද, එහි පීඩාව විඳින්නේ මුළු පවුලමයි. විශේෂයෙන්ම මෙයින් පීඩාවන්ට හා විනාශයට ලක් වන්නේ ඔබේ දරුවන් හා ඔවුන්ගේ හෙට දවසයි. එනම් මොවුන්,
සැමවිටම බියෙන් සහ තැතිගැන්මෙන් පසු වීම.
අධ්‍යාපන කටයුතු අඩාළ වීම.
අනාගතයේදී ඔවුන්ගේ සබඳතාවලදී ද මෙවැනිම සැක සහිත හැසිරීම් ප්‍රදර්ශනය කිරීම. මානසික පීඩනය දරාගත නොහැකිව අකාලයේ නිවෙසින් බැහැර වීම හෝ වැරදි ආශ්‍රයන්වලට වැටීම.
මාරාන්තික ඊර්ෂ්‍යාව විවාහක අයට පමණක් නොව, අවිවාහක ප්‍රේම සබඳතාවල පසුවන තරුණ තරුණියන්ට ද ඉතා දරුණු ලෙස බලපානු ලබයි. නව යොවුන් වියේ සහ තරුණ වියේ පසුවන පෙම්වතුන් අතර ඇතිවන අධික ඊර්ෂ්‍යාව බොහෝ විට සමාජය දකින්නේ “වැඩිපුර ආදරය කිරීමක්” ලෙසය. නමුත් එය සැබවින්ම මාරාන්තික ඊර්ෂ්‍යාවේ මුල් අවධිය විය හැකිය.
සමාජ මාධ්‍ය හරහා පාලනය
සහකරු හෝ සහකාරිය ‘Online’ සිටින වේලාවන් පරීක්ෂා කිරීම, Password ඉල්ලා සිටීම, අනෙක් අයගේ ඡායාරූපවලට ‘Like’ කිරීම ගැන රණ්ඩු කිරීම මෙහි ප්‍රධාන ලක්ෂණයකි.
ඇඳුම් පැළඳුම් පාලනය
“ඔයා ඔය ඇඳුම ඇඳගෙන යන්නේ කාට පේන්න ද?” වැනි ප්‍රශ්න නගමින් සහකරුගේ පෞද්ගලික නිදහස සීමා කිරීම.
අධ්‍යාපනයට බාධා පැමිණවීම
නිතර නිතර දුරකතනයෙන් සම්බන්ධ වී සිටීමට බල කිරීම නිසා තරුණ තරුණියන්ගේ අධ්‍යාපනය සහ වෘත්තීය ගමන අඩාළ වේ.
මානසික පීඩනය සහ විෂාදය
නිරන්තරයෙන් සැකයට ලක්වන පුද්ගලයා දැඩි මානසික පීඩනයකට ලක්වන අතර, මෙය අවසානයේදී විෂාදය හෝ කාංසාව දක්වා දුරදිග යා හැකිය.
ආදර සබඳතා බිඳවැටීම
අවිශ්වාසය පදනම් කරගත් සබඳතා කෙටි කලකින්ම අවසන් වන අතර, එය දෙපාර්ශ්වයටම දැඩි මානසික කඩාවැටීමක් ඇති කරයි.
ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය ඔබව නිරන්තරයෙන් සැක කරන්නේ නම් සහ ඔබේ පෞද්ගලිකත්වය ආක්‍රමණය කරන්නේ නම්, එය ආදරය යැයි සිතා මුළා නොවන්න. මුල් අවධියේදීම මෙවැනි ලක්ෂණ හඳුනාගෙන වෘත්තීය උපදේශනයක් කරා යොමු වීමෙන් අනාගතයේදී සිදුවිය හැකි විශාල විනාශයන් වළක්වා ගත හැකිය. මාරාන්තික ඊර්ෂ්‍යාව යනු නිට්ටාවට සුව කළ හැකි හෝ පාලනය කළ හැකි රෝගී තත්ත්වයකි. මේ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් කිහිපයකි. එනම්,
පළමුව මෙය චරිතයේ දෝෂයක් නොව රෝගයක් බව රෝගියා සහ පවුලේ අය තේරුම් ගත යුතුය. මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයකුගේ සහය ලබාගෙන මොළයේ රසායනික අසමතුලිතතාව නිවැරදි කිරීමට ඖෂධ ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. සහකරු හෝ සහකාරිය රෝගියා සමඟ වාද නොකර, ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සහ ආදරය ලබා දිය යුතුය. එහෙත් තමන්ට කායික අනතුරක් සිදුවිය හැකි නම් වහාම නීතිමය හෝ වෛද්‍ය සහාය ලබා ගත යුතුය.
TEXT – පවනි උමේෂා
