මෙරට සිංහල සිනමා ඉතිහාසයේ මේ දක්වා පැවති සියලුම ආකාරයේ ආදායම් වාර්තා ඉතාමත් කෙටි කාල සීමාවකදී බිඳහෙළු, ධර්ම යුද්ධය -2 සිනමාපටය අති සාර්ථක දින 100 පසුකරමින් , ප්‍රේක්ෂක නැරඹුම් වාර මිලියනයකට අධික සංඛ්‍යාවක් සමගින් , ලක්ෂ 6350කට අධික වාර්තාගත ආදායමක් ලබා ගනිමින් තවදුරටත් සාර්ථකව තිරගත වෙමින් පවතින මොහොතක , මැයි 24 වන දින චිත්‍රපටය සිනමා ශාලාවන්ගෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
ආරම්භයේදීම මෙරට වැඩිම සිනමා ශාලා ප්‍රමාණයක ප්‍රදර්ශනය ඇරඹූ පළමු සිංහල චිත්‍රපටය ලෙස ද ඉතිහාසයට එක් වූ ‘ධර්ම යුද්ධය – 2’ සිනමාපටයේ මෙම දැවැන්ත සාර්ථකත්වය වෙනුවෙන් කැපවූ සියලුම පාර්ශ්වයන් ඇගයීම සඳහා වූ විශේෂ සම්මාන සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවයක් පසුගියදා රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
කාන්තාවන් ඇතුළු සමස්ත පවුලේ සැමට එකලස්ව නැරඹිය හැකි ආදරවත් සිනමාපටයක් ලෙස ප්‍රේක්ෂක ආකර්ෂණය හා ආදරය නොඅඩුව දිනා ගැනීමට මෙම නිර්මාණය සමත් විය. මහරාජා මාධ්‍ය ජාලයේ සාඩම්බර නිෂ්පාදනයක් ලෙස තිරයට පැමිණි ‘ධර්ම යුද්ධය – 2’, අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂණයකි. මෙහි අනුවර්තනීය තිර පිටපත සුනෙත් මාලිංග ලොකුහේවා විසින් රචනා කර ඇත. මෙම සිනමාපටයේ සාර්ථකත්වය උදෙසා මෙරට ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වී ඇත. සිංහල සිනමාවේ නව පෙරළියක් සනිටුහන් කළ ‘ධර්ම යුද්ධය – 2’ සිනමාපටය මෙරට සිනමා වංශකතාවේ නොමැකෙන සලකුණක් තබමින් මෙලෙස ප්‍රදර්ශන කටයුතු අවසන් කරයි.
