“චන්දරේගේ වයිෆ්”, ශ්‍රී ලාංකීය සිනමාවේ 2026 වසරේ බිහි වූ තවත් සුවිශේෂී සිනමා නිර්මාණයකි. දේශපාලනික හා සමාජීය අරමුණු වෙනුවෙන් කිසිදා ඉටුනොවන ඉල්ලීම් ඉල්ලා අරගල කරන චන්දරේ නම් පුද්ගලයා නිසා, ඔහුගේ බිරිඳට සහ දරුවන්ට මුහුණ දීමට සිදුවන සදාකාලික ජීවන අරගලය මෙම චිත්‍රපටයේ කතා සාරාංශයයි. එය පොදු අරගලයකට මුවා වී පවුලක් තුළ සිදුවන සැබෑ පුද්ගලික අරගලය ඉතා සියුම්ව ස්පර්ශ කරන්නකි.
මෙම සිනමාපටය ප්‍රසන්න ජයකොඩිගේ පස්වැනි සිනමා අධ්‍යක්ෂණයයි. “සංඛාරා” (2007) චිත්‍රපටයෙන් කයිරෝ ජාත්‍යන්තර සිනමා උළෙලේදී රිදී පිරමිඩ සම්මානය දිනාගනිමින් ජාත්‍යන්තර අවධානයට ලක්වූ ඔහු , ඉන්පසු “කර්ම” , “28” (රොටර්ඩෑම් සිනමා උළෙලේ හොඳම ආසියානු චිත්‍රපටය) සහ “සංසාරේ දඩයක්කාරයා” වැනි විශිෂ්ට නිර්මාණ බිහි කළේය. මිනිස් මනස සහ සමාජයීය වටපිටාව දෙස දාර්ශනික දෘෂ්ටියකින් බැලීමට ඔහු සතු හැකියාව මෙම චිත්‍රපටයෙන්ද මනාව පැහැදිලි වෙයි.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා මෙරට ප්‍රමුඛ පෙළේ දක්ෂ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති. නදීශා හේමමාලි, සෞම්‍ය ලියනගේ, සරත් කොතලාවල, දුලීකා මාරපන, දිනූපා කෝඩගොඩ සහ ජයනාත් බෝධහන්දි ඇතුළු නවන නළු නිළි රැසක් රඟන චන්දරේගේ වයිෆ් නිෂ්පාදනය රුචිර විජේසේන සහ චන්දන විජේසූරිය ගෙනි. තිරපිටපත ප්‍රසන්න ජයකොඩි සහ රුචිර විජේසේන ගේය. කැමරාකරණයෙන් චන්දන ජයසිංහ එක්වන අතර සංගීතය එරංග ජයවර්ධනගෙනි. අභිෂේකා විමලවීර ගායනයෙන් මීට දායක වී ඇත.
