Monday, April 20, 2026
Epaper
Home කලා ලොවමං හැම ගෞරවයක්ම සම්මානයක්ම ලබන්නේ මගේ සැමියා විජය නිසයි

මං හැම ගෞරවයක්ම සම්මානයක්ම ලබන්නේ මගේ සැමියා විජය නිසයි

ප්‍රවීණ රංගන ශිල්පිනි දේවිකා මිහිරානි

by Shanaka Lakehouse

1970 දශකය ශ්‍රී ලාංකීය රිදී තිරයේ ස්වර්ණමය දශකය වෙද්දී 1980 දශකය ලාංකේය පුංචි තිරයේ ස්වර්ණමය දශකය විය.

1979 වසරේ ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනි නාළිකාව ආරම්භ වීමත් සමඟ පුංචි තිරය හැඩ කරන විශේෂාංග රාශියක් කලින් කලට අපට නෙත් සිත් අමන්දානන්දයට පත් කළේය. ඒ අතරින් ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය කලාවේ සමාරම්භයද සුවිශේෂී වෙයි. 1983 වසරේ දිමුතු මුතු ටෙලි නාට්‍යයෙන් ආරම්භ වූ ටෙලි නාට්‍ය වංශ කතාව අද වන විට සුවිසල් පරාසයක විහිදී තිබේ. එහෙත් එදා ඇරඹි ටෙලි නාට්‍ය කලාවේ ආරම්භක යුගය අපට කිසිදිනෙක අමතක කළ නොහැකිය. එහි මතක සැමරුමක් පසුගියදා රයිගම් ටෙලි සම්මාන උලෙළේද අපට සිහිපත් විය. ඒ ලාංකීය ටෙලි නාට්‍ය වංශ කලාවේ පළමු ටෙලි නිළිය එහිදී සම්මානයට පාත්‍ර වීම නිසායි. ඇය එදා දිමුතු මුතු ටෙලි නාට්‍යයේ නන්දා චරිතයට පණ දුන් දේවිකා මිහිරානියි. ඇය මෙවර රයිගම් ටෙලි සම්මාන උලෙළේදී විශේෂ ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබුවාය. කලකට පසු ඇයට හිමි වූ මේ විශේෂ සම්මානය ගැන දේවිකා මිහිරානි, තරුණි අප සමඟ පළ කළේ මෙවන් අදහසකි.

“ලංකාවේ පළමුවන ටෙලි නාට්‍යය වූ දිමුතු මුතු ටෙලි නාට්‍යයට මා රංගනයෙන් දායක වෙමින් ටෙලි නාට්‍ය කලාවේ පළමු ටෙලි නිළිය වී අද වන විට දශක 4කට ආසන්න කාලයක් ගෙවී හමාරයි. ඉතින් දශක ගණනාවකට පසුව මාව මෙවන් සම්මානයකින් උපහාර ගැන්වීම ගැන මම රයිගම් සම්මාන සංවිධායක මණ්ඩලය, එහි ජූරි සභාව, රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ සහ එම මැතිනියට ස්තුතිය පළ කරනවා. ඒ වගේම මාව කලාවට යොමු කළ මගේ ආදරණීය සැමියා විජය නන්දසිරිට මම බෙහෙවින්ම කෘතඥ විය යුතුයි. මම කලාව නිසා ලබන හැම බුහුමනකම ගෞරවය ඔහුට හිමි විය යුතුයි. ඒ වගේම දිමුතු මුතු ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ ඩී.බී. නිහාල්සිංහයන්ටත් මං කෘතඥ වෙනවා. ඒ වන විට දිමුතු මුතුහි රඟ පෑ හැම නළු නිළියක්ම එහි රඟපෑවේ කිසිදු අත්දැකීමක් හෝ නොමැතිවයි. ඉතින් තරගකාරී ලෝකයක නවක නිළියක් ලෙස මට එහි පළමු අවස්ථාව ලබා දීම ගැන මං ඔහුට ස්තුති කරනවා. අපි එදා කළ දේ නිසියාකාරව කළ නිසා ලංකාවේ ප්‍රේක්ෂකයෝ හදවතින්ම වැලඳ ගත්තා. ඇත්තටම දිමුතු මුතු කියන්නේ රංගනයක් විතරක් නෙවෙයි. ශ්‍රී ලංකා ටෙලිවිෂන් ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවක්. එය ලාංකීය ටෙලි රසිකයන්ටත් නැවුම් අත්දැකීමක් වුණා. එදා ප්‍රේක්ෂකයෝ පවුලේ සාමාජිකයන් හා සමානව අපිව ඔවුන්ට කිට්ටු කර ගත්තා. අදටත් ඒ සමීප බව රසිකයන්ගේ හදවතෙහි ළෙන්ගතුකමක් විදිහට අපට දැක ගත හැකියි. ඉතින් ඒ හැමදේම ලැබුණේ දිමුතු මුතු ටෙලි නාට්‍යය නිසායි. ඉතින් ටෙලි නාට්‍ය සමඟ ගත කළ දවස් කිහිපය මට කවදාවත්ම අමතක වන්නේ නෑ.”

මෙවර රයිගම් ටෙලි සම්මාන උලෙළේද ලද සම්මානය ගැන දේවිකා පළ කළේ මෙවන් අදහසකි.

“ඉතින් අද මට හිමි වුණ සම්මානයේ කාන්තා රූපයක් රූපවාහිනී තිරයක් දරාගෙන සිටින අයුරු නිරූපණය කර තිබෙනවා. ඉතින් මං විශ්වාස කරන විදිහට ඒ කාන්තාව දරාගෙන සිටින්නේ රූපවාහිනී තිරයක්ම නෙවෙයි. එය අප පරම්පරාවන් සම්බන්ධ කරන සංස්කෘතියේ ජීවමාන ජාතික මතකයක්. ඒ මතකයේ මුල් අංශුව වීම ගැන මට විශාල අභිමානයක් තිබෙනවා. ජනප්‍රියතාව, දක්ෂතාව කාලයාගේ ඇවෑමෙන් අඩු වැඩි වුණත් ශ්‍රී ලංකා ටෙලි නාට්‍යයේ පළමු නිළිය කියන ඔටුන්න මං හැමදාමත් දරාගෙන හිඳීවි. එය මට විශාල සතුටක්.”

මීට පෙර දිමුතු මුතු නිසා ලැබූ සම්මාන ගෞරව පිළිබඳව දේවිකා මිහිරානි මෙසේ අදහස් පළ කළාය.

“ලංකාවේ පළමුවැනි රූපවාහිනි සම්මාන උලෙළේ ජනප්‍රිය නිළිය සහ දක්ෂතම නිළිය සම්මාන ද්විත්වයම මට හිමිවුණා. අනතුරුව ටොප් ටෙන් සම්මානය, වසර 4ක්ම අඛණ්ඩව ජනප්‍රිය ටෙලි නිළිය සම්මානය මට හිමි වුණේ දිමුතු මුතු නාට්‍යයේ නන්දා චරිතය නිසා බව කිව යුතුයි. ඒ වගේම ඒ කාලේ මේ නන්දා චරිතය අනුකරණය කරන්නට බොහෝ තරුණියන් කටයුතු කළා. නන්දා කියන්නේ බොහොම සරල ගැමි තරුණියක්. ඉතින් තරුණයන් පවා සරල ගැමි තරුණියන්ට පෙම් බඳින්නට කටයුතු කරන තරමට මගේ චරිතය වැලඳ ගත්තා. බොහොම සරල ගති පැවතුම් සහිත, ඔසරිය අඳින, කොණ්ඩය බඳින, මුතු ඇට මාලයක් කර පලඳින තරුණියන් කෙරේ තරුණයන්ගේ සිත් අලවන්නට මේ චරිතය හේතු වුණා.”

රයිගම් ටෙලි සම්මාන උලෙළේ ඇය ලැබූ සම්මානය ගැන කතාබහ කළ දේවිකා මිහිරානි සිය කලා දිවියට මඟ පෙන්වූ ආදරණීය සැමියා විජය නන්දසිරි ගැන මෙසේ අදහස් පළ කළාය.

“ඇත්තටම විජය මට මුණගැහෙන්නේ කොළඹ සුදර්ශී ශාලාවේදීයි. ඒ කාලේ මං ගුණදාස නිත්තවෙල මහතා යටතේ උඩරට නැටුම් කලාව ඉගෙන ගැනීමට ගියා. එහි පුහුණුවීම් තිබුණේ කොළඹ සුදර්ශී ශාලාවේ. ඒ අතරතුර විජය, සතිශ්චන්ද්‍ර එදිරිසිංහ මහත්තයාගේ ‘බකතපස්’ නාට්‍යයේ පුහුණුවීම්වලට පැමිණ සිටියා. අපි නර්තන පුහුණුවීම් කරද්දී පිරිමි ළමයි බලන නිසාම එහි දොරවල් වහන්නේ පුරුද්දට වගේ. කොතරම් දොරවල් වැහුවත් විජය ආපණ ශාලාවට තේ බොන්න යන අතරේ එහි වාකවුළුවලින් මගේ නර්තනයන් බලාගෙන ඉඳලා තියෙනවා. ඉතින් ඒ විදිහට විජය මා කෙරේ හැඟීමක් ඇති කරගන්නට ඇති. ඉතින් දවසක් විජය මාව හමු වෙලා, ‘නංගි, සයිමන් නවනත්තේගම මහත්තයා සුබ සහ යස වේදිකා නාට්‍යය කරනවා. එහි දාසියකගේ චරිතය රඟ පාන්නට කෙනෙක් හොයනවා. නංගි රඟපාන්න එනවාද?’ කියා විජය මගෙන් ඇහුවා. ‘මං රඟපාන්න දන්නේ නෑ’ යන්න මගේ පිළිතුර වුණා. අනතුරුව ‘අපි පුරුදු කරලා ගන්නම්.. ඔයා එන්න’ කියා විජය කියා සිටියා. ඒත් මං එක්වරම ඊට කැමැති වුණේ නෑ. එය ගෙදරින් විමසා සිටිය යුතු යැයි මං කිව්වා.

ඒ වන විට මගේ තාත්තා හිටියේ විදේශගතවයි. මං මේ යෝජනාව ගැන අම්මාගෙන් විමසුවා. ඇය කියා සිටියේ තාත්තාගෙන් අහන්නේ නැතිව ඊට පිළිතුරක් ලබා දිය නොහැකි බවයි. ඇත්තටම ඒ කාලේ අපට දුරකතන පහසුකම් තිබුණෙ නෑ. බොහෝ විට අපි පණිවිඩ හුවමාරු කරගත්තේ ලිපි ගනුදෙනු හරහායි. ඒත් ලිපියක් යවා තාත්තාගෙන් මෙයට පිළිතුරක් ලබා ගැනීමට යම්කිසි කාලයක් ගත වෙනවා. ඒ නිසා තාත්තා එනතුරු මේ සඳහා අම්මාට අනුමැතිය ලබා දෙන්නැයි මං ඉල්ලා සිටියා. එහිදී අම්මා ඊට අවසර දුන්නත් නාට්‍ය පුහුණුවීම්වලට යද්දී අක්කාලා දෙන්නා එක්ක යා යුතුයැයි මට අවවාද කළා. ඉතින් මං ආරක්ෂකයෝ දෙන්නෙක් එක්ක නාට්‍ය පුහුණුවීම්වලට ගියා. මගේ කලා ජීවිතය ඇරඹෙන්නේ ඒ විදිහටයි.

මේ අවුරුද්දට විජය නැති වෙලා අවුරුදු දහයක්. ඉතින් විජයගේ චරිතාපදානය මං ග්‍රන්ථයකින් එළිදැක්වීමට මේ වන විටත් කටයුතු සූදානම් කරමින් පවතිනවා. මේ වසරේ අගෝස්තු 14 වැනිදා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ සවස 6.30ට එම පොත දොරට වැඩීමට නියමිතයි. ඉතින් විජය නන්දසිරිට ආදරය කරන හැම දෙනාටම මං ඒ වෙනුවෙන් සහභාගි වෙන්නැයි ඇරයුම් කරනවා. අද මං මේ හැම ගෞරවයක්ම ලබන්නේ ඔහු නිසායි. ඔහුට දිය හැකි උපරිම ගෞරවය මං මගේ ජීවිත කාලය පුරාවටම ලබා දෙනවා.”


TEXT – ආර්.පී. මිහිරාන්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?