Monday, May 11, 2026
Epaper
Home කලා ලොවඅපේ සිනමාව ගොඩගන්න නම් අපේම නිර්මාණ බිහි විය යුතුයි

අපේ සිනමාව ගොඩගන්න නම් අපේම නිර්මාණ බිහි විය යුතුයි

ඕ.අයි.සී ගඩාෆි චිත්‍රපටයේ අධ්‍යක්ෂ, ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායක

by Shanaka Lakehouse

රන්ජන් රාමනායක ශ්‍රී ලාංකේය සිනමාවේ සුපිරි තරුව යැයි පැවසීමේ වැරැද්දක් නැත. රිදී තිරයේ මෙන්ම පුංචි තිරයේ ඔහුගේ රංගන ප්‍රතිභාව රසිකයන්ගේ හදවත් වැලඳ ගත්තේ මීට දශක තුන හතරකට පෙර සිටයි. රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද හැඩ වුණු ඔහුගේ සිනමා නිර්මාණ රැසක්ම පසුගිය දශක තුනක කාලය පුරා අපගේ නෙත් සිත් අමන්දානන්දයට පත් කළේය. මේ වන විට සිනමා ශාලාවල තිරගත වන ඕ.අයි.සී. ගඩාෆි චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ තිර රචනය සිදු කර ඇත්තේද රන්ජන් රාමනායක විසින්.

එහි ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ රන්ජන් රාමනායක විසින් වීම ද විශේෂත්වයකි. අනූව දශකයේ සිට ශ්‍රී ලාංකේය සිනමාවේ සුපිරි තරුව ලෙස රසික හදවත් දිනා ගත් රන්ජන් රාමනායක ‘ඕ.අයි.සී. ගඩාෆි’ ගැන අදහස් දක්වන්නට ‘තරුණී’ අප සමඟ එක් වූයේ මේ ආකාරයෙනි.

ඔබ චිත්‍රපටයක අධ්‍යක්ෂණයෙන් එක් වන්නේ දිගු කලකට පසුවයි. ඇයි මෙතෙක් කල් තරමක නිහැඬියාවක් තිබුණේ?

මම සිරගත වන්නට පෙර ‘ගේම්’ නම් චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. ඉතින් චිත්‍රපට අධ්‍යක්ෂණයට එක් වන්නේ දිගු කලකට පසුව බව ඇත්ත. ඕ.අයි.සී. ගඩාෆි චිත්‍රපටයට පෙර චිත්‍රපට දෙක තුනක්ම අධ්‍යක්ෂණය කරන්නට සූදානමින් පසුවුවත් විවිධ හේතූන් නිසා ඒවා සිදු වූයේ නෑ. ඉතින් අනතුරුව මගේම මුදල්වලින් ‘ඕ.අයි.සී. ගඩාෆි’ චිත්‍රපටය මා අධ්‍යක්ෂණය කළා.


ගඩාෆි චිත්‍රපටය කොහොමද හැදුණේ?

මෙය ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සත්‍ය සිදුවීමක් මූලික කරගෙන නිර්මාණය වූවක්. ඇත්තටම එවන් සිදුවීමක් වෙලා තිබෙන්නේ ලංකාවේ පමණයි. ඉතින් ඒ සිද්ධිය මූලික කරගෙන චිත්‍රපටයක් නිර්මාණය කරන්නට මං සිතුවා. ඉතින් මේ චිත්‍රපටය කියන්නේ ඒ සිතුවිල්ල යථාවත් වීමක්.

සිරගත ජීවිතයේ ලද අත්දැකීමුත් මේ චිත්‍රපටයට පාදක වුණාද?

ඒ කතාව මං වෙනම ලියලා තිබෙනවා. එය මේ චිත්‍රපටයට අදාළ නෑ.

මේ චිත්‍රපටය ලියැවුණේ කොහොමද?

මං සාමාන්‍යයෙන් කතාන්දර, තිර පිටපත් ලියනවා. මීට පෙර මගේ අධ්‍යක්ෂණයෙන් සිනමාවට දායාද වුණු ‘පාර්ලිමන්ට් ජෝක්ස්’, ‘වන් ෂොට් වන්’, ‘ඩොක්ට නවරියන්’ පවා මා ලියූ තිර රචනායි. ඉතින් ඒ ආකාරයෙන්ම මේ චිත්‍රපටයේ තිර රචනාවත් මා විසින් ලියන ලද්දක්. ඉතින් මා ලියූ තිර රචනාව මාගේම අධ්‍යක්ෂණයෙන්, මෙන්ම රංගන ශිල්පීන් ශිල්පිනියන් සමඟ මා ද ප්‍රධාන චරිතයෙන් රංගයෙන් දායක වෙමින් චිත්‍රපටයක් බවට පත් කළා.

සෙසු අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවල රංගනයට සාපේක්ෂව ස්ව අධ්‍යක්ෂණවලදී රන්ජන් රාමනායකගේ රංගන ප්‍රතිභාව ඉස්මතු වීම තරමක් අඩුයිද?

සැබැවින්ම එය හොඳ ප්‍රශ්නයක්. එය එසේ වෙන්නේ මේ විදිහට. මං අධ්‍යක්ෂණය කරන චිත්‍රපටවල මං බහුවිධ භූමිකාවක නියැළෙනවා. අධ්‍යක්ෂණය හරහා සෙසු රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක් මෙහෙයවමින් මා රංගනයේ යෙදිය යුතුයි. ඉතින් එවන් කාර්යබහුල වටපිටාවක මගේ රංගන ප්‍රතිභාව සියයට සියයක්ම ඉස්මතු නොවනවා විය හැකියි. ඉතින් ඒ මතය මං පිළිගන්නවා.

ඕ. අයි. සී. ගඩාෆි චිත්‍රපටයට දායක වූ සියලු දෙනා ගැනත් අදහස් පළ කරමු…

ඇත්තටම ශ්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා, ගිහාන් ප්‍රනාන්දු, මහින්ද පතිරගේ, ධර්මප්‍රිය ඩයස්, ජයනි සේනානායක, පියුමි බොතේජු, දිනුක්ෂි වීරප්පෙරුම ආදී ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් මෙහි රංගනයෙන් දායක වුණා. ඩී.ඕ.පී. ධම්මික රත්නායක, කලා අධ්‍යක්ෂණයෙන් ජනක ප්‍රියසාද්, වේෂ නිරූපණයෙන් ප්‍රියන්ත, ඇඳුම් නිර්මාණයෙන් ඉෂිනි, සංගීත අධ්‍යක්ෂණයෙන් සුදත් ජයසිංහ, පසුබිම් සංගීතයෙන් තිවංක දිල්ෂාන්, සංස්කරණයෙන් අජිත් රාමනායක, නාද සංයෝජනයෙන් ශෂික ආදී ලෙස විශාල කණ්ඩායමක් ‘ඕ.අයි.සී. ගඩාෆි’ පිටුපස සිටියා.

මෑත කාලයේ ඔබ වැඩි වශයෙන් දකින්න ලැබුණේ ඔබගේ අධ්‍යක්ෂණයන් තුළයි. වෙනත් අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවල ඔබ දුටුවේ බොහොම අඩුවෙන්. එයට හේතුවක් තිබේද?

මෑත භාගයේ චිත්‍රපට ගණනාවකටම මට ඇරයුම් ලැබුණා. ඒ චිත්‍රපට පිටපත්වලට මට කැමැත්තක් ඇති වුණේ නෑ. ඒ නිසා මං ඒවාට සම්බන්ධ නොවුණ බව කිව යුතුයි.

ඔබ පෙර අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සමඟ ගඩාෆි වෙනස් වන්නේ කොහොමද?

ඇත්තටම මෙය ‘ඩාක් කොමඩි’ ෆිල්ම් එකක්. මං මීට පෙර සිදු කළ චිත්‍රපට පවුලේ සියලු දෙනාටම නැරඹිය හැකි චිත්‍රපට. මේ විෂය වැඩිහිටියන්ට වෙන් වූවක්. ඉතින් අධ්‍යක්ෂවරයෙක් ලෙස විවිධ ශානරයේ චිත්‍රපට කරන්නට මං කැමැතියි. මගේ මීළඟ චිත්‍රපටය පවුලේ සියලු දෙනාටම නැරඹිය හැකි චිත්‍රපටයක් බව කිව යුතුයි.

දේශපාලනයෙන් ඉවත් වී ඉදිරියේදී පූර්ණකාලීනවම කලා කටයුතුවලට සම්බන්ධ වෙනවාද?

දැන් මං දේශපාලනයෙන් පූර්ණකාලීනවම ඈත් වෙලා ඉන්නේ. කලාකරුවෙක් ලෙස මං සෑම දේශපාලන පක්ෂයකටම අයිතියි. ඒ නිසා දේශපාලන කටයුතු නිසා මං නියෝජනය නොකරන පක්ෂවල රසිකයන් මට අහිමි වෙනවා යැයි මට සිතෙනවා. මට දේශපාලනයේ රැඳෙන්නැයි පවසන පිරිසක් සිටියත් බහුතර පිරිසක් කියන්නේ ඔබ හැම පක්ෂයකම රසිකයන්ගේ කලාකරුවෙක්. දේශපාලනය කරන්නෝ දේශපාලනය කරාවි. ඔබ කලාව පමණක් නියෝජනය කරන ලෙසයි. ඒ නිසා මං බහුතර රසිකයන්ගේ මතයට ඇහුම්කන් දෙමින් ඉදිරියේදී පූර්ණකාලීනව කලා කටයුතුවල නියැළීමට බලාපොරොත්තු වෙනවා.

අද බොහෝ අධ්‍යක්ෂවරු විදෙස් නිර්මාණ ඇසුරින් චිත්‍රපට නිර්මාණය කරද්දී රන්ජන් රාමනායක ඔහුගේම ස්වතන්ත්‍ර නිර්මාණ කරනවා කිව්වොත්…

ඇත්තටම ඒ අදහසට මං ගොඩක් කැමැතියි. ‘පාර්ලිමන්ට් ජෝක්ස් 1’ කියන්නේ මගේ ස්වතන්ත්‍ර නිර්මාණයක්. අනතුරුව ‘ලීඩර්’, ‘වන් ෂොට් 1’, ‘ඩොක්ට නවරියන්’ විවිධ කතා ඇසුරින් මා නිර්මාණය කළ චිත්‍රපට. අපට වෙන් වූ කතා රාශියක් අපට තිබෙනවා. ඉතින් අපේ සිනමාව ගොඩගන්නට නම් අපේම නිර්මාණ සිදු කළ යුතු යැයි මා විශ්වාස කරන බව කිව යුතුයි. කොපි කිරීම කියන්නේ කම්මැලිකමක්. මං ඒ නිර්මාණ විවේචනය කරන්නේ නෑ. ඒත් පිටරටක අධ්‍යක්ෂවරයෙක් නිර්මාණය කළ චිත්‍රපටයක් සව් කොළයක තියලා ඇන්දා වගේ ප්‍රතිනිර්මාණය කර එය ස්වනිර්මාණයක් යැයි පවසන්නට බෑ. ඒ නිසා මං මගේම නිර්මාණ කරනවා. එය අමාරු වැඩක්. අපේ සිනමාව ඉදිරියට ගෙන යන්නට නම් අපේම කතා නිර්මාණය කිරීම හොඳ ප්‍රවණතාවක් යන්න මාගේ විශ්වාසයයි.

සිනමාව තරමක් කඩා වැටුණු යුගයක ඒ වෙනුවෙන් පාලකයින් සිදු කළ යුතු කාර්යභාරය කුමක්ද?

මම වත්මන් ජනාධිපතිතුමාව කිහිප වතාවක්ම මුණගැසුණා. මේ වන විට සරසවි ස්ටුඩියෝ එක නවීකරණය වීම ඇතුළු සිනමාව වෙනුවෙන් කටයුතු කිහිපයක්ම සිදු වෙනවා. ඒ වගේම සිනමාව නඟාසිටුවීමේදී අපට ලොව විවිධ රටවලින් ආදර්ශ ගත හැකි බව කිව යුතුයි. දකුණු කොරියාවේ සිනමාව කඩා වැටුණු සමයේ එරට කැබිනට් ඇමැතිවරයෙක්ගේ අදහස වුණේ දකුණු කොරියාවේ හුන්ඩායි වාහනය විදෙස් රටවලට අලෙවි කර ලද ලාභයට වඩා ස්ටීවන් ස්පිල්බර්ග් ‘ජුරාසික් පාක්’ තිරගත කර ලැබූ ලාභය වැඩියි යන්නයි. ඒ අදහසින් අනතුරුව දකුණු කොරියානු ආණ්ඩුව කොරියානු සිනමාවේ ප්‍රතිසංස්කරණ රැසක් සිදු කළා. ඒ අනුව දකුණු කොරියානු සිනමාව විශාල අභිවෘද්ධියක් ලැබුවා.

ඉතින් මේ වන විට අපි යෝජනා රැසක් මේ රජයටත් ඉදිරිපත් කර තිබෙනවා. ඒත් මේ වන විටත් ඒවා ඉටු වී නැහැ. ඒත් ඉදිරියේදී හෝ මේ රජයෙන් ඒ යෝජනා ඉටු වේවි යැයි මා විශ්වාසයෙන් පසු වෙනවා.

ඇත්තටම අද රටේ දේශපාලනය ගැන ඔබගේ අදහස කුමක්ද?

මං දේශපාලනය ගැන කතා කරන්න කැමැති නෑ. ඒත් පුරවැසියෙක් ලෙස මං මෙසේ අදහසක් ඉදිරිපත් කරන්නම්. වල්වැදුණු නීතියක් පැවැති රටක දූෂණය අවම කිරීම, නීතිය ක්‍රියාත්මක වීම වැනි යහ ප්‍රවණතා අනුව වත්මන් පාලනය යටතේ රට හොඳ වේවි යැයි මට සිතෙනවා. සියයට සියයක්ම හොඳ යැයි නොව සන්සන්දනාත්මකව ගත් කල මෙහි යහ ප්‍රවණතා රැසක් තිබෙන බව මගේ විශ්වාසයයි. මං මේ අදහස ඉදිරිපත් කළේ පුරවැසියෙක් ලෙස මිස කිසිදු පක්ෂයක් නියෝජනය කරමින් නොවන බවද කිව යුතුයි.

ගඩාෆි චිත්‍රපටයේ කතා සාරය අනුව අලුතින් පත් වූ පොලිස් ස්ථානාධිපති විසින් ඒ වන විට දුර්මුඛ වූ පොලිස් ස්ථානයෙහි යහපත් ජනහිතකාමී පරිසරයක් ගොඩනඟනවා. සැබැවින්ම අපේ රටට සිදු විය යුත්තේද එවැන්නක් නේද?

ඇත්තටම මගේ මතය, ආණ්ඩුවට, දේශපාලකයන්ට පමණක් මේ රට හදන්නට නොහැකි යන්නයි. එයට ඍජු කශේරුවකාවක් සහිත අවංක රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සිටිය යුතුයි. එහෙම නොවුණොත් පාලකයෝ වැරදි කරද්දී ඒ අයට දඬුවම් දෙන්න පිරිසක් නැති වෙනවා. ඕ.අයි.සී. ගඩාෆි චරිතයෙන් දෙන පණිවිඩය ඍජු කොන්දක් ඇති සේවයට අවංක නිලධාරීන් බිහි කිරීමයි. “අපරාධය වැඩිහිටියන්ට පමණක් නම් දඬුවම අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි” යන්න මෙම චිත්‍රපටයේ තේමා පාඨය වූයෙත් ඒ නිසාමයි.

පොලිස් නිලධාරියකුගේ නිල ඇඳුම භාවිත කිරීම ගැන සමාජ මාධ්‍යයේ යන මතය ගැන ඔබගේ අදහස කුමක්ද?

මේ වන විට පොලිස් ඇඳුම භාවිත වන චිත්‍රපට තුනක් පමණ තිරගත වෙනවා. පසුගිය කාලයේ විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා වැනි අසහාය රංගන ශිල්පීන් පවා පොලිස් ඇඳුම ඇන්දා. ඉන්දියාවේ ෂාරුක් ඛාන්, රන්වීර් සිං ආදී නළු නිළියන් පවා පොලිස් ඇඳුම අඳිමින් රංගනයේ යෙදෙනවා. මා ඇතුළු කිසිදු රංගන ශිල්පියෙක් පොලීසියෙන් ඒ ඇඳුම අරගෙන ඒවා ඇඳගෙන රඟපාන්නේ නෑ. අපේ චිත්‍රපටය වෙනුවෙන් නිෂ්පාදන කණ්ඩායම විසින් ඇඳුමක් නිර්මාණය කළා. සමාජයේ මේ තර්ක අනුව අපට උදා වන්නේ ආගමික පූජකයන්ගේ චරිත පවා රඟපාන්නට බැරි තත්ත්වයක්. ඒ නිසා විවිධ චරිත නිරූපණයේදී ඒ ඒ චරිතයට අනුව ඇඳුම් නිර්මාණය කිරීම සිදු වෙනවා. එය චරිතයක් පමණයි. කිසිවෙකුට අපහාසයක් එහිදී සිදු කර නෑ.

ඉදිරියේදී විවාහ වෙනවාද?

අනේ නෑ.. මම තනිකමට ඇබ්බැහි වූ කෙනෙක්. එය හරි සුන්දරයි. රිසි පරිදි මගේ ජීවිතය මං ගෙවන්නේ කිසිවකුට නොබැඳී කිසිවකුට යට නොවෙමින්. මට වගකීම් දරන්නට වෙලාවක් නෑ. මං පූර්ණකාලීනව කලා ජීවිතයට කැප වී ඉන්නවා. ඒ නිසා දැනට නම් විවාහ වීමේ අදහසක් නොමැති බව කිව යුතුයි.

ඉදිරියේදී සිදු වන කලා කටයුතු ගැන කීවොත්…

මේ වන විට මං චිත්‍රපට 24ක පමණ පිටපත් ලියා තිබෙනවා. ඒවා චිත්‍රපට ලෙස රිදී තිරයට ගෙන ඒමට තවමත් සැලසුම් කර නෑ. ඉදිරියේදී ඒවා මගේ රසිකයන්ට දැකබලා ගන්නට හැකි වේවි.

 

TEXT – ආර්.පී. මිහිරාන්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?