Monday, June 1, 2026
Epaper
Home මනෝ උපදේශනලකුණු මැෂින් නොව

ලකුණු මැෂින් නොව

අභියෝග හමුවේ නොසැලෙන පෞරුෂයක් දරුවාට දෙමු

by Shanaka Lakehouse

අද සමාජයේ වෙසෙන ඕනෑම මවකගේ හෝ පියකුගේ ලොකුම හීනයක් වන්නේ තමන්ගේ දරුවා අධ්‍යාපනයෙන් ඉහළටම යනු දැකීමයි. ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, හෝ උසස් පෙළ වේවා, මේ සෑම විභාගයක්ම අද වන විට හුදෙක් සුදුසුකම් ලැබීමේ කඩඉම් නොව, දැඩි තරගකාරී මාවත් බවට පත්ව ඇත. මේ තරගය පිටුපස දුවන බොහෝ දරුවන් අද මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් වන්නේ අධික මානසික ආතතියයි.


කාන්තා අපට, පවුලේ සැබෑ කළමනාකාරිනියන් සහ දරුවකුගේ ජීවිතයට වඩාත්ම සමීපතම චරිතය ලෙස, දරුවා විභාගයෙන් ජයග්‍රහණය කරවන අතරම ඔහුගේ හෝ ඇයගේ මානසික සුවය රැකගැනීමේ විශාල වගකීමක් පැවරුණි. විභාග සමයකදී නිවෙස තුළ සුදුසු වටපිටාවක් නිර්මාණය කරන්නේ කෙසේද, දරුවාගේ මනෝවිද්‍යාත්මක අවශ්‍යතා හඳුනා ගන්නේ කෙසේද සහ මවුපියන් ලෙස අප අතින් නොදැනුවත්ව සිදුවන වැරදි මොනවාද යන්න පිළිබඳව අපගේ අවධානය යොමු විය යුතුය. එසේ නොවුණහොත් දරුවාගේ මානසිකත්වය බිඳවැටෙන්නේය.

අතීතයේ අධ්‍යාපනය යනු දැනුම ලබා ගැනීම සහ පෞරුෂ වර්ධනය සඳහා වූ ක්‍රියාවලියකි. එහෙත් වර්තමාන ශ්‍රී ලාං‍ෙක්ය සමාජ වටපිටාව දෙස බලන විට අධ්‍යාපනය යනු අතිශය තරගකාරී, ආතතිසහගත ව්‍යාපාරයක් හෝ පැවැත්මේ සටනක් බවට පත්ව ඇත. වයස අවුරුදු දහයක දරුවකු ලියන පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ සිට විශ්වවිද්‍යාල වරම් තීරණය කරන උසස් පෙළ විභාගය දක්වා සෑම කඩඉමකදීම දරුවා මුහුණදෙන්නේ දැඩි පීඩනයකටයි.

මෙම පීඩනය සමාජීය, ආර්ථික සහ සංස්කෘතික සාධක රැසක් මත ගොඩනැඟී ඇත. නිදහස් අධ්‍යාපන ක්‍රමයක් පැවතියද, විශ්වවිද්‍යාල හෝ ඉහළ වෘත්තීය ආයතන සඳහා ඇති සීමිත ඉඩකඩ හේතුවෙන්, ලකුණු එකක් හෝ දෙකක් මත දරුවකුගේ අනාගතය තීරණය වන තත්ත්වයක් උදාවී තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස දරු‍ෙවා් උදෑසන සිට රාත්‍රී වනතුරු අමතර පන්ති සංස්කෘතියක සිරවී සිටිති. දරුවකුට තමන්ගේ ළමා කාලය විඳීමට, ස්වභාවධර්මය රසවිඳීමට හෝ ක්‍රීඩාවක නිරත වීමට ඇති කාලය සම්පූර්ණයෙන්ම පාහේ අහිමි වී ගොස් ඇත.

ළමා මනෝවිද්‍යාවට අනුව, දරුවකුගේ මොළය සහ පෞරුෂය වර්ධනය වන්නේ නිදහස් චින්තනය සහ සතුට පවතින පරිසරයකය. නිරන්තර බිය, සැකය සහ පීඩනය පවතින විට මොළයෙන් සුවය වන කෝටිසෝල් වැනි ආතති හෝමෝන මඟින් දරුවාගේ මතක ශක්තිය සහ තර්කන ඥානය අඩාළ කරනු ලබයි. එම නිසා, විභාග ජයග්‍රහණයට වඩා දරුවාගේ මානසික සෞඛ්‍යය වැදගත් වන්නේ මන්දැයි මවුපියන් මුලින්ම වටහා ගත යුතුය.

දරුවකු විභාගයකට සූදානම් වන කාල වකවානුව තුළදී මවක සහ පියකු ලෙස නිවෙස තුළ ඉටු කළ යුතු සුවිශේෂී කාර්යභාරයන් රැසක් පවතී. ඒවා හුදෙක් දරුවාට පොත්පත් අරන් දීමට වඩා එහා ගිය මනෝවිද්‍යාත්මක සහ භෞතික සහයෝගයන් වේ. මෙහිදී මවුපියන් අනිවාර්යයෙන්ම කළ යුතු දේ නම්,

දරුවාට නිදහස් සහ ආදරණීය පරිසරයක් නිර්මාණය කිරීම

විභාගය ළං වන විට නිවෙස බන්ධනාගාරයක් හෝ යුද පිටියක් නොකළ යුතුය. බොහෝ නිවෙස්වල විභාගය ළං වන විට සිනහව, කතාබහ සහ සාමාන්‍ය සතුට අතුරුදන් වේ. දරුවාට බියෙන් හෝ සැකෙන් තොරව තමන්ගේ අපහසුතා, තමන්ට යම් විෂය කරුණක් අමතක වන බව හෝ තමන් බියෙන් සිටින බව ඔබ සමඟ පැවසීමට හැකි ආදරණීය පරිසරයක් නිවෙස තුළ ගොඩනැඟිය යුතුය. දරුවා කාමරයට වී පාඩම් කරන විට, මව හෝ පියා නිතරම ආදරයෙන් වැලඳ ගැනීම, හිස පිරිමැදීම වැනි ශාරීරික ස්පර්ශයන් මඟින් දරුවාගේ ආතතිය සැණින් අඩු කළ හැකිය.

සක්‍රියව සවන් දීම සහ චිත්තවේගීය සහයෝගය දැක්වීම

සමහර අවස්ථාවලදී දරුවන්ට අවශ්‍ය වන්නේ තමන්ට මුහුණදීමට සිදුවන අපහසුතා කාට හෝ පැවසීමටයි. දරුවා පීඩනයෙන් සිටින බව වැටහෙන්නේ නම්, ඔබ කරන වැඩ නතර කර දරුවාට සවන් දෙන්න. “මට මේ ගණිත ගැටලුව තේරෙන්නේ නැහැ අම්මේ” යැයි කියන විට, “ඒකත් බැරිද?” කියා දෝෂාරෝපණය නොකර, “කමක් නැහැ පුතේ, අපි ඒක තේරුම් ගන්න වෙන ක්‍රමයක් බලමු. මම ඔයා එක්ක ඉන්නවා” වැනි දිරිගන්වනසුලු වදන් දරුවාගේ ආත්ම විශ්වාසය බෙහෙවින් ඉහළ නංවයි.

පෝෂ්‍යදායී සමබල ආහාර වේලක් සහ ප්‍රමාණවත් නින්දක් තහවුරු කිරීම

මොළයේ ක්‍රියාකාරිත්වයට සහ මතක ශක්තිය තේජවන්තව පවත්වා ගැනීමට පෝෂ්‍යදායී ආහාර මෙන්ම අවම වශයෙන් පැය 7-8 ක සුවදායක නින්දක් අත්‍යවශ්‍ය වේ. නිදි මරාගෙන පාඩම් කිරීමට ඉඩ දීමෙන් සිදු වන්නේ දරුවා විභාග ශාලාවේදී තවත් පීඩනයට පත්වීම සහ නිදිබර ගතිය නිසා දන්නා කරුණු පවා අමතක වීමයි. ආහාර පාලනයේදී කෘත්‍රිම රසකාරක, අධික සීනි සහ ක්ෂණික ආහාර මේ කාලයේදී සම්පූර්ණයෙන්ම නවත්වන්න. ඒ වෙනුවට නැවුම් එළවළු, පලතුරු, පලා වර්ග, ධාන්‍ය සහ ප්‍රමාණවත් තරම් ජලය ලබා දෙන්න. ජලය අඩු වීම නිසා මොළයේ සෛල විජලනය වී මහන්සිය සහ අලසකම ඇති විය හැකිය.

කෙටි විවේකයන් හඳුන්වා දීම

මනුෂ්‍ය මොළයකට එක දිගට අවධානය යොමු කර තබා ගත හැක්කේ සීමිත කාලයකි. පැය ගණනාවක් එක දිගට පාඩම් කිරීම ඵලදායී නොවේ. සෑම විනාඩි 45කට හෝ පැයකට වරක් විනාඩි 5-10ක කෙටි විවේකයක් ලබා ගැනීමට දරුවා දිරිමත් කරන්න. එම විවේක කාලයේදී දරුවාට මිදුලට ගොස් ගසක් වැලක් දෙස බැලීමට, ප්‍රියතම සංගීත ඛණ්ඩයකට සවන් දීමට හෝ සුරතල් සතෙකු සමඟ සෙල්ලම් කිරීමට ඉඩ දෙන්න. නමුත් මෙම විවේක කාලය තුළ ජංගම දුරකතන භාවිතයට ඉඩ නොදීමට වගබලා ගන්න.

ලකුණුවලට වඩා උත්සාහය අගය කිරීම

නූතන මනෝවිද්‍යාවේ දැක්වෙන්නේ දරුවකුගේ දක්ෂතාවට වඩා ඔහුගේ “උත්සාහය” අගය කළ යුතු බවයි. දරුවා වාර විභාගයකදී ලබා ගන්නා ලකුණු මට්ටමට වඩා, ඔහු හෝ ඇය ඒ වෙනුවෙන් දරන මහන්සිය සහ කැපවීම අගය කරන්න. “ඔයා මේ පාර විභාගයට ගොඩක් මහන්සි වුණා පුතේ, ඒක ගැන මට ආඩම්බරයි” කියා පවසන්න. එවිට දරුවා ලකුණු අඩු වුවද උත්සාහය අත්නොහැරීමට ඉගෙන ගනී.

බොහෝ මවුපියන් තමන්ගේ දරුවන්ට ආදරය කරන්නේ දරුවාගේ යහපත උදෙසා වුවද, ඔවුන් නොදැනුවත්වම කරන සමහර දේවල් නිසා දරුවන් දැඩි ලෙස මානසිකව ඇදවැටේ. මෙහිදී මවුපියන් කිසිසේත් නොකළ යුතු දේ නම්,

අන් අය සමඟ සැසඳීමේ මාරාන්තික පුරුද්ද

“බලන්න අසල්වැසි ගෙදර දරුවා දිහා, එයා කොච්චර ලකුණු ගන්නවද? ඔයාට විතරක් බැහැ,” “අක්කා වගේ වෙන්න ඉගෙන ගන්න” වැනි ප්‍රකාශ දරුවා තුළ දැඩි අභ්‍යන්තර වෛරයක් සහ අසහනයක් ඇති කරයි. සෑම දරුවකුම ආවේණික දක්ෂතාවලින් යුක්තය. එක් දරුවකු ගණිතයට දක්ෂ වන විට තවත් දරුවෙකු චිත්‍ර ඇඳීමට, සංගීතයට හෝ ලේඛනයට දක්ෂ විය හැක. සැසඳීම මඟින් දරුවා තුළ තමන් පිළිබඳව ඇති ආත්ම විශ්වාසය සම්පූර්ණයෙන්ම විනාශ වේ. එවැනි දේවල් නොකරන්නට කටයුතු කරන්න.

මවුපියන්ගේ ඉටු නොවූ සිහින දරුවා මත පැටවීම

සමහර මවුවරුන්ට හෝ පියවරුන්ට තමන්ගේ තාරුණ්‍යයේදී වෛද්‍යවරයකු, ඉංජිනේරුවරයකු හෝ නීතිඥවරයකු වීමට නොහැකි වූ පසුබිමක් තිබිය හැකිය. ඔවුන් එම සිහින බලහත්කාරයෙන් තමන්ගේ දරුවා මත පටවයි. දරුවාගේ කැමැත්ත හෝ දක්ෂතාව කුමක්දැයි සොයා බැලීමකින් තොරව, දරුවාට ඔරොත්තු නොදෙන ඉලක්ක ලබා දීමෙන් ඔවුන් මානසිකව ඇද වැටීමට ලක් විය හැක. දරුවා යනු ඔබේ දෙවැනි අනුවාදය නොවන බවත්, ඔහු හෝ ඇය ස්වාධීන පුද්ගලයකු බවත් මතක තබා ගන්න.

TEXT – පවනි උමේෂා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?