Monday, June 8, 2026
Epaper
Home විශේෂාංගසීතා කුමරිය සැඟවූ රාවණා අඩවියේ අසිරිය

සීතා කුමරිය සැඟවූ රාවණා අඩවියේ අසිරිය

by Shanaka Lakehouse

ලක් දෙරණේ මධ්‍යම කඳුකරයේ රමණීයත්වය සොයා යන සංචාරකයකුට හමුවන අතිශය සුන්දර මෙන්ම අභිමානවත් නගරය ‘ඇල්ල’ නගරයයි. මීදුම් සළු අතරින් එබිකම් කරන කඳු ශිඛර, තේ වතු යායවල් සහ සුවදායී දේශගුණය නිසාම ඇල්ල අද වන විට ලෝක පූජිත සංචාරක පාරාදීසයක් බවට පත්ව තිබේ. මෙම සොඳුරු නගරයේ නාමය හා බද්ධ වූ, එහි නොමැකෙන සංකේතය ලෙස විරාජමාන වන්නේ මනස්කාන්ත රාවණා ඇල්ලයි.

පිහිටීම සහ භූගෝලීය වටිනාකම

බණ්ඩාරවෙල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ, ඇල්ල නගරයේ සිට කිලෝමීටර් 6ක් පමණ දුරින් රාවණා ඇල්ල පිහිටා ඇත. මෙම දිය ඇල්ල භූගෝලීය වශයෙන් ඉතා සුවිශේෂී වන්නේ එය ලංකාවේ පළලින් වැඩිම දිය ඇලි අතරින් එකක් වන බැවිනි. දළ වශයෙන් මීටර් 25ක් (අඩි 82ක්) පමණ උසින් යුත් මෙම දිය ඇල්ල නිර්මාණය වන්නේ කිරිඳි ඔයේ අතු ගංගාවකිනි. උඩරට කඳු පන්තියේ සිට පහත් බිම් වෙත ජලය ගලා එන ස්වාභාවික දොරටුවක් ලෙස මෙම ප්‍රදේශය හැඳින්විය හැකිය. කඳු මුදුනින් ආරම්භ වී දැවැන්ත කළු ගල් පර්වත ස්ථර කිහිපයක් මතින් කඩා හැලෙන ජල දහර, සුදු පැහැති පෙණ කැටි නඟමින් පහළට ගලා එන්නේ සොබාදහමේ අපූර්ව නිර්මාණයක් ලෙසිනි.

ජනප්‍රවාද සහ රාවණා පුරාවෘත්තය

රාවණා ඇල්ල හුදෙක් ස්වාභාවික සෞන්දර්යය පමණක් නොව, හෘදයාංගම ජනප්‍රවාද සමුදායක් ද තමා සතු කරගෙන සිටියි. රාමායණ පුරාවෘත්තයට අනුව, ලංකාපුරයේ මහා රාවණා රජු ඉන්දියාවේ රාම කුමරුගේ බිසව වූ සීතා දේවිය පැහැරගෙන විත් ප්‍රථමයෙන්ම සඟවා තැබුවේ මෙම දිය ඇල්ලට ඉහළින් පිහිටි ගුහාවක බව පැවසේ. සීතා දේවිය දිය නෑම සඳහා මෙම දිය ඇල්ල භාවිතා කළ බවත්, ඇයගේ සුන්දරත්වය ආරක්ෂා කර ගැනීමට රාවණා රජු මෙහි විවිධ පහසුකම් සලසා තිබූ බවත් ගැමියන්ගේ විශ්වාසයයි. “රාවණා ඇල්ල” යන නාමය මෙම ප්‍රදේශයට පටබැඳී ඇත්තේද ඒ නිසාවෙනි. දිය ඇල්ලට මීටර් කිහිපයක් ඉහළින් පිහිටි ‘රාවණා ගුහාව’ නැරඹීමට අදටත් බොහෝ පිරිස් උනන්දු වන්නේ එම ඓතිහාසික කුතුහලය නිසාමය.

රාවණා ගුහාව සහ උමං මාර්ග

දිය ඇල්ල නැරඹීමට යන සංචාරකයෙකුට ඒ අසලම ඇති රාවණා ගුහාව වෙත ළඟා වීමට අපහසු නැත. එය මුහුදු මට්ටමේ සිට අඩි 4,490ක් පමණ උසින් පිහිටා ඇත. මෙම ගුහාව අභ්‍යන්තරයේ මිනිසා විසින් නිර්මාණය කරන ලදැයි සැක කළ හැකි උමං මාර්ග පවතින බව පර්යේෂකයන් පෙන්වා දී තිබේ. මෙම උමං මාර්ග ජාලය ඇල්ලේ සිට දෝව මහා විහාරය දක්වා විහිදෙන බවට ජනප්‍රවාද පවතී. යුද සමයන්හිදී රහසිගතව ගමන් කිරීමටත්, ආරක්ෂිත ස්ථානයක් ලෙසත් මෙම ගුහා පද්ධතිය භාවිත කර ඇත. මේ නිසා රාවණා ඇල්ල යනු පුරාවිද්‍යාත්මකව ද ඉතා වැදගත් ස්ථානයකි.

ස්වභාවික සෞන්දර්ය සහ වනජීවී වටිනාකම

රාවණා ඇල්ල පිහිටා ඇත්තේ ‘රාවණා ඇල්ල වනජීවී අභයභූමිය’ තුළයි. හෙක්ටයාර 1,932ක වපසරියකින් යුත් මෙම අභයභූමිය ජෛව විවිධත්වයෙන් ඉතා පොහොසත්ය. දිය ඇල්ල අවට ප්‍රදේශයේ විවිධ පක්ෂි විශේෂ, වඳුරන්, මුවන් සහ දුර්ලභ සමනල විශේෂ දැකගත හැකිය. පවතින සුවිශේෂී දේශගුණය හේතුවෙන් මෙහි වැඩෙන ශාක පද්ධතිය ද ඉතා වටිනා වේ. දිය ඇල්ලෙන් විහිදෙන සියුම් ජල බිඳිති හේතුවෙන් අවට පරිසරය නිතරම හරිත පැහැයෙන් බබළයි.

ඔබ දැනගත යුතු දෑ

රාවණා ඇල්ල නැරඹීමට යන ඔබට අත්දැකීම් වර්ග දෙකක් ලබා ගත හැකිය. ප්‍රධාන මාර්ගයේ පාලම මත සිට දිය ඇල්ලේ සම්පූර්ණ දර්ශනය නැරඹීම, මෙය සාමාන්‍ය සංචාරකයන්ට ඉතා පහසුය. දිය ඇල්ලේ ඉහළ කොටස් කරා ළඟා වීමට නම් කඳු බෑවුම් සහිත, වනාන්තර සහිත මාර්ගයක ඇවිද යා යුතුය. මෙය තරමක් වෙහෙසකර වුවත්, ඉහළ සිට පෙනෙන පහළ නිම්නයේ දර්ශනය ඒ සියලු වෙහෙස නිවා දමයි.

ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානය

රාවණා ඇල්ල සිනහව මෙන්ම ඇතැම් විට කඳුළ ද උරුම කර දුන් ස්ථානයකි. මෙහි ඇති සුන්දරත්වයට මුලා වී නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම අනතුරුදායක විය හැකිය. දිය ඇල්ල නිර්මාණය වී ඇති ගල් පර්වත වසර පුරා ජලයට නිරාවරණය වන බැවින් ඉතා ලිස්සන සුළුය. ඡායාරූප ගැනීමට යාමේදී සහ ගල් මත ඇවිදීමේදී දැඩි ලෙස ප්‍රවේශම් විය යුතුය. ඉහළ කඳුකරයට වැසි වැටෙන විට, දිය ඇල්ලේ ජල මට්ටම ක්ෂණිකව ඉහළ යයි. එවැනි අවස්ථාවලදී ජලයට බැසීම මාරාන්තික විය හැකිය. අධික වර්ෂා කාලවලදී කඳු මුදුන්වලින් ගල් පෙරළීමේ අවදානමක් පවතින බැවින් සංචාරකයන්ට පනවා ඇති සීමා මායිම්වලින් ඔබ්බට නොයෑම වැදගත්ය.

පරිසර හිතකාමී සංචාරකයෙකු වන්න

අද වන විට රාවණා ඇල්ල මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වන්නේ සංචාරකයන් විසින් දමනු ලබන අපද්‍රව්‍යයි. ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් දිය ඇල්ල අවට පරිසරයට මුදා හැරීම නිසා එහි ස්වාභාවික සුන්දරත්වය සහ වනජීවීන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල වී ඇත. මෙම ජාතික උරුමය මතු පරපුරට රැක දීම අප සැමගේ වගකීමකි. ඉතිහාසය, භූගෝල විද්‍යාව සහ අපූර්ව සුන්දරත්වය එකම තැනක මුසු වූ රාවණා ඇල්ල යනු ශ්‍රී ලංකාවේ අභිමානයකි. මීදුම අතරින් ගලා හැලෙන ඒ රිදී දිය දහර දෙස බලා සිටින විට, අපේ රටේ ඇති ස්වාභාවික සම්පත්වල අගය තව තවත් තීව්‍ර වේ. ඔබත් සොබාදහමට පෙම් කරන්නකු නම්, ජීවිතයේ එක් වරක් හෝ රාවණා ඇල්ලේ සිසිලස විඳගැනීමට ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වන්න. එය ඔබගේ සංචාරක දිවියේ අමතක නොවන පරිච්ඡේදයක් වනු නිසැකය.

 

TEXT – හිරුණි කාවින්ද්‍යා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?