Monday, June 8, 2026
Epaper
Home විශේෂාංගගැහැනියකගේ ජීවිතය වැය වෙන්නේ අනුන් වෙනුවෙන්මයි

ගැහැනියකගේ ජීවිතය වැය වෙන්නේ අනුන් වෙනුවෙන්මයි

චන්දරේගේ වයිෆ් අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩි

by Shanaka Lakehouse

යකඩවලින් තැනූ රුවක් මනසක් ඇති පිරිමියෙක් තරම්ම පුලුන්වලින් හැදූ කතකගේ සිත කය බලසම්පන්න බව පෙන්වන සිනමා සිත්තමකි, චන්දරේගේ වයිෆ්. කාන්තාවගේ ජීවිතයේ නොනවතින අරගලය මැනවින් පෙන්වා දෙමින් මේ දිනවල රිදී තිරයේ දිස් වෙන මේ සිනමා නිමැවුමේ අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩි, තරුණි අප සමඟ සුහද පිළිසඳරකට එක් විය.

සංඛාරා, කර්ම, 28 ඇතුළු ඔබ මීට පෙර නිර්මාණය කළ චිත්‍රපට සියල්ලට වඩා චන්දරේගේ වයිෆ් තරමක් වෙනස් මුහුණුවරක් ගන්නවා ?

අපි කාලානුරූපීව වෙනස් විය යුතුයි. සම්භාව්‍ය කලාව මේ වෙලාවේ ප්‍රේක්ෂකයා ග්‍රහණය කරගන්නෙ නෑ. ඒ නිසා මේ ඉදිරිපත් කිරීම වෙනදාට වඩා සරලව නමුත් ගැඹුරින් සිතා බැලිය යුතු මට්ටමේ නිර්මාණයක් ලෙස නිර්මාණය කළා. මගේ පෙර චිත්‍රපට වගේම මෙහි ගැඹුරක් තිබෙනවා. ප්‍රේක්ෂකයා ඒ ගැඹුර සොයා ගත යුතුයි.

චන්දරේගේ වයිෆ් ඇතුළේ ඉන්න අම්මා ඔබේම නිර්මාණයක්ද? නැත්නම් මේ ලෝකයේ ඉන්න සත්‍ය චරිතයක් ඇසුරින් නිර්මාණය කළ මවක්ද ?

මං කවදාවත්ම අහඹු ලෙස චරිත ගොඩනඟන්නේ නෑ. මා නිර්මාණය කරන සිනමා චරිතවල ඉන්නේ මා දන්නා හඳුනන මට සමාජයේ මුණගැසෙන සැබෑ චරිත. ඒත් චන්දරේගේ වයිෆ් කියන්නේ එක් අම්මා කෙනෙක් දිහා බලාගෙන ගොඩනැඟු චරිතයක් නොවේ. මට මගේ ජීවිතයේ හමුවුණු, මා දුටු මවුවරුන් කිහිප දෙනකුගේ ලක්ෂණ ඈ සතුයි. 1971 අරගලය කාලේ සිදුවීමක් තුළ සිටි චරිතයක් මුල් කරගෙන එය වර්තමානයට ගැළපෙන පරිදි තවත් මවුවරුන්ගේ චරිත ලක්ෂණ මුහු කරමින් චන්දරේගේ වයිෆ්ව නිර්මාණය කර තිබෙන බව කිව යුතුයි. රසිකයෙක්

මේ නිර්මාණයේ එන අත්දැකීම් සියල්ලම අත්විඳ නොමැති වුවත් මින් එක් සිද්ධියක් හෝ දෙකක් හෝ විඳ ඇතිවාට සැකයක් නෑ.

බොහෝ චිත්‍රපටවල මවගේ චරිතය රඟ පෑ දුලීකාව අත් හැර නදීෂාව මෙහි අම්මා චරිතයට තෝරා ගත්තේ ඇයි?

මෙහි අවුරුදු කුමාරියගේ දර්ශනයත් එක්ක මගේ ඔළුවට කෙළින්ම ආවේ නදීෂාව. ඒ වගේම මෙහි කතා නායිකාව බොහොම තරුණයි. කවදාවත්ම මෙවන් චරිතයක් නිරූපණය නොකළ කෙනෙක් මෙම චරිතය නිරූපණය කළොත් එය ප්‍රේක්ෂකයාට විශේෂ දෙයක් වේවි යන විශ්වාසය මට තිබුණා. ඇත්තටම සැබෑ ජීවිතයේ නදීෂා සහ චන්දරේගේ වයිෆ් කියන්නෙ දෙන්නෙක්. හැබැයි ඇයව ඒ චරිතයට පරිවර්තනය කරන්න මට හැකි වුණා. මං ඇයත් සමඟ කතා බස් කරන විට ගමක ජීවත් වීම ආදි චරිතයට අවශ්‍ය අත්දැකීම් ඇයට තිබුණු බව මං අවබෝධ කර ගත්තා. ප්‍රධානම දේ ඇය සතු වූ ජවයයි. ඒ ආකාරයේ ජවසම්පන්න, දරා ගැනීමේ ශක්තියක් ඇති රංගන ශිල්පිනියක සොයා ගැනීම පහසු නෑ. ඒ ලක්ෂණ ඇගේ ජීවිතයේ තිබුණා. එය මං හඳුනා ගත්තා. ඇත්තටම අපි දුටු පමණින් හෝ පෙර නිර්මාණයක මේ ලක්ෂණ අත් දුටු රංගන ශිල්පිනියක් මේ චරිතයට ගෙනාවොත් එහි මැජික් එකක් නෑ. හැබැයි කවදාවත් නිර්මාණයක නුදුටු චරිත ලක්ෂණ අපි දන්නා රංගනශිල්පිනියකගෙන් අත්විඳීම මැජික් එකක්. ඉතින් නදීෂා ඒ වැඩේ ඉතා සාර්ථකව කළා. 28 චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට සේමිණිව ගැළපෙයි කියලත් බොහෝ දෙනා විශ්වාස කළේ නෑ. ඒත් අද බොහෝ දෙනෙක් කියන්නේ ඊට ගැළපෙනම චරිතය සේමිණි කියලයි. එය මේ චිත්‍රපටයත් අදාළයි.

කතාවේ අවසානය තව දුර ගෙන යන්න තිබුණා නේද?

නෑ. සාමාන්‍යයෙන් ගැහැනියකගේ ජීවිතය වැය වෙන්නේ අනුන් වෙන්නේ. මේ නිර්මාණයෙත් සැමියා වෙනුවෙන් දරුවන් වෙනුවෙන් ඇගේ දිවිය වැය වෙනවා. ඇය එහි කෙළවරක් හෙවුවත් එහි කෙළවරක් නෑ. චන්දරේගේ වයිෆ් නිර්මාණයෙන් මං පෙන්නුවේ කෙළවරක් නැති කාන්තාවකගේ ජීවන අරගලයයි.

ඔබගේ පෙර චිත්‍රපට සියල්ලටම පාහේ ජාත්‍යන්තර සම්මාන රැසක් හිමි වුණා. ඔබ නිර්මාණ කරන්නේ සම්මාන අපේක්ෂාවෙන්ද?

නෑ. ඒ සිතුවිල්ලෙන් නිර්මාණ කරන්නෙ නෑ. මේ චිත්‍රපටය තවම සම්මාන උලෙළකට ඉදිරිපත් කරලත් නෑ. සංඛාරා චිත්‍රපටය මා පළමුවෙන්ම යොමු කළේ කයිරෝ සිනමා සම්මාන උලෙළට. එහිදී මට හොඳම අධ්‍යක්ෂ සම්මානය ලැබුණා. ඒත් ඒ කාලේ අපි කරපු චිත්‍රපට ප්‍රේක්ෂකයා එතරම් වැලඳ ගත්තේ නෑ. එහෙත් 2022 අරගලයට පස්සෙ අපේ රටේ බොහෝ මිනිස්සුන්ගේ චින්තනය වෙනස් වුණා. දැන් බොහෝ මිනිස්සු හිතන්න පුරුදු වෙලා. ඒ නිසා අද එදාට වඩා ප්‍රේක්ෂකයා සම්භාව්‍ය නිර්මාණ වැලඳ ගැනීමේ ප්‍රවණතාව වැඩියි. එදා අපි කටයුතු කළේ ඒ කාලේ සමාජයේ ස්වභාවය අනුවයි. සමාජයේ වෙනස් වීමට අනුව චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් පමණක් නොව ඕනැම කෙනෙක් වෙනස් නොවුණොත් ලොව පවතින්න අපහසුයි. ඉතින් මාත් එදා සමාජයට අනුව කටයුතු කළා මිස සම්මාන බලාපොරොත්තුවෙන් චිත්‍රපට නිර්මාණය කරලා නෑ.

අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔබ කරපු චිත්‍රපට සංඛ්‍යාව අඩුයි නේද ?

ඔව්. ඒත් චිත්‍රපටයකට ගත යුතු පරිශ්‍රමය, මුදල් සපයා ගැනීමට යන කාලය අනුව නිර්මාණ කළත් ඒවා එළියට දෙන්න අපහසුයි. මං ඒ කාලය අතරතුරේත් නිර්මාණ සිදු කළා. ඇතැම් නිර්මාණ ආයෝජකයන් නැතිව යල් පැන කාලයත් එක්ක යට ගියා. ඒත් චන්දරේගේ වයිෆ් නිර්මාණය එක්ක දැන් මා වටා අනුග්‍රාහකයන් කිහිප දෙනෙක් එක්ව තිබීම සතුටට කරුණක්..

ඔබගේ පෙර නිර්මාණවලට වඩා චන්දරේගේ වයිෆ්හී නළු නිළියන් වැඩි සංඛ්‍යාවක් දකින්න පුළුවන් නේද..

ඔව්. මගෙ පළමුවැනි නිර්මාණය වූ සංඛාරාහි ප්‍රධාන චරිත 4යි. කර්ම චිත්‍රපටයේ ප්‍රධාන චරිත 3යි. 28 චිත්‍රපටයේ ප්‍රධාන චරිත 4ක් වෙද්දී මෙහි චරිත 11ක් පමණ ඉන්නවා. මං නිර්මාණවලදි භෞතිකව පේන දේට වඩා පුද්ගල මනෝභාවයන්ට මුල් තැනක් දෙනවා. චිත්‍රපටයක චරිත ගොඩක් යොදාගෙන එය කරන්නට බෑ. චරිත බොහෝමයක් යොදාගෙන දෙබස් වැඩි වුණාම මනෝභාවයන් යටපත් වෙනවා. එතකොට ප්‍රේක්ෂකයා හිතන්න පුරුදු වෙන්නෙ නෑ. එවිට නිර්මාණයෙන් නිරූපණය වන දේ සාමාන්‍ය දෙයක් වෙනවා. වචනනවලට වඩා හැඟීම් නිරූපණයෙන් දහසක් දේ දැක්විය හැකියි. ඒ වගේම හැමවිටම දෙබස්වලින් සත්‍ය නිරූපණය වෙන්නෙ නෑ. වචනවලින් සිනාමුසුව සතුට පළ කරන කෙනකුගේ, හිත යට පවතින තරහ, හැඟීම්වලින් පහසුවෙන් පෙන්විය හැකියි. ඕනැම කෙනෙක් කතා කරන වචන දහයකට වැඩි දහසක් දේ සිතින් සිතනවා. එය මගෙ නිර්මාණවල දෙබස්වලට වඩා හැඟීමෙන් පෙන්වා දී තිබෙනවා.

ප්‍රවීණ සාහිත්‍යධරයෙකු වන ඔබගේ පියා, ජයසේන ජයකොඩි මහතාගේ නිර්මාණ ඔබගේ කලා ජීවිතයට බලපෑවේ කොහොමද?

තාත්තා සහ මා අතර සාහිත්‍යමය ගනුදෙනුවක් නොතිබුණු තරම්. ඒත් මං පොඩි කාලේ තාත්තා සතු පොත්පත් කියෙවුවා. මගෙ නිර්මාණවලට ඒ ආභාසය ලැබෙන්න ඇති.

මං තාත්තාගේ නිසල විල ග්‍රන්ථය ඇසුරින් කළ ටෙලිනාට්‍යය හැර තාත්තගෙ නිර්මාණත් එක්ක ලොකු සම්බන්ධයක් තිබුණේ නෑ.

පුංචි තිරයෙන් නිර්මාණකරණයට අත්පොත් තැබූ ඔබ දැන් ඉන් ඈත් වෙලාද.

ඔව්. ටෙලිනාට්‍ය කිරීමෙන් චිත්‍රපට නිර්මාණය තරම් සතුටක් විඳින්න බෑ. මෑතකදී කොරෝනා සමයේ මං, එයා දැන් බැඳලා ටෙලිනාට්‍යය කළා. ඒ පිටපත මං හැදුවෙ චිත්‍රපටයකට. එය ටෙලිනාට්‍යයකට සීමා වීම ගැන දැන් කනගාටුවක් තිබෙනවා. එහි කොටස් 28ක් විකාශය වුණා. ප්‍රේක්ෂකයා රූපවාහිනියෙන් ඈත් වෙන කාලයක ටෙලි නිර්මාණයකට වඩා වැඩි කාලයක් සිනමා නිර්මාණ පවතින බව කිව යුතුයි. ඒ නිසා මං දැන් ටෙලි නාට්‍යවලට වැඩි ඇල්මක් නෑ..

 

 

TEXT – ආර්. පී. මිහිරාන්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?