Saturday, June 13, 2026
Epaper
Home විශේෂාංගආදරණීයයන් වෙනුවෙන් මතකයේ රැඳෙන උපන් දින තිළිණයක්

ආදරණීයයන් වෙනුවෙන් මතකයේ රැඳෙන උපන් දින තිළිණයක්

by Shanaka Lakehouse

උපන් දිනයක් වෙනුවෙන් හෝ වෙනත් විශේෂ දිනයක් සඳහා වෙළඳපොළෙන් මිලදී ගන්නා සාමාන්‍ය තෑග්ගකට වඩා තමන්ගේම දෑතින් ආදරය මුසු කර නිර්මාණය කළ නිර්මාණයක් ලබාදීම තම ආදරණීයයෙකුට ඉතා විශේෂයි. අද අපි කතා කරන්නේ ඉතාමත් සුඛෝපභෝගී පෙනුමක් ඇති, එහෙත් පහසුවෙන් නිවෙසේදීම සාදාගත හැකි “Flower Box Card” නිර්මාණයක් පිළිබඳවයි.

අවශ්‍ය වන ද්‍රව්‍ය

සුදු පැහැති Canvas බෝඩ් එකක්.

රෝස පැහැති ඝනකම් කඩදාසියක් (Box එක නිර්මාණය කිරීමට).

ඩ්‍රයි ෆෝම් (Dry foam) එකක්.

විවිධ වර්ණවලින් යුත් කෘත්‍රිම මල් (Artificial Flowers) – රෝස, තැඹිලි සහ ළා රෝස පැහැයන් වඩාත් උචිත වේ.

කුඩා මුතු ඇට කිහිපයක් සහ පබළු.

කුඩා ලී ස්ටෑන්ඩ් එකක් (Mini Easel stand).

ගෝල්ඩන් (Gold) වර්ණ ස්ටිකර් කඩදාසි හෝ පෑනක්.

ග්ලූගන් (Glue gun) එකක්.

කතුරක් සහ රිබන් පටියක්.

නිර්මාණය කරන පියවර

1 පියවර පසුබිම සකස් කරගැනීම

පළමුවෙන්ම ඔබේ Canvas බෝඩ් එක පිරිසිදු කරගෙන එහි දකුණු පස ඉහළ කෙළවරේ රන්වන් පැහැති අකුරින් “Happy Birthday Ammi” ලෙස ලස්සන අත් අකුරින් හෝ ස්ටිකර් භාවිතයෙන් සටහන් කරගන්න. (මෙය ඔබ තිළිණය දෙන කෙනා අනුව වෙනස් කර ගන්න.) එයට කුඩා හදවත් හැඩ කිහිපයක් එක් කිරීමෙන් තවත් අලංකාරයක් එක් කළ හැකියි.

2 පියවර මල් බඳුන (Box) සකසා ගැනීම

රෝස පැහැති කඩදාසිය අර්ධ වෘත්තාකාර හැඩයට නවා, එය බෝඩ් එකේ පහළ මැද කොටසට මැලියම් යොදා ශක්තිමත්ව අලවා ගන්න. මෙයට කුඩා මල් කූඩයක් හෝ පෙට්ටියක් වැනි පෙනුමක් ලබා දිය යුතුය. එහි ඉදිරිපස ද “Happy Birthday to you” ලෙස සඳහන් කිරීමට අමතක කරන්න එපා. එම කූඩය තුළට ඩ්‍රයි ෆෝම් (Dry foam) එකක් බහාලන්න.


3 පියවර මල් සැකසීම

මෙය නිර්මාණයේ වැදගත්ම කොටසයි. ග්ලූගන් (Glue gun) භාවිතයෙන් විශාල ප්‍රමාණයේ රෝස මල් පෙට්ටිය මැදින් අලවා ගන්න. ඉන්පසු කුඩා මල් සහ කොළ පැහැති අතු රිකිලි අතරින් පුරවන්න. මල් එකිනෙකට තෙරපී නොසිටින සේ ස්වභාවික පෙනුමක් ලැබෙන පරිදි උස මට්ටම් වෙනස් කරමින් සකසන්න.

4 පියවර අලංකරණය (Finishing Touches)

සකසා ගත් මල් මත තැනින් තැන සුදු පැහැති මුතු ඇට අලවන්න. පෙට්ටිය වටා රන්වන් පැහැති රිබන් පටියක් යොදා කුඩා බෝ (Bow) එකක් සාදා අලංකාර කරන්න.

5 පියවර: ප්‍රදර්ශනය කිරීම

දැන් ඔබ සකසා ගත් මේ අලංකාර කාඩ්පත කුඩා ලී ස්ටෑන්ඩ් එක මත තබා ප්‍රදර්ශනය කළ හැකියි. මෙය කාමරයක අලංකාරය වැඩි කිරීමට මෙන්ම මතක සමරුවක් ලෙස කාලයක් තබා ගැනීමට ද හැකියාව ඇත.

මල් තේරීමේදී ඔබ මේ තිළිණය දෙන කෙනා වඩාත් ප්‍රිය කරන වර්ණ තෝරා ගැනීමට උත්සාහ කරන්න. එමෙන්ම කෘත්‍රිම මල් වෙනුවට ඔබට අවශ්‍ය නම් ස්වභාවික මල් (Fresh flowers) වුව ද මේ සඳහා භාවිත කළ හැකිය.

 

TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?