Monday, June 1, 2026
Epaper
Home Highlightsඔබේ නිවෙසේ සැඟවුණු ගැටලු

ඔබේ නිවෙසේ සැඟවුණු ගැටලු

by Shanaka Lakehouse

නිවෙසක් සෑදීමට පෙර නොසිතන ජල හා ඉදිකිරීම් දෝෂ ගැන පාඨක ගැටලු සහ ප්‍රායෝගික ඉංජිනේරු විසඳුම්

නිවෙසක් යනු මිනිසෙකුගේ ජීවිතයේ සාක්ෂාත් කරගන්නා විශාලතම සහ සුන්දරම සිහිනයකි. වසර ගණනාවක අසීමිත කැපවීම, දහඩිය කඳුළු සෝදා ඉතිරි කරගත් මුදල්, බැංකු ණය ලබා ගැනීම් මෙන්ම විදේශගතව විඳි අප්‍රමාණ දුක් ගැහැට මැද උපයාගත් ඓශ්චර්යය අප බොහෝ දෙනා ආයෝජනය කරන්නේ මේ වෙනුවෙනි. අනාගත බලාපොරොත්තු සහ සහස්‍රයක ප්‍රාර්ථනා පොදිබැඳගෙන අපේම කියා නිවෙසක් තැනීම ඕනෑම පවුලකට ජීවිතයේ අසිරිමත්ම සතුට ගෙනදෙන්නකි. එහෙත් මහත් අභිමානයෙන් නිවෙස සාදා වසර කිහිපයක් ගතවන විට එම සිහින මන්දිරයේ සැඟවුණු ගැටලු එකින් එක මතු වෙන්නට පටන් ගනී.

විශේෂයෙන්ම දුර්වල ජල නළ පද්ධති, නාන කාමර ආශ්‍රිත දෝෂ, වහලෙන් සිදුවන ජල කාන්දුවීම්, නිසි ප්‍රමිතියෙන් තොර ටයිල් සවිකිරීම්, වැහි පීළි සවි කිරීමේ දෝෂ සහ බිත්ති තෙත් වීම වැනි ව්‍යූහාත්මක ගැටලු අද බහුතරයක් නිවෙස්වලින් වාර්තා වේ. ඉදිකිරීම් අවයියේදී මේවා සුළු අඩුපාඩු ලෙස පෙනුණ ද කාලයත් සමඟ සමස්ත ගොඩනැඟිල්ලම විනාශ කරන අතිවිශාල මුදලක් වැය වන සංකීර්ණ අලුත්වැඩියාවන් බවට පත්වේ. බොහෝවිට මෙම ගැටලු මුලින්ම හඳුනාගන්නේ නිවෙසේ දෛනික කටයුතුවල නිරත වන ගෘහිණියන්ය. බිත්තියක මතුවන සුළු තෙතමනයක්, ටයිල් අතරින් ජලය කාන්දු වීමක්, වැහි පීළිවල ජලය රැඳීමක් හෝ අසාමාන්‍ය ලෙස ඉහළ යන ජල බිල්පතක් ඔවුන්ගේ තියුණු අවධානයට ලක්වෙයි. මෙවර අප වෙත ලැබුණු එවැනි බරපතළ පාඨක ගැටලු කිහිපයක් සහ ඒ සඳහා දිය හැකි ප්‍රායෝගික මෙන්ම නවීන තාක්ෂණික විසඳුම් මෙසේ වෙන් වෙන් වශයෙන් පෙළගස්වන්නෙමු.

නළ කාන්දුවීම් සහ අසාමාන්‍ය ජල බිල්පත්

ගැටලුව

අපේ නිවෙසේ සාමාන්‍යයෙන් මාසිකව ලැබෙන්නේ රුපියල් තුන්දහසත් හාරදහසත් අතර ජල බිල්පතක් වුවද එක් මාසයකදී කිසිසේත්ම නොසිතූ පරිදි රුපියල් 75,000කට වැඩි බිල්පතක් ලැබුණි. මුලින් අප එය ජල මීටරයේ දෝෂයක් යැයි සිතුව ද පසුව ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ මීටරයෙන් පසුව බිම් යටින් ගිය ප්‍රධාන නළයක විශාල කාන්දුවක් තිබී ඇති බවයි. මේ හේතුවෙන් ජලය දින ගණනාවක් තිස්සේ රහසින්ම බිම් යටින් ගලා ගොස් පසට උරාගෙන තිබුණි.

පිළිතුර

මෙවැනි ඛේදජනක තත්ත්වයන් වර්තමානයේ බොහෝ නිවෙස්වල බහුලව දක්නට ලැබේ. විශේෂයෙන්ම බිම් යටින් ගමන් කරන ජල නළ, කාලයත් සමඟ පසෙහි ඇතිවන අධික පීඩනය, නිසි ලෙස පස් තැළීමක් නොවීම නිසා සිදුවන පස් ගිලාබැසීම් හෝ දුර්වල සවි කිරීම් හේතුවෙන් පිපිරීම්වලට ලක්විය හැකිය. මෙම කාන්දුවීම් බිම් මතුපිටට නොපෙනෙන බැවින් ගැටලුව හඳුනාගැනීම අතිශය ප්‍රමාද වේ.

මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා සෑම මාසයකම අවම වශයෙන් එක් වරක්වත් ජල මීටරය පරීක්ෂා කිරීම අත්‍යවශ්‍යය. නිවෙසේ සියලුම කරාම වසා තිබියදීත් මීටරයේ දර්ශකය හෝ රෝදය කැරකෙන්නේ නම් එය පොළොව යට සැඟවුණු ජල කාන්දුවක් ඇති බවට සනාථ වන ස්ථිර ලකුණකි. බිම් යටින් දිවෙන නළ සඳහා සැමවිටම ඉහළ පීඩන දරාගත හැකි උසස් තත්ත්වයේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතික ලත් පීවීසී හෝ ටයිප් දහස වැනි ඝනකම් නළ භාවිත කළ යුතුය. ප්‍රධාන ජල මාර්ගයේ විවිධ කොටස් සඳහා වෙන වෙනම පාලන කපාට සවි කිරීමෙන් කාන්දුවක් ඇති වූ විට මුළු පද්ධතියම අක්‍රිය නොකර අදාළ කොටස පමණක් හුදකලා කර අලුත්වැඩියා කළ හැකිය.

එසේම නිවෙස ඉදිකිරීමේදී ජල නළ සහ විදුලි රැහැන් ගමන් කළ මාර්ග නිවැරදිව දැක්වෙන නළ මාර්ග සිතියමක් ඉංජිනේරුවරයා ලවා සකස් කර සුරක්ෂිතව තබා ගැනීම වැදගත් වේ. අනාගතයේදී පොළොව කැණීමේදී හෝ අලුත්වැඩියාවකදී නළ පිහිටි ස්ථාන නිවැරදිව හඳුනාගැනීමට මෙම සිතියම මහඟු පිටිවහලක් වනු ඇත.

බිත්ති ඇතුළත නළ දෝෂ සහ ටයිල් පද්ධතියට හානි වීම්

ගැටලුව

අපේ නිවෙසේ නාන කාමරයේ බිත්තියක ටයිල් අතරින් ජලය දියවී එනවා මුලින්ම දැක්කා. එය සාමාන්‍ය තෙතමනයක්යැයි සිතුවද පසුව බිත්තියේ පිටුපස පැත්තත් තෙත් වෙන්න පටන් ගත්තා. ජල නළ කාර්මිකයෙක් ගෙන්වා පරීක්ෂා කිරීමේදී බිත්තිය ඇතුළේ සඟවා ඇති නළයක සන්ධියක් කැඩී ඇති බව හඳුනාගත්තා. එය අලුත්වැඩියා කිරීමට අලුතින්ම ඇල්ලූ වටිනා ටයිල් ටික කැඩීමට සිදුවූ අතර වඩාත්ම කනගාටුදායක කරුණ වන්නේ වෙළෙඳපොළෙන් නැවත ඒ වර්ණයේම සහ ඒ කාණ්ඩයේම ටයිල් සොයාගන්න නොහැකි වීමයි.

පිළිතුර

නාන කාමර ආශ්‍රිත ජල කාන්දුවීම් යනු නිවෙසක ව්‍යූහාත්මක පැවැත්මට එල්ල වන ප්‍රබලම තර්ජනයකි. ටයිල් අතරින් ජලය මතු වීම, බිත්තියේ වර්ණය වෙනස් වීම, ලවණ තැන්පත් වීම සහ පුස් ගැසීම මෙහි මූලික ලක්ෂණ වේ. වර්තමානයේ සාම්ප්‍රදායික සිමෙන්ති වැලි මිශ්‍රණය වෙනුවට උසස් ප්‍රමිතියේ ටයිල් ඇලවුම් කාරක ගම් වර්ගයක් භාවිත කිරීම අනිවාර්ය වේ.

ටයිල් ඇල්ලීමට පෙර නාන කාමරයේ බිම් මහල සහ බිත්ති මත ජල කාන්දු නොවන දියර රෝධක රසායනික ආලේපනයක් අවම වශයෙන් වට දෙකක්වත් හරස් අතට යෙදිය යුතුය. නළ පද්ධතිය සවි කර අවසන් වූ වහාම සහ බිත්ති ප්ලාස්ටර් කිරීමට පෙර පීඩන පරීක්ෂාවක් සිදු කළ යුතුය. එසේම ඔබ මිල දී ගන්නා ටයිල් වර්ගවලින් අමතර පෙට්ටි එකක් හෝ දෙකක් අනාගත අවශ්‍යතා සඳහා වෙනම ගබඩා කර තබා ගැනීම ඉතා හොඳ පුරුද්දකි.

බිත්ති තෙත් වීම, පුස් වර්ධනය සහ සෞඛ්‍යමය බලපෑම්

ගැටලුව

අපේ නිවෙසේ නාන කාමරයට මායිම්ව ඇති අනෙක් කාමරයේ බිත්තිය පහළ කොටසේ සිට ටික ටික තෙත් වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ බිත්තියේ තීන්ත පෙණ දමා ගැලවී, පාට වෙනස් වී කළු පැහැති පුස් ගැසීමට පටන් ගත්තා. දැන් එම කාමරය ඇතුළේ දැඩි අප්‍රසන්න දුර්ගන්ධයක් පවා පවතින අතර කාමරයේ රැඳී සිටීම පවා සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් බවට පත්ව තිබෙනවා.

පිළිතුර

මෙය නිවෙසක බිත්ති ඇතුළත හෝ නාන කාමරයේ බිම් මට්ටමේ දිගුකාලීන ජල කාන්දුවක් පවතින බවට දිය හැකි ස්ථිර සාක්ෂියකි. නාන කාමරයේ බිම යෙදූ ජලරෝධක පටලයේ ඇති දුර්වලතා හෝ ටයිල් අතර හිඩැස් පිරවීමට යොදන ග්‍රවුට් ඉරිතැළීම් නිසා ජලය ගඩොල් බිත්තියට උරාගෙන කේශාකර්ෂණය මඟින් අනෙක් පස බිත්තියට ගමන් කරයි.

මෙයින් සිමෙන්ති බදාම දුර්වල වනවා පමණක් නොව හුස්ම ගැනීමේ අපහසුතා, ඇදුම සහ ආසාත්මිකතා වැනි සෞඛ්‍ය ගැටලු ද ඇතිවිය හැකිය. එබැවින් නාන කාමරයේ බිත්ති අඩි හයක් දක්වා ජලරෝධක ආලේපනයකින් ආවරණය කළ යුතුය. සාමාන්‍ය සිමෙන්ති ග්‍රවුට් වෙනුවට ඉපොක්සි ග්‍රවුට් භාවිත කිරීම වඩාත් සුදුසුය. තෙතමනය රැඳී නොසිටීමට නිසි වාතාශ්‍රය සහ එක්සෝස්ට් පංකා ද අනිවාර්යයෙන්ම සවි කළ යුතුය.

වහල සහ සන්ධි ආවරණ දෝෂ හේතුවෙන් සිදුවන ජල කාන්දු

ගැටලුව

අලුත් නිවෙස හදලා තවම අවුරුදු දෙකක්වත් නැහැ. හැබැයි දැන් සුළු වැස්සකටත් වහලෙන් ජලය කාන්දු වී බිත්තිය දිගේ පහළට බසිනවා. මුලින්ම සිවිලිමේ කුඩා ළපයක් වගේ තිබුණත් දැන් මුළු සිවිලිමම තෙත් වී දිරාපත් වීගෙන යනවා. තදින් වහින දවස්වලට ගේ ඇතුළට වතුර බින්දු බිමට වැටෙන නිසා භාජන තැබීමට පවා සිදුවී තිබෙනවා.

පිළිතුර

වහල කාන්දුවීම් යනු මුළු නිවෙසේම අලංකාරය මෙන්ම වටිනාකම එක්වරම බිඳ දමන ප්‍රධාන ඉදිකිරීම් දෝෂයකි. වහල තහඩු හෝ උළු සවි කිරීමේදී සිදුවන තාක්ෂණික වැරදි, නිවැරදි කෝණයට වහල නොතැනීම සහ සන්ධි ආවරණ නිසි ලෙස නොයෙදීම මීට ප්‍රධාන හේතු වේ.

බිත්තිය සහ වහලය හමුවන සන්ධිවලට සින්ක් ඇලුමිනියම් හෝ ඊයම් සන්ධි ආවරණ යෙදිය යුතුය. වහලයේ ඇණ සිදුරු මඟින් කාන්දු වීම වැළැක්වීමට උසස් තත්ත්වයේ රබර් වොෂර් සහිත ඇණ භාවිත කළ යුතුය. වහල සවි කර සිවිලිම ගැසීමට පෙර කෘත්‍රිම ජල පරීක්ෂාවක් සිදු කිරීම ද ඉතා වැදගත් වේ.

 

TEXT – දුමින්ද කාරියවසම්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?