පෙරදිග සම්භාව්‍ය සිතුවම් කලාවේ පවතින අසිරිමත් සුන්දරත්වයත්, අපේ දේශීය ගැමි ජන ජීවිතය සතු අව්‍යාජ සුන්දරත්වයත් එකට මුසු වූ අපූර්ව කලා මංගල්‍යයක් නැරඹීමේ දුර්ලභ අවස්ථාවක්
මෙරට සිතුවම් ලෝලීන්ට සහ ප්‍රේක්ෂක ජනතාවට උදාවී තිබේ. කලා ලෝකය තුළ තමන්ටම අනන්‍ය වූ සුවිශේෂී ශෛලියක් නිර්මාණය කර ගනිමින් සිංහල සිතුවම් කලාව ජාත්‍යන්තර මානයන් වෙත රැගෙන යෑමට වෙහෙසෙන ප්‍රකට කලාකරුවෙකු වන උපුල් ජයශාන්තගේ තෙවැනි ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය මේ මස 05, 06 සහ 07 යන දිනවල කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී (Lionel Wendt Art Gallery) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ප්‍රදර්ශනය මේ 05 වැනිදා සවස විශේෂ ආරාධිතයන් රැසකගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.
කාර්යබහුල නාගරික ජීවිතයේ වෙහෙසකර බවින් මිදී සිතට සහ මනසට ඉමහත් ආධ්‍යාත්මික සුවයක් මෙන්ම දෘශ්‍ය රසවින්දනයක් ලබාගැනීම වෙනුවෙන් වෙන් වූ මෙම අපූර්ව ප්‍රදර්ශනය උදෑසන 9.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘතව පවතී. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ කලාවට ආදරය කරන, සිතුවම් කලාවේ නවමු අත්දැකීම් විඳගැනීමට කැමැත්තක් දක්වන සියලුම දෙනා වෙනුවෙන් මෙම ප්‍රදර්ශනය සම්පූර්ණයෙන්ම නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබීමයි. උපුල් ජයශාන්ත සැමටම විවෘත ආරාධනයක් කරමින් සෞන්දර්ය කලාව විඳගැනීමට කැමැති ඔබට විවෘත මනසකින් යුතුව උසස් කලා රසඥතාවක් විඳගැනීම සඳහා ලයනල් වෙන්ඩ්ට් කලාගාරය වෙත පැමිණෙන ලෙස සමස්ත කලාලෝලීන්ට මෙලෙස ආරාධනා කර සිටියි.
වසර 25 ක කලා පන්නරය සහ සෙමගේ ගුරු කුලයේ ආභාසය
උපුල් ජයශාන්ත යනු හදිසියේ කලා ලෝකයට අවතීර්ණ වූවෙක් නොවේ. ඔහු වසර විසිපහකට අධික දීර්ඝ කාලයක් තිස්සේ පින්සල සහ වර්ණ පුවරුව සමඟ අතිශය සමීපව ගනුදෙනු කරමින්, ස්වකීය සාධනීය කුසලතාවන් මැනවින් ප්‍රගුණ කළ පරිණත කලාකරුවෙකි. ඔහු මෙරට බිහි වූ අග්‍රගණ්‍ය චිත්‍ර ශිල්පියකු වන කලාසූරී ජයසිරි සෙමගේ මහතාගේ ප්‍රධානතම සහ සමීපතම ශිෂ්‍යයකු ලෙස චිත්‍ර කලාව හදාරමින් ස්වකීය ගමන ආරම්භ කළේය. සෙමගේ සූරීන්ගේ ඇසුරේ විධිමත් ලෙස කලා අධ්‍යාපනය ලැබීම තුළින් ඔහු ලබාගත් ශිල්පීය ඥානය, විනය සහ කලාත්මක දැක්ම ඔහුගේ නිර්මාණ චාරිකාවේ ශක්තිමත් පදනම බවට පත්විය.
සිය ගුරු දේවයාණනි ‘සේමගේ ශෛලියේ’ එන සුමට රේඛාකරණයේ ආභාසය ලැබුවද, උපුල් ජයශාන්ත කිසිවිටෙකත් අනුකරණයේ සිරකරුවකු බවට පත් නොවීමට වගබලා ගත්තේය. ඔහු එම පදනම උපයෝගී කරගනිමින්, තමන්ගේම පර්යේෂණ සහ ස්වාධීන දැක්ම ඔස්සේ තමන්ටම අනන්‍ය වූ නැවුම් වූත්, ස්වාධීන වූත් චිත්‍ර සම්ප්‍රදායක් සහ වර්ණ රටාවක් ගොඩනඟා ගැනීමට සමත් විය. මීට පෙර ඔහු විසින් පවත්වන ලද ‘අරුණලු’ (Arunalu) සහ ‘නෙත් රූ’ (Neth Ru / Variegated Forms) වැනි ඒක පුද්ගල ප්‍රදර්ශන මෙන්ම සමූහ චිත්‍ර ප්‍රදර්ශන රැසක් දේශීය මෙන්ම ජාත්‍යන්තර විචාරකයන්ගේ ඉහළ ඇගයීමට ලක්වූයේ ඔහුගේ මෙම අනන්‍ය ශෛලියේ සුවිශේෂී බව නිසාමය. මෙවර පැවැත්වෙන තෙවන ඒක පුද්ගල ප්‍රදර්ශනය එම දිගු ගමනේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත.
නිදහස් රසවින්දනය උදෙසා විවෘත ඇරයුමක්
කලාව යනු හුදෙක් බිත්තියක එල්ලන සැරසිල්ලක් පමණක් නොවන බවත් එය මිනිස් චින්තනය පිරිසුදු කරන සහ හදවත සංවේදී කරන ප්‍රබල මෙවලමක් බවත් උපුල් ජයශාන්ත දැඩිව විශ්වාස කරයි. නූතන සමාජයේ පවතින කාර්යබහුලත්වය සහ මානසික ආතතිය හමුවේ, උසස් සිතුවමක ඇති වර්ණ හා රේඛා දෙස බලා සිටීමෙන් ප්‍රේක්ෂකයාගේ මනසට ලැබෙන සහනය ඉමහත්ය. එම නිසාම, මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන කලාලෝලීන්ට කිසිදු මූල්‍යමය බාධාවකින් තොරව නිදහසේ සිතුවම් රසවිඳීමට හැකිවන පරිදි ප්‍රදර්ශන පරිශ්‍රය නොමිලේ විවෘතව තැබීමට ඔහු තීරණය කර ඇත.
“චිත්‍රයක් කියන්නේ වචන දහස් ගණනකින් ලියලා කියන්න බැරි, මිනිස් හදවතේ ගැඹුරුම තැනක උපදින හැඟීමක් එකම එක රේඛාවකින් හෝ වර්ණ තිතකින් ප්‍රේක්ෂකයාගේ ආත්මය ඇතුළටම කාන්දුවෙන්න සලස්වන අපූර්ව භාෂාවක්. මම මගේ ජීවිතයේ වසර විසිපහකට අධික කාලයක් පුරා පින්සලත් එක්ක කරපු ඒ ආත්මීය ගනුදෙනුවේ, මෑතකදී මා ලබපු ජීවිතාවබෝධය සහ අත්දැකීම් එකතුව තමයි මේ ප්‍රදර්ශනය පුරාම තැන්පත් කරලා තියෙන්නේ. අපේ දේශීය අනන්‍යතාව, පෙරදිග රේඛා කලාවේ සුමට බව වගේම, පරිසරයේ තියෙන නිහඬ සුන්දරත්වය මේ සිතුවම් ඇතුළේ ජීවත් වෙනවා.”
“මෙවර මගේ ප්‍රදර්ශනය සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන්න තීරණය කළේ කලාව කියන දේ සමාජයේ එක්තරා පන්තියකට විතරක් සීමා නොවී, සාමාන්‍ය පොදු ජනතාවට, පාසල් දරුවන්ට වගේම කලාවට ආදරය කරන හැම කෙනෙකුටම කිසිම බාධාවකින් තොරව විඳින්න්න ඉඩ සලසා දෙන්න ඕන නිසයි. මුදල් මත කලාව තීරණය වෙන්න බැහැ. කලාවෙන් ලැබෙන ආධ්‍යාත්මික සුවය හැමෝටම සමීප වෙන්න ඕනේ. ඒ නිසා මම මගේ මුළු හදවතින්ම ඉතාමත් ආදරයෙන් ආරාධනා කරනවා මේ මස 05, 06 සහ 07 යන දිනවල කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරය වෙත පැමිණිලා, මගේ පින්සල් තුඩින් මතු වුණු ඒ වර්ණ සහ රේඛා යාත්‍රාව දෙස බලා ඔබේ සිතට නැවුම් රසවින්දනයක් සහ ආස්වාදයක් ලබාගන්න කියලා.”
TEXT – දුමින්ද කාරියවසම්
