වේදිකා නාට්‍යයෙන් කලාවට පියවර තබා පුංචි තිරය ද අතික්‍රමණය කළ ඔහු රිදී තිරයේද සිය රංග ප්‍රතිභාව විදහා පෑවේය. කොළඹ දෘශ්‍ය කලා හා රංග කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙසද කටයුතු කරන ඔහු නාට්‍ය හා රංග කලාවේ පිටපත් රචනය, අධ්‍යක්ෂණය, රංගනය, වේදිකා නාට්‍ය ඇඳුම් නිර්මාණය පිළිබඳ උපදේශකයෙකි. මෙවර තරුණී අම්මාවරුනේ විශේෂාංගය තුළින් සිය මව ගැන මෙන්ම සිය බිරිය මවක ලෙස දකින ආකාරය ගැන අදහස් දැක්වීමට එක්වන්නේ ඔහුය. ඔහු අප කවුරුත් දන්නා හඳුනන ප්‍රසන්නජිත් අබේසූරියයි.
මගේ අම්මා හෙට්ටිතන්ත්‍රිගේ කමලාවතී. අපේ පවුල ටිකක් විශාල පවුලක්. අපේ පවුලේ සහෝදර සහෝදරියෝ අට දෙනයි. මම හය වැනියා. අපේ නංගිගේ වයසේ දරුවෙකුත් අපි එක්ක හැදුණා. එතකොට අපේ පවුලේ සහෝදර සහෝදරියෝ නවදෙනෙක්. ඇත්තටම අපි පුංචි කාලේ ලොකු වත්පොහොසත්කම් තිබුණු අය නොවෙයි. අපේ තාත්තාට අප පදිංචි වෙලා සිටි නිවෙස වූ වැල්ලම්පිටියේම පොඩි කඩයක් තිබුණා. එහි ආදායමින් වගේම අම්මා හදන කඩයප්පන්වලින් ලැබුණු සුළු ලාභයෙන් අපි උස් මහත් වුණු බව කිව යුතුයි. ඉතින් අම්මා තාත්තාට අපි වෙනුවෙන් වැඩි වෙලාවක් සොයා බලමින් කටයුතු කරන්නට වෙලාවක් තිබුණේ නෑ. ඔවුන් වැඩිපුරම උත්සාහ කළේ එදිනෙදා වේල හොයාගෙන අප සියලු දෙනාගේ කුසගිනි නිවීම සහ ලෙඩකදී දුකකදී බෙහෙත් හේත් අරන් දීමට පමණයි.
අපේ අම්මා තාත්තා මහා විශාල උගත්කමක් තිබුණු ලෝකාවබෝධයක් ධනයක් තිබුණු අය නොවේ. අපේ පවුලේ සහෝදර සහෝදරියෝ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා මිස මා මෙන් විශ්වවිද්‍යාලයට ගියේ නෑ. අපිව අධ්‍යාපනය වෙනුවෙන් මහන්සි කරවීමට අපේ අම්මා තාත්තාට ලොකු උනන්දුවක් නොතිබුණු බව කිව යුතුයි. ඒත් අධ්‍යාපනය වෙනුවෙන් කළ යුතු වියදම් පරිපූර්ණව නොව හැකි පමණින් ලබා දෙන්නට ඔවුන් කටයුතු කළා. අපව අධ්‍යාපනය වෙනුවෙන් උනන්දු කරවීමට ඔවුන්ට උවමනාවක් නොතිබුණා නොව ඒ ගැන සිතීමට හෝ වෙලාවක් හෝ නොවූ ජීවිත සටනක ඔවුන් නියැළී සිටියා.
ප්‍රසන්නජිත්, ඔහුගේ මව සමඟ වූ සහසම්බන්ධතා තවදුරටත් මෙසේ විස්තර කළේය.
ඇත්තටම අපේ අම්මා සහ අපි අතර සමීප සබඳතාවක් තිබුණා. අපේ තාත්තා අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වූ බව කිව යුතුයි. ඒ කාලේ ඇඹිලිපිටිය, පල්ලේබැද්ද ආදී දුර පළාත්වල පොළවලට ගිහින් ඔහු එළවළු පලතුරු අරගෙන ඇවිත් මෙහි විකුණනවා. ඉතින් අපි එක්ක බොහෝ කාලයක් ගත කළේ අපේ අම්මා. ලෙඩකදී දුකකදී අපව නෝනා වාට්ටුවට එක්කගෙන යෑම, ඕනෑම ප්‍රශ්නයකට ඇහුම්කන් දීම, පාසලේ හැම වැඩකටම අපි වෙනුවෙන් සහභාගී වීම ආදී අපේ හැම වැඩක්ම කළේ අපේ අම්මා විසින්.
අපේ අම්මා උදේ පාන්දරට අවදි වෙලා කඩයප්පන් හදනවා. බත් පැකට් හදලා අවට කඩවලට යවන්නත් අම්මා කටයුතු කළා. ඒ හැම දෙයක්ම කරලා දවල්ට අම්මා රෙදි මහන්නේ අපේ අවශ්‍යතා සපුරන්නටයි. දාස සමූහ ව්‍යාපාරයෙන් ගෙවල්වලට එවන රෙදි කැබලි එකතු කරලා ඇඳුම් මහන අය අතර අපේ අම්මාත් හිටියා. අපිට තිබුණේ පාගන මැෂිමක්. ඉතින් පුංචි අපිව ඔඩොක්කුවේ තියාගෙන අම්මා ඇඳුම් මහපු හැටි අද වගේ මට මතකයි. ඉතින් අම්මා ඇඳුම් මහද්දී මහන්සියට කිරා වැටෙනවා. එතකොට මැෂින් ලෑල්ලේ වැදිලා අම්මාගේ ඔළුවේ එකම තැනක් අට වතාවකදී තුවාල වුණු සැටි මට අමතක වන්නේ නෑ.
ඉතින් මැෂින් එක පාගලා පාගලාම අම්මාගේ කකුලේ නහර ගැටගැහිලා ඇය සෑහෙන දුක් වින්දා. ඇත්තටම අපි සුන්දර ජීවිතයක් ගත නොකළ නිසා මගේ පුංචි කාලේ සුන්දර මතක තියෙන්නේ බොහොම අඩුවෙන්.
අපේ අම්මා නිතරම පන්සල් යනවා. අපි නිතරම යන්නේ කළවිටිගොඩැල්ල පන්සලට. ඉතින් කළවිටිගොඩැල්ල පන්සලට ගිහින් එන අතරේ අපේ අම්මා පන්සලේ කැටයට දමන්නැයි අප අතට සතේ දෙකේ කාසි දෙනවා. ඉතින් ඒ කාසි කවදාවත්ම මං පන්සලේ කැටයට දාන්නේ නෑ. අම්මාට සද්දේ ඇහෙන්නේ නැති වෙන්නට ඒ සල්ලි සාක්කුවේ දාගෙන කැටයට දැම්මා වගේ ආයෙත් එනවා.
ඇත්තටම අම්මාගේ ඇඳුම් මැසීම මගේ ජීවිතයටත් ඉතා වැදගත් වුණා. ඒ ආභාසය නිසාද හෝ මම අවුරුදු දොළහක් පමණ ඇඟලුම් සේවයේ කටයුතු කළා. ඒ වගේම මගේ නාට්‍යවලට අවශ්‍ය ඇඳුම් මසා ගන්නේ මා විසින්. ඉතින් එය අම්මාගෙන් ලැබූ ආභාසයක් බව කිව යුතුයි. අපේ අම්මාගේ පුංචි අම්මා කෙනෙක් අපි පදිංචි වෙලා උන්නු වැල්ලම්පිටියේ ජීවත් වුණා. ඒ පුංචි අම්මාටත් දරුවෝ අට දෙනෙක් හිටියා. ඒ දරුවන්ගේ හයදෙනෙක් ගැහැනු අය. ඒ හැමදෙනෙක්ම හොඳින් ඉගෙන ගත්තා. මං බොහෝ විට ඒ අයගේ ඇසුරට වැටුණා. ඇත්තටම අපේ පවුලේ අනෙකුත් සැමදෙනාටම වඩා මා හොඳින් ඉගෙන ගත්තේ ඒ නිසාම බව කිව යුතුයි. මං ඔවුන් සමඟ උසස් පෙළට නිර්දේශිත නාට්‍ය බලන්නට ගියා. ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඒ පවුලේ එක් පුංචි කෙනෙක් ඉගෙන ගත්තා. ඇය කැම්පස් එකේ නෝට්ස් ගෙනැවිත් ලියන විට බොහෝ විට ඒවා කියෙව්වේ මං. ඉතින් එයත් ඉගෙනීමට ආසාවක් ඇති වන්නට ඒවා මට උත්තේජනයක් වුණා. ඒ වගේම තාත්තාගේ පෙනුමට වඩා අම්මාගේ පෙනුමට මං සමීප බවත් කිව යුතුයි.
අපේ අම්මාට තාත්තාට කලාව ගැන ලොකු හැඟීමක් තිබුණේ නෑ. එකම එක වතාවක් මගේ නාට්‍යයක් හෝ සම්මාන උළෙලකට අම්මා පැමිණියා මිස ඒ හැර අම්මා හෝ තාත්තා මගේ කිසිදු කලා කටයුත්තකට නොපැමිණි බව කිව යුතුයි. ඒගොල්ලන්ගේ ලෝකයේ කලාව තිබුණේ නෑ. අම්මා සතුව ආගන්තුක සත්කාරය, කාරුණික බව ඉතා ඉහළින්ම තිබුණා. ඒ හැමදෙයක්ම මටත් නොඅඩුව ලැබී තිබෙනවා. ඉතින් කඩේ ණය පොත සීමා රහිතව පිරිලා තිබුණු හැටි මට මතකයි. අපි කොළඹට කිට්ටු නිසා දුර පළාත්වල නෑයෝ කොළඹ ආවොත් අපේ ගෙදර නවතිනවා. ඉතින් ඒ අයට කන්න බොන්න දෙන්නට අම්මා සහ තාත්තා මැළි වෙන්නේ නෑ.
සිය මව්තොමෝ සතු ගුණාංග ඔහුගේ දිවියට ආභාසය වූ ආකාරය ප්‍රසන්නජිත් තවදුරටත් මෙසේ විස්තර කළේය.
අපේ අම්මා දරා ගැනීම උපරිමව තිබුණු කෙනෙක්. දරුවෝ අටදෙනෙක් එක්ක වැල්ලම්පිටියේ කුඩා කඩ කෑල්ලක, කුලී කාමරයක ජීවත් වෙමින් ගත කළ දිවිය බොහෝම පුදුමාකාරයි. එය අදටත් මට සිතා ගන්නට බැරි තරම් දරා ගැනීමක්. ඉතින් ඒ දරා ගැනීම මටත් අම්මාගෙන් ලැබුණා කිව්වොත් නිවැරදියි. ජීවිතය කියන්නේ විශාල ප්‍රශ්න පත්තරයක්. අපි ඉතින් එයට පිළිතුරු ලියමින් ජීවිතය ඉදිරියට ගෙන යනවා.
මව ගැන අදහස් බෙදා හදා ගැනීමෙන් පසු ප්‍රසන්නජිත් සිය බිරිඳ හා බැඳුණු මතක අප හමුවේ ගෙන හැර පෑවේ මෙයාකාරයෙනි.
මගේ බිරිඳ නයනා හෙට්ටිආරච්චි. ඇය සහ මං හමු වූ ආකාරයත් හරිම අපූරුයි. ‘යාළුයි අපි යාළුයි’ පාසල් වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය කළ නිළිය කාර්යබහුලත්වය නිසා පුහුණුවීම්වලට ආවේ නෑ. ඉතින් ඒ වෙලාවේ නාට්‍යය වෙනුවෙන් දින දෙක තුනක් ඇතුළත නිළියක් තෝරා ගත්තා. ඉතින් එදා නාට්‍යය ගොඩදමමින් මට උදව් කරන්නට වේදිකාවට ගොඩවුණු ඇය මගේ ජීවිතය ගොඩදැම්ම මගේ සහකාරිය වුණා. ඇය තමයි නයනා හෙට්ටිආරච්චි. ඇය අපේ රංග පාසලේ මට පස්සේ බැජ් එකක ශිෂ්‍යයාවක්. දින දෙක තුනක් ඇතුළත චරිතය පුහුණු වුණු නයනා එදා ඒ නාට්‍යයේ හොඳින් රඟපෑවා.
අනතුරුව මගේ වේදිකා නාට්‍ය රැසක ඇය සහ මම එකට කටයුතු කළා. අපි දෙන්නා අතර කිසිදු සම්බන්ධයක් නැතිව වුවද මට තේ එකක් බොන්න හිතෙන විට ඇය මට තේ එකක් ගේනවා. නාට්‍යයක පෝස්ටර් ප්‍රින්ට් කරන්න සල්ලි නැති වුණොත් ඇය කරාබු දෙක හෝ උකස් කර මට සල්ලි දුන් අවස්ථා තිබුණා. අපේ ගෙදර ඇවිත් නාට්‍යවල ඇඳුම් සෝදමින් ඇය ඉබේම මගේ සහායිකාව වුණා. ඉතින් හැමෝම හිතුවේ අපි අතර ප්‍රේම සම්බන්ධයක් තිබුණා කියලයි. ඉතින් ඒ සම්බන්ධය විවාහයකින්ම කෙළවර වුණා. අපි දෙන්නාම නාට්‍ය කලාවෙන් දිවි ගෙවූ අය. ඉතින් අපේ සහසම්බන්ධය අපි දෙන්නාගෙම කලා දිවිය ගොඩනඟන්නට උදව් වුණා.
අදටත් ඇය මා සමඟ ලොකු අවබෝධයකින් ජීවත් වෙනවා. අපි අතර ප්‍රශ්න මතු නොවෙනවා නොවෙයි. ඒත් අපි අතර පවතින අවබෝධය නිසා අපි ඒ ප්‍රශ්න නිරාකරණය කරගෙන හොඳින් ජීවත් වෙනවා. ඇයත් රංගන ශිල්පිනියක්. ඒත් ඇය ගෙදර වගකීම අංක එකේ තබාගෙන ජීවත් වන කාන්තාවක්. අපි පාන්දර හතරට ෂූටින් යනවා නම් ඇය පාන්දර දෙකට නැඟිටලා උයනවා. බොහෝ විට ඇය දරුවන්ගේ සහ ගෙදර වගකීම් වෙනුවෙන් නිර්මාණ පවා ප්‍රතික්ෂේප කළ අවස්ථා බොහෝමයි. ළමයි පුංචි කාලේ ඇය නිර්මාණ රැසක්ම ප්‍රතික්ෂේප කළ බව කිව යුතුයි.
TEXT – ආර්. පී. මිහිරාන්
