Maintenance Plan එකක වැදගත්කම සහ නිවෙසක නිතර මතුවන ගැටලුවලට ප්‍රායෝගික විසඳුම්
නිවෙසක් ඉදිකිරීම බොහෝ දෙනකුගේ ජීවිතයේ විශාලතම ආයෝජනයකි. එහෙත් නිවෙසක් සම්පූර්ණ කිරීමෙන් පසුව එහි නඩත්තුව පිළිබඳ සැලසුම්ගත වැඩපිළිවෙළක් නොමැති වීම නිසා වසර කිහිපයක් තුළම විවිධ ගැටලු මතුවන අවස්ථා බහුලව දක්නට ලැබේ. ලොව ඕනෑම කර්මාන්ත ශාලාවක්, හෝටලයක්, පාසලක් හෝ රාජ්‍ය ආයතනයක් දෛනික, සතිපතා, මාසික සහ වාර්ෂික නඩත්තු සැලැස්මක් යටතේ ක්‍රියාත්මක වන්නේ එහි වත්කම් ආරක්ෂා කර ගැනීම සඳහාය. එම මූලධර්මය නිවෙසකට ද සමානව වැදගත් වේ.
හොඳ Maintenance Plan එකක් යනු ගැටලු ඇති වූ පසු ඒවාට විසඳුම් සෙවීම නොව ගැටලු ඇතිවීමට පෙර ඒවා හඳුනාගෙන වැළැක්වීමයි. වහලය, විදුලි පද්ධතිය, ජලනළ පද්ධතිය, මුළුතැන්ගෙය, වැසි ජලය බැසයෑමේ පද්ධතිය සහ ගෘහ උපකරණ නිශ්චිත කාලසටහනකට අනුව පරීක්ෂා කිරීමෙන් අනාගතයේදී විශාල අලුත්වැඩියා වියදම් වළක්වා ගත හැකිය.
සතිපතා වහලය සහ වැසි ජල කාණු පරීක්ෂා කිරීම, මාසිකව විදුලි පද්ධතිය සහ ජල කාන්දුවීම් පරීක්ෂා කිරීම, වාර්ෂිකව වහලයේ හා ව්‍යුහයේ සම්පූර්ණ තාක්ෂණික පරීක්ෂාවක් සිදු කිරීම හොඳ නඩත්තු සැලැස්මක අනිවාර්ය අංගයන්ය.
මෙවර පාඨකයන් යොමු කළ ගැටලු සඳහා ඉංජිනේරු තාක්ෂණික උපදෙස් ඇසුරින් අපි පිළිතුරු සපයමු.
ඇස්බැස්ටෝස් වහලයක මුදුන් බැඳ ඇති බදාම පුපුරා යෑම
ගැටලුව
අපගේ නිවෙසේ ඇස්බැස්ටෝස් වහලයේ මුදුන් බැඳ ඇති බදාම ස්ථාන කිහිපයක් පුපුරා ගොස් ඇත. වැසි දිනවල ජලය කාන්දු වීම ද සිදුවේ. මෙයට හේතුව කුමක්ද?
විසඳුම
වහලයක කල්පැවැත්ම තීරණය කරන ප්‍රධාන සාධකයක් වන්නේ එහි ආනතිය (Roof Pitch) ය. ආනතිය නිවැරදි නොවීමෙන් වැසි ජලය ඉක්මනින් බැස නොයන අතර මුදුන් සන්ධිවලට අධික පීඩනයක් එල්ල වේ.
තවත් වැදගත් කරුණක් වන්නේ බදාම මිශ්‍රණයයි. මුදුන් බැඳීම සඳහා සාමාන්‍යයෙන් සිමෙන්ති 1 කොටසට වැලි කොටස් 3ක් සහ හුනු සුළු ප්‍රමාණයක් යොදා ගනී. මෙම අනුපාතය නිවැරදි නොවීම, උළු තෙත් නොකර බදාම යෙදීම සහ නිසි ලෙස curing නොකිරීම හේතුවෙන් බදාම ඉරිතැළී පුපුරා යා හැකිය. වහලය වසරකට අවම වශයෙන් එක් වරක් පරීක්ෂා කිරීමෙන් මෙවැනි ගැටලු කලින් හඳුනාගෙන අඩු වියදමකින් නිවැරදි කළ හැකිය.
ට්‍රිප් ස්විච් එක නිතර ක්‍රියාත්මක වී විදුලිය විසන්ධි වීම
ගැටලුව
නිවෙසේ ඉදිරිපස විදුලි පද්ධතියේ දෝෂයක් නිසා ට්‍රිප් ස්විච් එක නිතර ක්‍රියාත්මක වී විදුලිය විසන්ධි වේ.
විසඳුම
ට්‍රිප් ස්විච් එකක් හෙවත් RCCB හෝ ELCB ක්‍රියාත්මක වීම යනු පද්ධතිය තුළ විදුලි කාන්දුවක් ඇති බවට ලැබෙන ආරක්ෂක සංඥාවකි. මෙයට හේතු විය හැක්කේ වැරදි වයරින්, ජලය ඇතුළු වූ සම්බන්ධතා, දෝෂ සහිත සොකට්, බාහිර විදුලි බුබුළු තුළට වැසි ජලය ඇතුළු වීම සහ නිසි නඩත්තුවක් නොමැති විදුලි උපකරණ නිවෙසක තිබීමය.
මෙවැනි අවස්ථාවක සුදුසුකම් ලත් විදුලි කාර්මිකයකු ලවා Insulation Resistance Test එකක් සිදු කර දෝෂය හඳුනාගත යුතුය. බාහිර විදුලි සම්බන්ධතා සඳහා ජලයට ඔරොත්තු දෙන Junction Boxes භාවිත කිරීම ද වැදගත් වේ. ට්‍රිප් ස්විච් එක අක්‍රිය කිරීම හෝ බයිපාස් කිරීම ජීවිත අවදානමක් ඇති කළ හැකි බැවින් කිසිවිටෙකත් එසේ නොකළ යුතුය.
නාන කාමරයේ ස්ථාපනය කර ඇති වොෂින් මැෂිම
ගැටලුව
අපගේ වොෂින් මැෂිම නාන කාමරය තුළ පිහිටා ඇති අතර නාන අවස්ථාවල ජලය වැදීමේ අවදානමක් පවතී.
විසඳුම
වොෂින් මැෂිමක් නාන කාමරයක් තුළ තැබීම හැකිතාක් දුරට වළක්වා ගත යුතුය. නාන කාමරය තුළ පවතින අධික තෙතමනය නිසා මෝටර් කොටස් සහ විදුලි පරිපථ දෝෂ සහිත විය හැකිය. හැකි නම් වොෂින් මැෂිම වෙනම Laundry Area එකක ස්ථාපනය කළ යුතුය. එසේ කළ නොහැකි නම් PVC හෝ Aluminium Partition එකකින් වෙන්කර ආරක්ෂිත කලාපයක් සකස් කළ යුතුය. එමෙන්ම Earth Leakage Protection සහිත වෙනම විදුලි පරිපථයක් ලබාදීම සහ හොඳ ජලාපවහන පද්ධතියක් සැලසුම් කිරීම ද අත්‍යවශ්‍ය වේ.
මුළුතැන්ගෙයි ප්ලයිවුඩ් පැන්ට්‍රි කබඩ් ඉක්මනින් දිරා යෑම
ගැටලුව
අපගේ මුළුතැන්ගෙයි පැන්ට්‍රි කබඩ් ප්ලයිවුඩ් බෝඩ් භාවිතයෙන් සාදා ඇත. නමුත් ඉතා කෙටි කාලයක් තුළ බෝඩ් ඉදිමී දිරා යෑමට පටන් ගෙන තිබේ.
විසඳුම
මෙය වර්තමානයේ බොහෝ නිවෙස්වල දක්නට ලැබෙන පොදු ගැටලුවකි. මුළුතැන්ගෙය යනු අධික තෙතමනයක්, වාෂ්පයක් සහ උෂ්ණත්ව වෙනස්වීම් පවතින ස්ථානයකි. ප්ලයිවුඩ් කබඩ් දිරා යෑමට ප්‍රධාන හේතු වන්නේ සින්ක් ආශ්‍රිත ජල කාන්දුවීම්, වාෂ්ප හා තෙතමනය කබඩ් තුළ රැඳීම, අඩු ගුණාත්මක ප්ලයිවුඩ් භාවිතය සහ Edge Banding නිසි ලෙස නොකිරීමය.
අද වන විට මුළුතැන්ගෙයි කබඩ් සඳහා Marine Plywood, Moisture Resistant Board, PVC Board සහ Aluminium Pantry Systems වැනි විකල්ප භාවිත කිරීම වඩාත් සුදුසු වේ. විශේෂයෙන් සින්ක් ආසන්න ප්‍රදේශවල ජලයට ඔරොත්තු දෙන Laminate භාවිත කිරීමත්, කාන්දුවීම් වහාම නිවැරදි කිරීමත් වැදගත් වේ. කබඩ් ඇතුළත වාතාශ්‍රය පවත්වා ගැනීමෙන් ද දිරා යෑමේ වේගය අවම කර ගත හැකිය. මෙවැනි කබඩ් භාවිත කිරීමට හා ඒවා සෑදීමට බොහෝ දෙනකු උනන්දු වන්නේ මෙහි මිල අඩුවීම හා මෙම කබඩ් බාහිරින් බැලූ විට පෙනෙන ආකර්ෂණීය පෙනුම නිසාය. නමුත් මෙවැනි කබඩ්වල කල්පැවැත්ම හා තෙතමනය සඳහා ඔරොත්තු දීමේ හැකියාව අවම වේ.
නිවෙසක් ගොඩනැඟීම සඳහා වැය කරන මුදල ආරක්ෂා කර ගැනීමට නම් නඩත්තුව අනිවාර්යයෙන්ම සැලසුම්ගතව සිදු කළ යුතුය. වහලයේ බදාම සන්ධි, විදුලි පද්ධතිය, ගෘහ උපකරණ සහ මුළුතැන්ගෙයි කබඩ් වැනි අංග, කාලානුරූපව පරීක්ෂා කිරීමෙන් විශාල අලුත්වැඩියා වියදම් වළක්වා ගත හැකිය. හොඳ Maintenance Plan එකක් යනු වියදමක් නොව, නිවෙසේ ආරක්ෂාව, කල්පැවැත්ම සහ වටිනාකම රැකගැනීම සඳහා කරන දීර්ඝකාලීන ආයෝජනයකි.
TEXT – දුමින්ද කාරියවසම්
