මිනිසා යනු ස්වභාවයෙන්ම සමාජ ජීවියෙකි. තනිව ජීවත් වීමට ඔහුට නොහැකිය. පවුල, මිතුරන්, අසල්වැසියන් සහ සමස්ත සමාජය සමඟ පවත්වන සබඳතා මිනිස් ජීවිතය සාර්ථක හා අර්ථවත් කිරීමට විශාල දායකත්වයක් ලබා දෙයි.
එබැවින් සහෝදරත්වය යනු හුදෙක් වචනයක් නොව, යහපත් සමාජයක පදනම ගොඩනඟන අගනා වටිනාකමකි. වර්තමාන ලෝකයේ මිනිසුන් මුහුණ දෙන බොහෝ ගැටලු සඳහා මූලික හේතුවක් වී ඇත්තේ මිනිසුන් අතර ඇති මානුෂීය බැඳීම් දුර්වල වීමයි. එම නිසා ආදරය, එකමුතුකම සහ සහෝදරත්වය නැවත ශක්තිමත් කිරීම අද දවසේ අතිශය කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇත.
ආගමික ඉගැන්වීම් තුළින් සැමවිටම මිනිසාට උගන්වනු ලබන්නේ අන් අය සමඟ සාමයෙන් සහ සහෝදරත්වයෙන් ජීවත් වීමේ වැදගත්කමයි. කතෝලික දහම විශේෂයෙන්ම අවධාරණය කරන්නේ සෑම මනුෂ්‍යයකුම දෙවියන් වහන්සේගේ මැවීමක් බවත්, උන්වහන්සේගේ දරුවකු බවත්ය. ඒ අනුව ජාතිය, ආගම, භාෂාව හෝ සමාජ තත්ත්වය කුමක් වුවද, සෑම අයෙකුටම සමාන ගෞරවයෙන් සහ ආදරයෙන් සැලකීම ක්‍රිස්තියානි ජීවිතයේ අනිවාර්ය අංගයකි. මිනිසා තුළ ඇති භේදභින්න දුරලීමට සහ මනුෂ්‍යත්වය පෙරදැරි කරගෙන කටයුතු කිරීමට ආගමික දහම මගින් සැමවිටම මඟ පෙන්වනු ලැබේ.
අද ලෝකය තුළ තාක්ෂණික දියුණුව කොතරම් වැඩි වුවද, මිනිසුන් අතර තනිකම, මානසික පීඩනය සහ අවිශ්වාසය බහුලව දක්නට ලැබේ. බොහෝ දෙනෙකුට තමන්ගේ දුක බෙදා ගැනීමට හෝ අසීරු අවස්ථාවකදී සහය ලබා ගැනීමට හිතවතෙකු නොමැති බව දැනේ. එවැනි පසුබිමක සහෝදරත්වය යනු මිනිස් ජීවිතයට විශාල ශක්තියක් ලබා දෙන කේන්ද්‍රස්ථානයකි. අන් අයගේ දුක හඳුනා ගැනීම, අවශ්‍ය අවස්ථාවලදී උපකාර කිරීම සහ එකිනෙකා දිරිගැන්වීම තුළින් අපගේ සමාජය වඩාත් යහපත් තැනක් බවට පත් කළ හැකිය. සැබෑ සහෝදරත්වයේ ස්වභාවය වන්නේ අනෙකාගේ ජයග්‍රහණයේදී ප්‍රීතිවීම සහ පරාජයේදී ඔහුට ශක්තියක් වීමයි.
ශුද්ධ බයිබලයේ “එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න” (යොහන් 13:34) යන ජේසුස් වහන්සේගේ වදන් සහෝදරත්වයේ සැබෑ අර්ථය අපට කියා දෙයි. මෙම පණිවුඩය මිනිසාට උගන්වන්නේ අන් අය කෙරෙහි ආදරයෙන්, කරුණාවෙන් සහ ඉවසීමෙන් කටයුතු කිරීමයි. එවැනි ගුණාංග පුද්ගලයකුගේ ජීවිතය පමණක් නොව සමස්ත සමාජයම යහපත් අතට පරිවර්තනය කිරීමට සමත් වේ. ප්‍රේමය යනු ක්‍රියාවෙන් ඔප්පු කළ යුතු දෙයකි.
කතෝලික ජීවිතය තුළ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ සහෝදරත්වය ගොඩනඟන ප්‍රධාන ආත්මික මධ්‍යස්ථානයකි. එය මිනිසා දෙවියන් වහන්සේට සමීප කරනවා පමණක් නොව, එකිනෙකා සමඟ ඇති බැඳීම් ද ශක්තිමත් කරයි. එකම ඇදහිල්ල තුළ එකතු වන බැතිමතුන් අතර ඇතිවන එකමුතුකම, සහයෝගය සහ අන්‍යෝන්‍ය ගෞරවය යහපත් සමාජයක් ගොඩනැගීමට මහත් පිටිවහලක් වේ. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීම යනු ආගමික චාරිත්‍රයකට වඩා, අපගේ ආත්මික ජීවිතය අලුත් කරගන්නා අත්දැකීමකි. එම නිසා දිව්‍ය සත්ප්‍රසාදය තුළින් පෝෂණය වන සහෝදරත්වය දේවස්ථානයේ සීමාවෙන් ඔබ්බට ගොස්, සමාජයේ විවිධ තරාතිරම්වල සිටින ජනතාව අතර පැතිර යා යුතු වටිනාකමකි.
වර්තමාන තරුණ පරපුර සඳහා ද සහෝදරත්වයේ වටිනාකම අවබෝධ කර ගැනීම අතිශයින් වැදගත් වේ. සමාජ මාධ්‍ය සහ නවීන තාක්ෂණය මිනිසුන් සම්බන්ධ කළද, සැබෑ මානුෂීය සබඳතා බොහෝ විට දුරස් වී යන බව පෙනේ. තිරය පිටුපස සිට හුවමාරු කරගන්නා පණිවුඩවලට වඩා, එකිනෙකාගේ දෑස් දෙස බලා කතා කිරීම සහ සැබෑ අවබෝධය ගොඩනඟා ගැනීම අත්‍යවශ්‍ය වේ. එවැනි පසුබිමක අන් අයගේ හැඟීම්වලට ගරු කිරීම, අවශ්‍ය අවස්ථාවලදී එකිනෙකාට ශක්තියක් වීම සහ සමාජ වගකීම් ඉටු කිරීම තුළින් සැබෑ සහෝදරත්වය ගොඩනැඟිය හැකිය. එය අනාගතයේ වඩාත් සාමකාමී සහ සමෘද්ධිමත් සමාජයක් බිහිකිරීමට ද මඟ පාදයි.
එමෙන්ම පවුල යනු සහෝදරත්වය ආරම්භ වන මූලික පාසලයි. මවුපියන්, දරුවන් සහ ඥාතීන් අතර ඇති ආදරය, ගෞරවය සහ අවබෝධය මගින් සමාජයට යහපත් පුරවැසියන් බිහි වේ. පවුල තුළ ගොඩනැගෙන එම යහපත් වටිනාකම් පසුව සමාජය පුරා ව්‍යාප්ත වන අතර, ඒවා මිනිස් සබඳතා ශක්තිමත් කිරීමට විශාල මෙහෙයක් ඉටු කරයි. අප සමාජයේ අත්තිවාරම දමනු ලබන්නේ පවුල් ඒකකය තුළය.
සහෝදරත්වය යනු ආගමික ස්ථානවලට හෝ විශේෂ උත්සව අවස්ථාවලට පමණක් සීමා වූ වටිනාකමක් නොවේ. එය දෛනික ජීවිතයේදී ක්‍රියාවට නැංවිය යුතු ජීවන දර්ශනයකි. පවුල තුළ එකිනෙකාට ඇහුම්කන් දීම, අසල්වැසියන් සමඟ සුහදව කටයුතු කිරීම, අවශ්‍යතා ඇති පුද්ගලයන්ට උපකාර කිරීම සහ අමනාපකම් දුරු කර සමාව දීමට පුරුදු වීම තුළින් මෙම වටිනාකම ප්‍රායෝගිකව ජීවත් කළ හැකිය. බොහෝ විට අප නොදන්නා අසල්වැසියන් සමඟ හෝ සිනහවකින් සහ සුහද වචනයකින් සහයෝගීතාවය ඇරඹිය හැකිය. එවැනි කුඩා ක්‍රියා මගින් සමාජයේ විශාල යහපතක් ඇති කළ හැකිය.
අර්ථවත් ජීවිතයක් ගත කිරීම යනු තමන්ගේ සාර්ථකත්වය පමණක් සොයා යාම නොවේ. අන් අයගේ ජීවිතවලට ද ආලෝකයක් වීම එහි වැදගත් කොටසකි. කරුණාවන්ත වචනයක්, උපකාරක ක්‍රියාවක් හෝ දිරිගැන්වීමේ සිනහවක් වුවද තවත් කෙනකුගේ ජීවිතය වෙනස් කිරීමට සමත් වේ. මනුෂ්‍යයකු වශයෙන් අපගේ සැබෑ සාර්ථකත්වය මනිනු ලබන්නේ අප විසින් වෙනත් අයෙකුගේ ජීවිතය කෙතරම් දුරට යහපත් කළාද යන්න මතය. එබැවින් සහෝදරත්වය යනු අප සමාජය තුළ බෙදාහදා ගත යුතු වටිනාම දායාදයයි.
අද ලෝකයට අවශ්‍ය වන්නේ බෙදීම් නොව එකමුතුවයි. වෛරය නොව ආදරයයි. තරගය පමණක් නොව සහයෝගයයි. මෙම වටිනාකම් ජීවිතයට එක් කරගත් විට පුද්ගලයාට පමණක් නොව මුළු සමාජයටම යහපත උදා වේ. ඒ නිසා සහෝදරත්වය යනු අර්ථවත් ජීවිතයකට මඟ පෙන්වන අගනා මාර්ගයක් බව නොඅනුමානය. මෙම උතුම් වටිනාකම අප සැමගේ ජීවිතයේ දිනපතාම පිළිබිඹු කරමින්, එකිනෙකාට ආදරය කරන සාමකාමී සමාජයක් ගොඩනැගීමට අදිටන් කර ගනිමු. අප සැම දෙනාම එකිනෙකාගේ ශක්තියක් වෙමු.
TEXT – දුමින්ද කාරියවසම්
