කලාව හැදෑරීමෙන් මිනිස් ජීවිතයට ලැබෙන වටිනාකම් මෙතෙකැයි කියා නිම කළ නොහැක්කේ, පුද්ගල ජීවිතය වඩාත් සමබරව පවත්වා ගැනීමට ඉන් ලැබෙන දායකත්වය සුවිශේෂී බැවිනි. නමුත්, වර්තමාන තාක්ෂණික දියුණුව හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය මෙන්ම විනෝදාංශ පවා ඩිජිටල් තිරවලට සීමා වීම සුලබ දසුනක් වී හමාරය. මේ හේතුවෙන් දරු පරපුර තුළින් සෞන්දර්යාත්මක හැඟීම් සහ සංවේදිතාව ගිලිහෙමින් පවතී. මෙවැනි වටපිටාවක, ඩිජිටල් රාමුවෙන් මිදී දරුවන් නර්තනය වැනි ක්‍රියාශීලි කලාවකට යොමු කිරීම කායික හා මානසික සෞඛ්‍යය සුරැකෙන නීරෝගි පරපුරක් බිහිකිරීම වෙනුවෙන් ඇති ප්‍රශස්තම විකල්පයයි.
තාක්ෂණයට මැදි වී දරුවන්ගෙන් වියැකී යන මේ සෞන්දර්ය රුචිකත්වය, යළිත් ඔවුන් වෙත අර්ථාන්විතව දායාද කිරීමට වෙහෙසෙන අපූර්ව ගුරු දෙපළක් අපට පසුගියදා හලාවත ප්‍රදේශයෙන් හමු විය. ඔවුහු පුරා දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ තම දහඩිය මහන්සියෙන් මුතුපුරයේ වෙසෙන දූදරුවන්ගේ නර්තන කුසලතා ඔපවත් කරමින්, පුත්තලම් දිස්ත්‍රික්කයට මෙන්ම සමස්ත ජාතියටම අපරිමිත සේවයක් සලසති. නමින් තුෂාර ජයසිංහ සහ නිලන්ති දසනායක වන මේ ආදර්ශවත් ගුරු යුවළ, ජීවන ගමන් මඟෙහි මෙන්ම කලා ලොවේද එකිනෙකා අත්වැල් බැඳගනිමින් සිදු කරන මෙහෙවර අතිවිශිෂ්ටය.
මෙම ගුරු යුවළ යටතේ නර්තනය හදාරා අබිසෙස් ලබන දූදරුවන්ගේ පූජනීය උත්සවයක් පසුගියදා හලාවත ශ්‍රී විජයාරාම විහාරස්ථානයේදී පැවැත්විණි. ඒ, සංඛ භවන කලායතනය මඟින් 14 වැනි වරටත් සංවිධාන කළ “හිස වෙස් සහ ශීර්ෂාභරණ පැලඳවීමේ මංගල්‍යයයි”. සාම්ප්‍රදායික නර්තනයට දරුවන් යොමු වීම අල්ප වෙමින් පවතින යුගයක, උඩරට නර්තන සම්ප්‍රදායේ ඉහළම කඩඉමක් පසු කළ දූදරුවන් උදෙසා පැවැත්වුණු මෙම විචිත්‍ර උත්සවය සුවිශේෂී වේ. එය පුරාණ චාරිත්‍ර වාරිත්‍ර සහ වත්පිළිවෙත් ඒ අයුරින්ම ඉටු කරමින් සම්ප්‍රදායට උපරිම ගෞරවය දැක්වූ අගනා පුණ්‍යකර්මයකි.
දරුවන් පේවීමේ සිට ඔවුන්ගේ වස්ත්‍රාභරණ හා ඇඳුම් පැලඳිය යුතු ආකාරය සහ ඇඳුම් කට්ටල පේකිරීමේ (හඟල පේකිරීමේ) කටයුතු දේශීය සංස්කෘතියට හා ආගමානුකූල වතාවත්වලට අනුකූලව සිදුවනු දැකගත හැකි විය. වර්තමානයේ මෙවැනි සාම්ප්‍රදායික මංගල්‍යයක් දැක ගැනීමට ලැබීම පවා දුර්ලභ භාග්‍යයකි. මන්ද, එය අප අතරින් වියැකී යන දේශීය උරුමයන් රැක ගැනීමේ වගකීම සමාජය තුළ ජනිත කරවන බැවිනි. හිස වෙස් පැලඳවීමේ උත්සවයට පසුදින, බෞද්ධයන්ගේ මුදුන්මල්කඩක් බඳු වූ රුවන්වැලි මහා සෑ රදුන් අබියස පෙරහර මංගල්‍යයක් පවත්වා, දරුවන් සිය මංගල නර්තන දක්ෂතා පූජා කිරීමද සිත නිවන දසුනක් විය.
දරුවකු මෙවැනි උසස් ශාස්ත්‍රීය මට්ටමකට ඔසවා තැබීම සුළුපටු කාර්යයක් නොවේ. ඒ සඳහා කැපවිය යුතු ගුරු ශ්‍රමය මෙතෙකැයි කිව නොහැකිය. වර්තමානයේ දරුවන් සෞන්දර්ය විෂයන්ගෙන් ඈත්වීමේ ප්‍රවණතාව පිළිබඳව මේ ගුරු දෙපළ දැක්වූයේ මෙවන් අදහසකි.
“ඇත්තෙන්ම අද දරුවන් සෞන්දර්ය අංශවලට යොමුවීම ශීඝ්‍රයෙන් අඩු වෙනවා. තාක්ෂණික දියුණුවත් එක්ක අනාගතය භාරගන්න ඉන්නේ ඩිජිටල්කරණය වූ දරුවන් පිරිසක්. ඔවුන් තුළ සජීවී වේදිකා අත්දැකීම් නැහැ; තිරය ඉදිරියේ කරන අනුකරණයන් පමණයි තියෙන්නේ. මෙය දරුවන්ගේ කායික හා මානසික සෞඛ්‍යයට විශාල තර්ජනයක්. තාක්ෂණයේ හිණිපෙතටම ගියත්, සෞන්දර්යාත්මක විෂයන්ගෙන් ගිලිහුණු දරුවකුට ජීවිතයේ සමබරතාව රැකගන්න අපහසුයි.”
නර්තනය යනු හුදු රිද්මයානුකූල චලනයක් පමණක් නොවේ. නර්තන පියවර මතක තබා ගැනීම තුළින් දරුවන්ගේ ධාරණ ශක්තිය සහ අවධානය ඉහළ යයි. දරුවෙකු ස්වතන්ත්‍ර නර්තන නිර්මාණයක නියැළෙන විට, විවිධ චලනයන් ගැළපෙන අයුරින් යොදමින් නිර්මාණශීලිව ගැටලු විසඳීමේ හැකියාව ඉබේම ප්‍රගුණ කරයි.
නර්තනයේ යෙදෙන දරුවන් ගණිතය සහ විද්‍යාව වැනි විෂයන් සඳහාද ඉහළ දක්ෂතා පෙන්වන බවත්, රිද්මයානුකූල චලනයන් භාෂා වර්ධනයට මෙන්ම සාක්ෂරතාවයට උපකාරී වන බවත් විද්වත් මතයයි. එමෙන්ම, සජීවී වේදිකාවක් මත ඉදිරිපත් කිරීම් කරන දරුවන්ගේ ආත්ම විශ්වාසය සහ පෞරුෂ වර්ධනය වේගවත් වේ. වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි මානසික පීඩනයන් ශාරීරික චලන හරහා මුදාහැරීමට අවස්ථාව ලැබීම නිසා දරුවන් කාංසාව සහ ආතතියෙන් මිදෙයි. සමූහ නර්තන මඟින් අන්‍යෝන්‍ය ගරුත්වය සහ සහයෝගිතාව වර්ධනය වන අතර, අඛණ්ඩ පුහුණුව තුළින් දරුවා තුළ ඉවසීම සහ විනය නිර්මාණය වේ.
එබැවින්, තාක්ෂණය පසුපසම හඹා යෑමට දරුවන් පෙලඹෙන්නේ ඇයිදැයි මවුපියන් සිතා බැලිය යුතුය. ජාතියක් ලෙස අනාගත පරපුර කායික, මානසික සහ සංස්කෘතික වශයෙන් පෝෂිත, පරිපූර්ණ මිනිසුන් ලෙස සමාජගත කිරීමට නම්, වගකීම්සහගත මවුපියන් මෙන්ම වගකිවයුතු සියලු පාර්ශ්වයන් ද සෞන්දර්ය විෂයන්හි ඇති අනුපමේය වැදගත්කම හඳුනාගෙන කටයුතු කළ යුතු කාලය එළඹ ඇත.
ලාභ පරමාර්ථ සහ මුදල් පසුපස හඹා නොයන මේ ගුරු දෙපළ, දක්ෂතා ඇති දරුවන්ට හැකි සෑම අයුරින්ම අතහිත දෙමින් කටයුතු කරති. එදා කොළඹට පමණක් සීමා වී තිබූ ජාතික මට්ටමේ නර්තන සම්මාන පුත්තලම වැනි දුෂ්කර දිස්ත්‍රික්කයකට දිනා දීමට ඔවුහු උරදුන්හ. මේ නිසාවෙන්ම 2007 වසරේ සිට ළමා මුද්‍රා නාට්‍ය සහ නර්තන අංශයේ ජාතික ජයග්‍රහණ රැසක් කොළඹින් හලාවතට රැගෙන ඒමට ඔවුන්ට හැකි විය. එසේම 2015 වර්ෂය දක්වාම ළමා හා වැඩිහිටි අංශවල රාජ්‍ය මට්ටමේ විශිෂ්ට සම්මාන රැසක් උරුම කරගැනීමට මෙම ගුරුහරුකම් මහෝපකාරී විය.
තුෂාර ජයසිංහ ගුරු පියාණන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ලලිත කලාවේදී (ගෞරව) උපාධිධරයකු වන අතර, ඉන්දියාවේ භාත්ඛණ්ඩ ලක්නව් විශ්වවිද්‍යාලයෙන් “කතක් විශාරද” ගෞරව සම්මානයෙන්ද පිදුම් ලබා ඇත. වෘත්තීය ජීවිතයේදී ඔහු රණවිරු සේවා අධිකාරියේ වර්තමාන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරයි.
නිලන්ති දසනායක ගුරු මෑණියන් කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල විශේෂ ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය සහ සිංහල ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති අතර, භාත්ඛණ්ඩ ලක්නව් විශ්වවිද්‍යාලයෙන් “භරත නාට්‍යම් විශාරද” ගෞරව උපාධිය හිමිකරගෙන ඇත. ඇය දැනට වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයේ සහකාර විදුහල්පතිනියක ලෙස සේවය කරයි.
තමන් නියැළෙන වෘත්තීය ක්ෂේත්‍රයන් හරහා රටට කරන මෙහෙවරට අමතරව, ඔවුන් සිය මුළු ජීවිතයම කලාව වෙනුවෙන් කැප කර ඇත්තේ දූදරුවන්ගේ සහජ දක්ෂතා මතු කරගැනීමේ උදාර අරමුණෙනි. මීට වසර 28කට පෙර ඔවුන් ආරම්භ කළ “සංඛ භවන” කලායතනය හරහා මෙරට කලා ක්ෂේත්‍රයට දායාද කර ඇති නර්තන මිණිකැට සංඛ්‍යාව අප්‍රමාණය.
TEXT – හර්ෂණී අර්සකුලරත්න
