Monday, June 15, 2026
Epaper
Home Highlightsඅම්මාගේ වියෝව මගේ ජීවිතයේ සුවිසල් හැරවුම් ලක්ෂ්‍යයක්

අම්මාගේ වියෝව මගේ ජීවිතයේ සුවිසල් හැරවුම් ලක්ෂ්‍යයක්

ප්‍රවීණ ලේඛිකා කැත්ලීන් ජයවර්ධන

by Shanaka Lakehouse

බලන් කඩතුරා හැර දෑසේ, අකාල යාත්‍රා, ධාරා, මහසෙන්, කළු සුදු ඇතුළු සාහිත්‍ය ග්‍රන්ථ රැසකින් සාහිත්‍යලෝලීන් ආමන්ත්‍රණය කළ ඇය සිංහල සාහිත්‍යය ආලෝකත් කරන ප්‍රදීපාලෝකයක්යැයි කිව හැකිය. කැත්ලීන් ජයවර්ධන නමින් සිංහල සාහිත්‍යයේ කිරුළු පවන් නමක් හිමි ඇය මෙවර තරුණී අම්මාවරුනේ වේදිකාවට ගොඩ වැදුණේසිය මෑණියන් ගැන සෙනෙහබර කතාන්දර රැසක් අප හමුවේ තැබීමේ අරමුණිනි. මේ කැත්ලීන් ජයවර්ධන නම් ප්‍රවීණ ලේඛිකාව සිය මෑණියන් ගැන කියන රසබර කතාන්දරයයි.

මගෙ අම්මාගේ නම ගාල්ලගේ හෙලන් විජේරත්න. අද මං ලේඛන කලාවේ කිසියම් තැනක ඉන්නවා නම් ඒ සඳහා මුල්ම ආධාරය දුන්නේ අම්මා. මං පුංචි කාලේ මගේ අම්මා මට කතාන්දර කියා දුන්නා. මං පොත්වලින් හෙව්වේ ඒ කතන්දරවල රසයයි. ඒ කතාන්දර හුදු සුරංගනා කතා නොවේ. ඒවා සියල්ලක්ම පාහේ බුද්ධිය වැඩෙන කතන්දර ලෙස පෙන්වා දිය හැකියි. ඒ හරහා මං පුංචි කාලේ ඉඳන්ම ‌ජීවිතයට බොහෝ දේ ඉගෙන ගත්තා. එය මගේ ලේඛන ජීවිතයටත් මූල බීජයක් වුණා කිව්වොත් අතිශයින්ම නිවැරදියි.

අම්මා කියාදුන් කතාන්දරවල රසය නිසා මං වයස අවුරුදු තුනේ සීමාවේදීම කතාන්දර පොත් කියන්නට හුරු වුණේ නිරායාසයෙන්. මං අකුරු ඉගෙන ගන්න උනන්දු වුණෙත් කතාන්දර ඉගැන්වීමේ බලවත් ආසාව නිසා බව කිව යුතුයි. ඒ නිසා මං අඩු වයසෙන්ම කියවන්නට හුරු වුණා. ඉස්කෝලේ මුලින්ම ඇතුළ් විය යුතු හෝඩියේ පන්තියට නොගිහින් පළමු වසරට කෙළින්ම ඇතුළ් වන්නට මට එයින් අවස්ථාව ලැබුණා. ඒ සඳහා පසුබිම සැකසුවේ මගේ අම්මා.

අම්මා ගුරුවරියක් නොවේ. ඒත් ඇය නිරතුරුවම කියවීම හරහා ඉගෙනීම සිදු කළ කාන්තාවක්. එදා අපේ ගෙදර, දිනපතා දිනමිණ සහ ඩේලි නිව්ස් පත්තර දෙක මිල දී ගන්නවා. අ‌පේ තාත්තා ඩේලි නිව්ස් පත්තරය කියවද්දී අම්මා කියෙව්වේ දිනමිණ පුවත්පත. ඉතින් දිනපතා පුවත්පත්, පොත් පත්, නවයුගය, රසවාහිනි වැනි සඟරා කියවීම හරහා අම්මා‌ සිය දැනුම වර්ධනය කරගෙන තිබුණා. අම්මා නිතරම වගේ මට පොත් ගෙනැවිත් දුන්නා. මට ඇය මුලින්ම ගෙනැත් දුන්නේ “දුකට සැප” නම් පොත. එය අම්මා මට ගෙනැත් දුන්‌නේ මං යන්තම් අකුරු කියවන කාලයේදීයි. ඒ දවස්වල අපහසුවෙන් හෝ කියවමින් මං ඒ පොත බොහෝ රස වින්දා.

ඒ වගේම අපේ අම්මායි තාත්තායි නිතරම මාව චිත්‍රපට සහ නාට්‍ය බලන්නට එක්කරගෙන ගියා. ඔවුන් දෙදෙනා කලා ශීල්ප‍ීන් නොවුණත් කලාව රසවිඳීමේදී ඔවුන්ට ඒ සමඟ තිබුණේ සමීප ගනුදෙනුවක්. ඉතින් ඒ විදිහට සංගීතය, සිනමාව, වේදිකාව සමඟ අපේ පවුලට ලොකු ගනුදෙනුවක් තිබුණා. ඇත්තටම පතපොත කියවීම හෝ ලේඛනය හැදැරීම හරහා පමණක් ලේඛකයෙක් බිහි වන්නේ නෑ. ඒ සඳහා කලාව ඇතුළු බොහෝ අංශවල සාමාන්‍ය දැනුමක් තිබිය යුතුයි. ඉතින් පුංචි කාලේ ඉදන්ම ලේඛිකාවක් වන්නට මට ඒ දැනුම මවුපියන්ගෙන් ලැබුණා.

අම්මා නිතරම මට ලොකු නිදහසක් දුන්නා. ඇය මට පාඩම් කරන්නැයි කවදාවත්ම බල කළේ නෑ. ඇය මගේ මානසික නිදහස වෙනුවෙන් බොහෝ සේ කැප වුණා. මම සාමාන්‍ය පෙළ විභාගය ලියද්දී මට විභාගය තිබුණේ සතියේ සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල. ඉතින් බදාදා විභාගය තියෙද්දී අම්මා මාව අඟහරුවාදාට චිත්‍රපටයක් බලන්නට එක් කරගෙන ගිය හැටි මට මතකයි. ඒ හරහා ඇය විභාගයට සූදානම් වීමට අවශ්‍ය මානසික නිදහස මගේ මනසේ සකස් කළා.

ඇතැම් දවස්වල මං කෝච්චියේ යන්නට ආසයි කිව්වාම අම්මා ඒ ආසාව කෙසේ හෝ ඉටු කරනවා. ඉතින් ඇය මාව වාහනයක පිටකොටුවට එක් කරගෙන ගිහින් පුංචි කෝච්චියෙන් නුගේගොඩට එක් කරගෙන එන්නේ මගේ ආසාව ඉටු කිරීමටයි. ඉතින් මං දකින ලෝකයේ ඒ් වගේ අම්මා කෙනෙක් මටමුණ ගැහිලා නෑ.

ඇත්තටම මට මුරණ්ඩු වෙන්න දෙයක් තිබුණේ නෑ. ඉල්ලන ඉල්ලන හැම දෙයක්ම ම‌ගෙ අම්මා තාත්තා මට ලබා දුන්නු නිසා මං කවදාවත්ම මුරණ්ඩු නොවෙන්න ඇතැයි මා විශ්වාස කරනවා.

අද කාලේ ළමයින් උපකාරක පන්තිවලට දුවනවා වගේ කලබලකාරී ජීවිතයක් මට තිබුණෙත් නෑ. අපේ තාත්තා වැඩ කළේ කොම්පඤ්ඤවීදියේ තැපැල් ස්ථානාධිපති ලෙස. ඉතින් ඒ කාලේ ඒ ආසන්නයේ තිබුණු ඇන්ඩර්සන් කොලිජියට මාව ඇතුළ් කළා. ඉතින් ඒ පාසලේ ළමයි එක්ක මට ඉගෙන ගන්න බෑ කියලා මං කියද්දී අම්මා මාව ඒ පාසලෙන් ඉවත් කරගෙන වෙනත් පාසලකට දැම්මේ කිසිදු පැකිළීමකින් තොරවයි. අම්මා ඒ විදිහට නිතරම මගේ ආසාවට ඉඩ දුන්නා. මගෙ මනසට වදයක් වෙන විදිහේ කිසිවක් ඇය සිදු කළේ නෑ. ඉතින් පුංචි කාලේ මේ විදිහට මා ලැබූ මානසික නිදහස සැබැවින්ම මගේ ලේඛන කලාවට පන්නරයක් වුණා.

අම්මා ජීවත් වුණේ මගේ ජීවිත කාලයේ බොහෝම කෙටි කාලයක්. මට අවුරුදු දහහතක් වෙද්දී ඇය මෙලොවින් සමු ගන්නවා. ඒ කාලයේ මං පාසල් අධ්‍යාපනය ලබමින් සිටියා. එය මගේ ජීවිතයට ලොකු වේදනාවක් වුණා. ඒත් මං ලෝකය හඳුනා ගත්තේ අම්මාගේ වියෝවෙන් පසුව කිව්වොත් වැරදි නෑ. අම්මා ජීවත් වුණු කාලයේ අම්මාගේ බලය සහ ආදරය තුළ මුළු ලෝකයක්ම මට ළැදිව හිතවත්ව මගේ ළඟින්ම හිටියා. එතැනින් පස්සේ මිනිස්සු යනු කවුරුන්දැයි මට අවබෝධයක් ලැබුණා. බලය ඇති තැනට මිනිස්සු රොක් වන බව මං තේරුම් ගත්තේ අම්මාගේ වියෝවෙන් පසුවයි. ඉතින් අම්මාගේ වියෝව මගේ ජීවිතයේ විශාල හැරවුම් ලක්ෂ්‍යයක්.

සිය මව සතු ගුණාංග දියණියක ලෙස ඇයට දායාද වී ඇති ආකාරය ගැන කැත්ලීන් ජයවර්ධන පළ කළේ මෙවන් අදහසකි.

අපේ ඥතින් පවා නිතරම කිව්වේ දරුවකුට මෙතරම්ම ආදරය කළ මවක් ඔවුන් නුදුටු බවයි. මට උණක් වැනි සාමාන්‍ය අසනීපයක් වුණත් අම්මා රෑ එළිවන තුරු අවදියෙන් ඉන්නවා. අපේ ගෙදර මෙහෙකරුවන් සිටියත් ඉවුම් පිහුම් කටයුතු සියල්ල කළේ අම්මා. අම්මාගේ කෑම අතිශය රසවත්. සැබැවින්ම අපේ අම්මාගේ මඟ යමින් අපේ ගෙදර ඉවුම් පිහුම් කටයුතු සියල්ල කරන්නෙත් මා විසින්මයි. ඇත්තටම හොඳ නිර්මාණකරුවෙක් ලියන ලේඛනවලින් පමණක් නොව උයන ඉවුම් පිහුම්වලිනුත් සොයන්න පුළුවන්යැයි මා විශ්වාස කරනවා. නිසි පදමට යොදන අදහස් සංයෝගයෙන් ලස්සන ලේඛනයක් බිහි වෙනවා වගේ නිසි පදමට තුන පහ නොදැම්මොත් රසවත් හොද්දක් හැදෙන්‌නේ නෑ. නිර්මාණකරුවෙක් බිහි වන්නට පෑන, පරිගණකය පමණක් නොව ලෝකයේ තිබෙන බොහෝ දේ සංයෝග විය යුතුයැයි මා විශ්වාස කරනවා.

ආගන්තුක සත්කාරයත් මට අම්මාගෙන් ලැබුණු ගුණාංගයක් ලෙස දැක්විය හැකියි. ඒ වගේම ආදරය, කරුණාව වගේම සත්ත්ව කරුණාව කියන දේත් මට අම්මාගෙන් ලැබුණු ගුණාංගයක්.

ජීවිතයේ ප්‍රශ්න නොදැනෙන තරමට කුඩා කල අම්මා විසින් තමාව හැදූ වැඩූ ආකාරය ගැන ඇය මෙසේ අදහස් පළ කළාය.

මගේ ජීවිතයේ ප්‍රශ්න පිළිබඳව මට වැටහෙන්න ගත්තේ අවුරුදු දහහතෙන් පස්සේ. ඒ කියන්නේ අම්මාගේ වියෝවෙන් අනතුරුව. එතෙක් ලෙඩක් දුකක් හැදුණොත් හැර අපේ අම්මා මාව ආරක්ෂා කළේ කිසිදු ප්‍රශ්නයක් මට නොදැනෙන ආකාරයෙන් කිව්වොත් මං නිවැරදියි. ඉතින් ඒ කාලයේ එවන් ප්‍රශ්නයක සේයාවක් හෝ මට මතක නෑ. ඇත්තටම අපේ අම්මා තාත්තා අතර පවා තිබුණේ අතිශය ගෞරවනීය බැඳීමක්. ඉතින් ඔවුන් දෙදෙනා අතර පවා කිසි දි‍ෙනක ප්‍රශ්න මතු වී නෑ. ‍

සිය ලේඛන කලාවෙහි අම්මාට හිමි වූ ස්ථානය ගැන ලේඛිකාවක ලෙස ඇය ප්‍රකාශ කළේ මේ ආකාරයෙන්.

මං මගේ පළමුවැනි පොත ලියන්නෙත් අම්මා නැති වුණාට පස්සේ අම්මා නැතිවුණු අවුරුද්දෙමයි. මම කවදාවත්ම අම්මාව ඔළුවේ තියාගෙන ලියලා නෑ. ඒ්ත් ලේඛන කටයුතුවල මවු ගුණය ගැන කතා කරද්දී මට මගෙ අම්මාව මතක් වෙනවා. ඒත් අම්මාව ප්‍රස්තුත කරගෙන මං රචනාවක්වත් ලියලා නෑ. සැබැවින්ම අම්මා කියන්නේ පරිත්‍යාගය කියන වචනයේ එකම ජීවමාන රූපයයි. අම්මාගේ පරිත්‍යාගය යන්න මං ආදරය හෝ ප්‍රේමය යන වචන යොදා නිර්වචනය කරන්නේ නෑ. ස්ත්‍රී පුරුෂ ආදරය, ප්‍රේමය තත්පරයකින් වෙනස් විය හැකියි. ඒත් අම්මාගේ ආදරය ලෝකය පෙරළුණත් වෙනස් වන්නේ නෑ. මෙතරම් දියුණු තාක්ෂණයක් සහිත ලෝකයක මවු කිරිවලට සමාන පිටිකිරි වර්ගයක් නිර්මාණය කරන්නට නොහැකි වී ඇත්තේද ඒ නිසා බව මගේ විශ්වාසයයි.

 

 

TEXT – ආර්. පී. මිහිරාන්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?