වර්ණවත් පත්‍ර සහිත ඇන්තූරියම් (Foliage Anthurium) වගාව ශ්‍රී ලංකාවට ගැළපෙන නවතම මල් වගා විලාසිතාව.
මෙරට මල් වගා ක්ෂේත්‍රය ගැන කතා කිරීමේදී අපට බොහෝ අවස්ථාවල දී දක්නට ලැබෙන ඇන්තූරියම් වර්ගය වන්නේ වර්ණවත්, හදවතේ හැඩය ගන්නා කොලපුවක් සහ දිගු කෙමියක් සහිත ඇන්තූරියම් ඇන්ඩ්‍රේනියම් (Anthurium Andraeanum) ලෙස හඳුන්වන වර්ගයයි. මෙය ලෝකය පුරා ‘ෆ්ලෙමින්ගෝ මල’ (Flamingo Flower) ලෙසද හඳුන්වනු ලබයි. ඇරේසියේ (Araceae) කුලයට අයත්, වර්ණවත් මල් සහිත මෙම වර්ගය ලොව පුරා මෙන්ම ලාංෙක්ය ගෘහිණියන් සහ මල් වගාකරුවන් අතර අතිශය ප්‍රචලිතය. එකිනෙකට වෙනස් වර්ණ හා හැඩතල ගන්නා මෙවැනි මල් සහිත
ඇන්තූරියම් වර්ග දහස් ගණනක් අප රට තුළ වර්තමානයේ දැකිය හැකිය.
කෙසේ වෙතත්, වර්තමාන මල් වගා ක්ෂේත්‍රයේ අලුත්ම පෙරළියක් සිදු කරමින්, මල් සඳහා පමණක් නොව, වර්ණවත් සහ ආකර්ෂණීය කොළ සහිත ඇන්තූරියම් (Foliage Anthurium) වර්ග සඳහා ලෝකය පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද ඉතා ඉහළ ඉල්ලුමක් සහ ප්‍රසිද්ධියක් ගොඩනැඟෙමින් පවතී. නිවෙස ඇතුළත අලංකරණයට (Indoor Gardening) කදිමට ගැළපෙන මෙම ශාක, ඒවායේ ඇති අද්විතීය පත්‍ර හැඩතල, නාරටි රටා සහ විවිධ වර්ණ නිසාම විසිතුරු ශාක ලෝලීන්ගේ දැඩි ආකර්ෂණයට ලක්ව ඇත.
Foliage Anthurium යනු මොනවාද?
සාමාන්‍ය ඇන්තූරියම් ශාක මල්වල සුන්දරත්වය නිසා කැපී පෙනෙන අතර, Foliage Anthurium ශාක කැපී පෙනෙන්නේ ඒවායේ ඇති අතිශය මනරම් පත්‍ර (Leaves) නිසාය. මෙම පත්‍ර විවිධ හැඩයන්ගෙන්, ප්‍රමාණයන්ගෙන් මෙන්ම විවිධ වයනයන්ගෙන් (Textures) යුක්ත වේ. සමහර පත්‍ර වෙල්වට් රෙද්දක් මෙන් මෘදු වන අතර, සමහරක් ඝන තද සම් ස්වභාවයක් (Leathery) ගනී. මෙම ශාකවල මල් හටගත්ත ද, ඒවා සාමාන්‍ය ඇන්තූරියම් මල් මෙන් වර්ණවත් නොවන අතර කොළ පැහැති හෝ දුඹුරු පැහැති කෙමියකට පමණක් සීමා වේ. එබැවින් මෙම ශාකවල සැබෑ වටිනාකම රැඳී ඇත්තේ එහි පත්‍ර මතය.
ප්‍රචලිත Foliage Anthurium වර්ග කිහිපයක්
ලෝකයේ මෙන්ම ලංකාවේ ද මේ දිනවල ඉහළම මිලකට අලෙවි වන Foliage Anthurium වර්ග කිහිපයක් මෙසේ හඳුනා ගත හැකිය.
වෙල්වට් පත්‍ර සහිත ඇන්තූරියම් රෙගාලේ (Anthurium regale)
මෙය Foliage Anthurium කුලයේ රජා ලෙස සැලකේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ වෙල්වට් (Velvet) ස්වභාවයක් ගන්නා තද කොළ පැහැති විශාල පත්‍ර සහ ඒවා මත ඉතා පැහැදිලිව කැපී පෙනෙන සුදු හෝ ළා කොළ පැහැති නාරටි රටාවයි. පත්‍රයේ හැඩය සහ විශාලත්වය අනුව මේවා විවිධ උප වර්ගවලට බෙදෙන අතර, දිගැටි ප්‍රමාණයෙන් විශාල පත්‍ර සහිත සෞඛ්‍ය සම්පන්න ශාක අද වන විට වෙළෙඳපොළේ අධික මිල ගණන්වලට අලෙවි වේ.
ඇන්තූරියම් ක්‍රිස්ටලිනම් (Anthurium crystallinum)
ලංකාවේ ඉතා ජනප්‍රිය වර්ගයකි. හදවතේ හැඩය ගත් මෙහි පත්‍ර ද වෙල්වට් ස්වභාවයක් ගන්නා අතර, පත්‍රය පුරා විහිදී ඇති රිදී පැහැති (Silver) නාරටි රටාව ස්ඵටිකයක් මෙන් බැබළෙන නිසා මෙයට ක්‍රිස්ටලිනම් යන නම ලැබී ඇත.
ඇන්තූරියම් මැග්නිෆිකම් (Anthurium magnificum)
ක්‍රිස්ටලිනම් වර්ගයට තරමක් සමාන වුවත්, මෙහි පත්‍ර හැඩයෙන් විශාල වන අතර එහි දඬුවල පැහැදිලි චතුරස්‍රාකාර හෝ පියාපත් වැනි හැඩයක් (Square stems) දැකිය හැකිය. මෙහි පත්‍ර ද තද වෙල්වට් කොළ පැහැයෙන් යුක්තය.
ඇන්තූරියම් වොරොකියුආනම් (Anthurium warocqueanum)
මෙය ‘Queen Anthurium’ (ඇන්තූරියම් රැජන) ලෙසද හඳුන්වයි. ඉතා දිගටි, හෙල්ලයක හැඩය ගන්නා තද කොළ පැහැති වෙල්වට් පත්‍ර මෙහි විශේෂත්වයයි. නිසි නඩත්තුවක් ඇතිව වවාගතහොත් පත්‍ර අඩි කිහිපයක් දිගට වර්ධනය වේ. ශ්‍රී ලංකාවේ වර්තමානයේ අධිකම මිලක් පවතින වර්ගයකි.
Foliage Anthurium වගා කරන්නේ කෙසේද?
අප රටේ පවතින උනුසුම් දේශගුණය (Tropical climate) මෙම ශාක වර්ධනයට ඉතා සුදුසුය. කෙසේ වෙතත්, සාමාන්‍ය ඇන්තූරියම් ශාකවලට වඩා මෙම පත්‍ර සහිත ශාක නඩත්තු කිරීමේදී කරුණු කිහිපයක් කෙරෙහි විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.
වගා මාධ්‍යය සකස් කිරීම හා නඩත්තුව ගැන ලබන සතියේ කතාකරමු.
TEXT – මධුර ප්‍රභාත් ගමගේ
