කාර්යබහුල සමාජයක හැල්මේ දුවන අපට මොනයම් හෝ දෙයක් මඟහැරී ඇති බව විටෙක ඔබට සිතෙනවා ඇති. නැවතිලා සිතන විට මඟහැරී ඇත්තේ අපගේ ජීවිතවලට අත්‍යවශ්‍යම යමක් වුවද එය කුමක්දැයි වටහා ගැනීමට තරම්වත් අපගේ මනස නිරවුල් නැත. වර්තමානයේ බොහෝ නිවෙස්වල සැමියා බිරිය දෙතැනකය. දරුවන් තවත් තැනකය. එකම නිෙවසක් තුළ වුවද සිදුවන්නේ කුමක්දැයි එකිනෙකාට අවබෝධයක් නොමැති තරම්ය යන වගවත් නිවෙසේ සිටින දරුවන් දන්නේ නැත.
නිවසට පැමිණෙන පියා තමන්ගේ දරුවන්, බිරිය කරන්නේ කුමක්දැයි සොයන්නේද නැත. මඳක් හෝ සිහියට නැඟෙන්නේ තමාගේ තේ එක හෝ කෑම වේල මඳක් ප්‍රමාද වුවහොත් පමණි. තමන් නිෙවසට පැමිණෙන අවස්ථාවන්හිදී බිරිය පෙරමඟ බලා සිටිය යුතු බවට අපේක්ෂා කරන සැමියන්, බිරිය එසේ නොසිටියහොත් කෝප ගැන්වෙනු වෙනුවට ඇය නිෙවස තුළ වෙනත් අත්‍යවශ්‍ය කාර්යයක නියැලී ඇති බවට සිතා සන්සුන් වීමට තරම්වත් නොහැකි තරමේ ආතතියකින් පෙළෙයි. බිරියක්, මවක් වුවද නිවස තුළ විවිධාකාර වූ කාර්යයන් රැසක් ඉටු කරමින් අධික තෙහෙට්ටුවෙන් සහ පීඩනයෙන් සිටින බවට අමුතුවෙන් මතක් කළ යුතු නැත. ඇය කිසිවිටෙකත් එය පිළිබඳ අවලාද නඟන්නේද නැත.
එසේම තම සැමියා නිෙවසට ආ පසු ආදරෙන් කතා කර ආගිය තොරතුරු නොවිමසන්නට තරම් බිරියත් සැමියාත් දුරස්ථය. දරුවන් රූපවාහිනිය ඉදිරියේය; එසේත් නැතිනම් ජංගම දුරකතනවල කාලය ගත කරයි. එසේත් නැතිනම් තම තමන්ගේ කාමරවලය. එකම නිෙවස තුළ සියල්ලන් තනිවෙලා මෙසේ වන්නේ ඇයි? අප සියල්ලටම මඟහැරී ඇත්තේ ඉතාම සරල කාරණා කිහිපයකි. නිවෙසේ සතුට මුළුමනින්ම රැඳී ඇත්තේ එතැනය. එහෙත් අප ඉතාම සාහසිකව අමතක කර දමා ඇත්තේද එයයි. ඒ මොනවාද?
එකිනෙකාට ගරු කිරීම
ඔබ, මම, අප සැවොම ගරුත්වයට කැමතියි. ගරුත්වයක් ලැබීම නිරතුරුවම අපේක්ෂා කරයි. බිරිය, සැමියා සේම දරුවනුත් එසේමයි. තමන්ගේ බිරියට, සැමියාට, දරුවන්ට කරන ආමන්ත්‍රණය ඉන් ඉතාම වැදගත් තැනක් ගනියි. බිරිය සැමියාට ඔවුන්ගේ නමින් හෝ වෙනත් ආදරණීය වචනයකින් ඇමතීම ඉතාම අත්‍යවශ්‍යයි. එහෙත් බොහෝ දෙනෙක් අදහස් හුවමාරු කරගන්නේ, සංවාදයේ යෙදෙන්නේ ආමන්ත්‍රණයකින් තොරවයි. තමන්ට කීමට ඇති දේ ඔහේ කියාගෙන යනවා මිස සැමියාට, බිරියට ඇයගේ හෝ ඔහුගේ නමින් අමතන්නටවත් බොහෝ අයට නොසිතෙන්නේ ඇයි? ඔබ දුරස් වන්නේ එතැන් සිටය. එබැවින් ඔබ ආදරණීය වන්න; බිරියට, සැමියාට ගරුත්වය ඇතිව ආදරණීය වචනයකින් හෝ නමකින් අමතන්න. ගරු කිරීමේ ආරම්භය ක්‍රමවත් ආමන්ත්‍රණයයි. ඔබේ දරුවන් ඔබට වඩා ළාබාල වුවද ඔවුන්ටද ගරුත්වය ලබා දෙන්න. ආදරණීයව අමතන්න. සතුටේ මූලාරම්භය එතැනයි.
අගය කිරීම
සැමියා, බිරිය, දරුවන් කරන කියන පුංචි දෙයක් වුවද ආදරයෙන් අගය කරන්න; ප්‍රශංසා කරන්න. හවසට එන විට තාත්තා රැගෙන එන්නේ රුපියලක දෙකක ටොපියක් වුවද එයද ආදරයෙන් අගය කිරීමට ඔබ දරුවන්ට කියාදෙන්න. බිරියව අගය කරන්න. ආදරය යනු සිතේ තබාගෙන සිටිය යුතු දෙයක් නොව නිර්ලෝභීව වචනයෙන් පැවසිය යුතු දෙයකි.
හොඳින් සවන් දෙන්න
අද තම තමන්ගේ ලෝකවල තනිවී සිටින නිසා අනෙකාගේ හැඟීම් තේරුම් ගැනීමේ හැකියාවක් නැත. නිෙවසක සාමාජිකයන්ගේ අත්දැකීම්වලට, අදහස්වලට, ආවේගවලට මැදිහත්ව සවන් දීමට පුරුදු විය යුතුය. මවුපියන් අද වෙද්දී කොතරම් කාර්යබහුල වුවත් දරුවන් පවසන දෙයට අවධානයෙන් යුතුව සවන් දෙන බව ඒත්තු ගැන්විය යුතුය. එවිට දරුවන්ට ඔබ ගැන විශ්වාසයක් ගොඩනැඟෙනවා. එවිට ඔවුන් දිනපතා කුමන අත්දැකීම ලැබුවද නිෙවසට පැමිණි පසු එය මවට, පියාට කිව යුතුම බවට පෙලඹෙනවා. කාරණයට සවන් දී අත්‍යවශ්‍යම උපදෙස සහ අදහස ප්‍රකාශ කිරීමට එය ඉතාමත් ප්‍රමාණවත්ය.
අවධානය
අද වන විට නිවෙස්වල නැතිම දෙයකි. නමුත් එය නිරන්තරයෙන් සැලකිලිමත් විය යුතු දෙයකි. සැමියා, බිරිය, විශේෂයෙන් දරුවන් කරන කියන දේ පිළිබඳ අවධානයෙන් සිටිය යුතුය. ඔබගේ අවධානය ඔවුන්ට කිසිසේත්ම කරදරයක් නොවිය යුතුය. ඔවුන්ගේ නිශ්ශබ්දතාවය පිළිබඳ විමසන්න. ඔවුන් සමඟ නිරන්තරයෙන් ගැවසෙන්න. ඔබ ඔවුන්ට ආදරය කරන බව, ඔවුන්ගේ ඕනෑ එපාකම් සොයන බව ඔවුන්ට දැනෙන්නට ඉඩ හරින්න.
සාකච්ඡා කිරීම
නූතන පවුල් ඒකකය තුළ දක්නට ලැබෙන ප්‍රධානතම දුර්වලතාව වන්නේ සාමාජිකයන් අතර ඇති සන්නිවේදන හිඩැසයි. එකම නිෙවසක ජීවත් වුවද, තම හදවතේ ඇති ප්‍රශ්නයක්, සතුටක් හෝ අදහසක් නිදහසේ කතා කිරීමට ඇති අවස්ථාව අද ගිලිහී ගොස් ඇත. පවුලක් තුළ සාකච්ඡාව යනු වචන හුවමාරුවක් පමණක් නොව, එය එකිනෙකාගේ ආත්මයන් හුවමාරුවකි. දරුවකුට තම මවුපියන් සමඟත්, බිරියකට තම ස්වාමියා සමඟත් බියකින් හෝ සැකයකින් තොරව අදහස් බෙදාගත හැකි පරිසරයක් තිබීම අත්‍යවශ්‍ය වේ. තාක්ෂණික මෙවලම්වලට මොහොතකට විරාමයක් දී, මුහුණට මුහුණ බලා කරන අවංක සාකච්ඡාවකින් ඕනෑම විශාල ගැටලුවක් සරලව විසඳාගත හැකිය. සැබවින්ම, පවුලක ශක්තිය රැඳී ඇත්තේ එහි නිශ්ශබ්දතාවය මත නොව, එකිනෙකාට ඇහුම්කන් දෙන සහ තේරුම් ගන්නා පරිසරයකය.
සතුටින් නිදන්න
බොහෝවිට අද වන විට සිදුවන්නේ නින්දට යන මොහොත දක්වාම ජංගම දුරකතන තිරය මත හුදකලා වීම වුවද, සැබෑ සතුට රැඳී ඇත්තේ එතැන නොවේ. නින්දට පෙර පවුලේ අය සමඟ හුවමාරු කරගන්නා “සුබ රාත්‍රියක්” යන ප්‍රාර්ථනය, දරුවකුගේ හිස පිරිමැදීම හෝ දවස පුරා සිදුවූ විශේෂ යමක් ගැන කරන සුහද කතාබහ සිතට මහත් සහනයක් ගෙන දෙයි. හදවතේ පීඩනයක් නැතිව, අන් අය කෙරෙහි ඇති අමනාපකම් දුරු කරමින් සතුටින් නින්දට යාම ශාරීරික සෞඛ්‍යයට මෙන්ම පවුලේ ආත්මීය බැඳීම ශක්තිමත් කිරීමටද හේතු වේ. සැබවින්ම පවුලක් යනු එකම වහලක් යට නින්දට යන පිරිසක් පමණක් නොව, එකිනෙකාගේ සතුට සහ සැනසීම ප්‍රාර්ථනා කරමින් සුවබර නින්දකට සැරසෙන ආදරණීය එකතුවකි.
තාක්ෂණයේ දියුණුව හමුවේ අප කොතරම් කාර්යබහුල වුවද, තම සමීපතමයන් වෙනුවෙන් වෙන් කරන සුළු මොහොත පවා පවුල් සංස්ථාවේ පැවැත්මට මහත් ශක්තියක් වේ. එබැවින්, එකිනෙකාට ඇහුම්කන් දෙමු, විවෘතව සාකච්ඡා කරමු, සිනහවෙන් සහ සතුටින් දවස නිමා කරමු. මන්ද, ලොව සියලු දේ අප අත්හැර ගියද, අවසානයේ අප වෙනුවෙන් ඉතිරි වන්නේ අපේම පවුල පමණක් වන බැවිනි.
TEXT – පියුමි තරුෂීකා කාවින්දි කැලණිය විශ්වවිද්‍යාලය
