දැන් සති දෙකක පමණ කාලයක සිට පටන්ගත් වැසි සහිත කාලගු ණය තවමත් සක්‍රියයි. ඇතැම් විට දවස පුරාම නොනවත්වාම වහින වැස්ස වාගේම වරින් වර ඇද හැලෙන වැස්සත් එදිනෙදා ජන
ජීවිතයට එල්ල කරන්නේ සුළුපටු බලපෑමක් නම් නොවෙයි. මේ වැසි සමයේ පැතිර යන විවිධාකාරයේ ලෙඩ රෝග තත්ත්වයන් නිසා ඇතිවන පීඩාවන් ද බොහෝමයි. විශේෂයෙන්ම කුඩා දරුවන් මෙවැනි කාලවකවානු තුළ ඉතාමත් පහසුවෙන් රෝගී වන අතර ඒවා අනෙක් දරුවන් වෙත පැතිර යාමද ඉතා වේගවත්. මේ පිළිබඳ අප පසුගිය සතියේ ද කතාබහට ලක්කළ අතර මේ දිනවල දරුවන් වැඩිදෙනකු අතරේ පැතිරෙන අජීර්ණ තත්ත්වයන් එහෙමත් නැතිනම් පාචන රෝගී තත්ත්වය ගැන අද අපි කතා කරමු.
දරුවකුට අජිර්ණ තත්ත්වයක් ඇති වූ විට එහි මුලික රෝගී ලක්ෂණය ලෙස පෙන්නුම් කරන්නේ බුරුලට මලපහ පිටවීම සහ මලපහ පිටවෙන වර ගණන වැඩිවීමයි. ඊට අමතරව මඳ උණ, වමනය, ආහාර අරුචිය, බඩේ කැක්කුම වැනි රෝග ලක්ෂණ ද මේ අජීර්ණයත් සමඟම දැකිය හැකියි.
වයිරස් ආසාදන නිසා හටගන්නා අජීර්ණය
දරුවන්ගේ කෙටි කාලීන අජීර්ණ තත්ත්වයන් ගැන කතා කිරීමේදී රෝගී තත්ත්ව කිහිපයක් ගැනම අවධානය යොමු කළ යුතු අතර එයිනුත් වයිරස් ආසාදනය මඟින් ඇතිවන අජීර්ණය හෝ පාචනය පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. මෙහිදී දියර සහිත මලපහ නිතර නිතර සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් පිටවීම දැකිය හැකි අතර ඇතැම් විට මේ මලපහ පෙණ සහිත විය හැකියි. දරුවාට මඳ උණක් තිබුණද සාමාන්‍ය ආකාරයට ක්‍රියාශිලිව කටයුතු කරනු ඇත.
රෝග ලක්ෂණ
මෙලෙස වයිරස් ආසාදනය නිසා ඇතිවන අජීර්ණ තත්ත්වයේ සංකූලතා ලෙස මුලිකවම දැකිය හැක්කේ දරුවා විජලනයට පත්වීමයි. මෙහිදී අජීර්ණය සමඟ අැතිවන වමනය සහ කෑම අරුචිය නිසා දරුවාට ලැබෙන දියර ප්‍රමාණය අඩුවන අතර පිටවන මලපහ හේතුවෙන් ඔහුගේ ශරීරයේ දියර ස්වභාවය අඩු වේ. ඒ නිසා දරුවා ඉතා ඉක්මනින් විජලන ස්වභාවයට පත් වේ. මෙහිදී දරුවාගේ මූත්‍රා පිටවීමේ වාර ගණන අඩුවීම වාගේම මූත්‍රා ප්‍රමාණය අඩුවීමත්, එහි වර්ණය තද පැහැයට හැරීමත් සිදුවිය හැකියි. එවැනි තත්ත්වයක් දක්නට ලැබෙන්නේ නම් හැකි විගස රෝහල්ගත කිරීමට වගබලා ගන්න. ඊට අමතරව දරුවා නිතරම තිබහ යැයි පවසන්නේ නම්, දිගින් දිගටම බීමට යමක් ඉල්ලා සිටින්නේ නම්, මලානිකව පැත්තකට වැටී සිටිනවා නම්, තොල්, මුහුණ, ඇස් ආදිය වියළි ස්වභාවයක් ගන්නේ නම් ඉතා ඉක්මනින් රෝහල්ගත කළ යුතු බව ඔබ මතක තබා ගන්න.
ප්‍රතිකාර
වයිරස් ආසාදනයක් නිසා ඇතිවන පාචනයේ දී බොහෝවිට සිදු කරන්නේ විජලන තත්ත්වය වළක්වා ගැනීමයි. එහිදී පිටවන දියර ප්‍රමාණයට සාපේක්ෂව නැවත නැවතත් දියර ලබාදිය යුතුවේ. මෙලෙස ලබාදෙන දියර ගැන කතා කිරීමේදී ජීවනී තරලය ගැන කතා කිරීම ඉතා වැදගත්. මන්ද මෙවැනි අජීර්ණයකදී ශරීරයෙන් පිටවන දියරවලට අමතරව ලවණ ද පිටවෙන අතර එලෙස පිටවන ලවණ ආදිය ශරීරයේ අැති රසායනික සංයුතියට ඉතා සමානව මේ ජීවනී තරලයේ දැකිය හැකිය. මෙය ශරීරයට ඉතා පහසුවෙන් අවශෝෂණය ද වේ.
ඊට අමතරව කැඳ වර්ග, සුප් වර්ග, තැඹිලි, සුදූරු ආදී පාන වර්ග දරුවාට ලබාදිය හැකියි. එමෙන්ම මේ අවස්ථාවේදී සීනි මිශ්‍රිත පාන වර්ග, පලතුරු යුෂ වැනි දෑ ලබාදීමෙන් වැළකී සිටින්න. මන්ද එමඟින් අජීර්ණ තත්ත්වය තවත් වැඩිවිය හැකි බැවිනි.
මෙවැනි රෝගී දරුවකු නිවෙසේ සිටියදී අනෙක් අය වෙත එය පැතිරී යාම වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමත් ඉතා වැදගත්. දරුවා ඇල්ලුවිට හොඳින් සබන් යොදා දෑත් පිරිසුදු කරගැනීම, ඔහු භාවිත කරන පිඟන්, කෝප්ප, ඇඳුම්, ඇඳ ඇතිරිලි වෙන් කිරීම සහ ඒවා උණු ජලයෙන් සෝදා පිරිසුදු කිරීම වැනි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියා පිළිවෙත් අනුගමනය කළ යුතුය.
එමෙන්ම මේ වැසි සහිත කාල වකවානුවේ හැකිතරම් පිටතින් ආහාර ගැනීම අවම කිරීම, එළවළු, පලතුරු ආදිය අමුවෙන් ආහාරයට ගැනීම වෙනුවට පිසූ ආහාර ගැනීම සහ ආහාරයට ගන්නා එළවළු, පලතුරු හොඳින් සෝදා භාවිතයට ගැනීම, උණුකර නිවාගත් ජලය භාවිතය වැනි හිතකර සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමෙන් පාචනය සෑදීම වගේම පැතිරීම ද වළකාගත හැකි බව මතක තබාගන්න.
අතීසාරය
අතීසාරය වැලඳෙන්නේ බැක්ටීරියා ගණයට අයිති විසබීජයකිනි. මෙහිදී පිටවන මලපහ ප්‍රමාණයෙන් අඩුවුවද ලේ සහ සෙවල මිශ්‍රිත මලපහ පිටවීම දැකිය හැකියි. මළපහ කිරීමට පෙර දරුවාට දැඩි වේදනාවක්, බඩේ කැක්කුම ඇතිවිය හැකියි. පාචනය මෙන් නොව අතීසාර තත්ත්වයේදී වැඩි සංකූලතා මතුවිය හැකියි. මන්ද බැක්ටීරියා ශරීරගත වීම නිසා රුධිරයට, මොළයට යම් බලපෑම් ඇති කළ හැකි වේ. එහි ප්‍රතිඵල ලෙස වලිප්පුව, සිහිමඳ ගතිය වැනි දෑ ඇති විය හැකියි. විශේෂයෙන්ම උණ වලිප්පුව ඇතිවීමේ ප්‍රවණාතාවක් දැකිය හැකියි. ඒ සමඟම දරුවන්ගේ ශරීරයේ ඇති ලවණ අඩුවීම නිසා ද වලිප්පු තත්ත්වය ඇතිවිය හැකියි. එමෙන්ම ශරිරයේ සීනි අඩු වීම ද විය හැකියි. මේ නිසා එවැනි තත්ත්වයකදී හැකි ඉක්මනින් රෝහලට ඇතුළත් කර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.
TEXT – චම්පා වරුසප්පෙරුම
