මිනිස් සිරුරේ බර දරාගන්නා ප්‍රධානතම සන්ධියක් වන දණහිස, අපගේ චලනයන් සඳහා සුවිශාල මෙහෙවරක් ඉටු කරයි. එහිදී දණහිස් පොල්කට්ට (Patella) සහ කලවා අස්ථිය අතර ඇති කාටිලේජ පටලය ගෙවීයාම වර්තමානයේ බොහෝ දෙනෙකු පීඩා විඳින ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් බවට පත් වී තිබේ. වෛද්‍ය විද්‍යාත්මකව ‘Patellofemoral Osteoarthritis’ ලෙස හඳුන්වන මෙම රෝගී තත්ත්වය, නිවැරදි අවබෝධයක් හා සැලකිලිමත්භාවයක් නොමැතිකම නිසාම පීඩා විඳින රෝගී තත්ත්වයක් බවට පත්ව තිබෙයි.

දණහිස් පොල්කට්ට ගෙවීම ලෙස හඳුන්වන්නේ කුමක්ද?
දණහිස් පොල්කට්ට ගෙවීම යනුවෙන් පොදු ව්‍යවහාරයේදී හඳුන්වන්නේ දණහිස් සන්ධියේ දණහිස් පොල්කටුව සහ කලවා අස්ථිය අතර ඇති කාටිලේජ (Cartilage) ක්ෂය වීමයි. විද්‍යාත්මකව මෙයට ඔස්ටියෝ ආතරයිටිස් (Osteoarthritis) ලෙස පවසන අතර, මෙය දණහිස ආශ්‍රිතව බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයකි.
මෙම රෝගී තත්ත්වය බහුලව හඳුනාගත හැකි වන්නේ කුමන වයස් සීමාවෙහිද?
දණහිස් පොල්කට්ට සහ සන්ධිය ගෙවීමේ රෝගී තත්ත්වය වඩාත්ම බහුලව හඳුනාගත හැකි වන්නේ වයස අවුරුදු 45ත් 60ත් අතර (මැදි වයසේ) පසුවන පුද්ගලයන් අතරයි.
දණහිස් පොල්කට්ට ගෙවීමේ රෝගී තත්ත්වය පෙර සිට හඳුනාගත හැකි රෝගී ලක්ෂණ කවරේද?
දණහිස් පොල්කට්ට සහ සන්ධිය ගෙවීම ආරම්භයේදීම හඳුනා ගැනීම මඟින් රෝගය උත්සන්න වීම වළක්වා ගන්න පුළුවන්. රෝගය දරුණු වීමට පෙර පෙන්නුම් කරන පූර්ව රෝග ලක්ෂණ විදිහට,
පඩිපෙළ නැඟීමේදී සහ බැසීමේදී දැනෙන වේදනාව
දණහිස නවන විට හෝ දිග හරින විට ඇසෙන ශබ්දය (Crepitus)
දිගු වේලාවක් වාඩි වී සිට නැඟිටීමේදී ඇතිවන අපහසුව
දණහිස අවට ඉදිමීම සහ රත් වීම
දණහිස නවා බිම වාඩි වීමට ඇති අපහසුව
මෙම රෝගී තත්ත්වය ඇති වීමට ප්‍රධාන වශයෙන් බලපාන හේතු කවරක්ද?
දණහිස් පොල්කට්ට සහ සන්ධිය ගෙවීමේ (Osteoarthritis) රෝගී තත්ත්වය ඇති වීමට හේතු රාශියක්ම බලපානවා. ඒ අතරින්,
වයසට යාම (Aging)
අධික ශරීර බර (Obesity)
ජානමය බලපෑම (Genetics)
ස්ත්‍රී පුරුෂ භාවය (Gender)
රැකියාවේ හෝ ජීවන රටාවේ ස්වභාවය ක්‍රීඩා අනතුරු සහ සන්ධි ආබාධ මාංශ පේශි දුර්වලතාවය
යන හේතු ප්‍රධාන වශයෙන් පුද්ගලයකුගේ දණහිස් පොල්කට්ට ගෙවීමට හා සන්ධි ගෙවීමට බලපානවා.
මෙම රෝගී තත්ත්වය වළක්වා ගැනීමට නම්, අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද?
දණහිස් පොල්කට්ට සහ සන්ධිය ගෙවීම වළක්වා ගැනීමට හෝ එහි වේගය අඩු කර ගැනීමට මූලික වශයෙන් ඔබගේ ජීවන රටාවේ සරල වෙනස්කම් කිහිපයක් සිදු කිරීම ඉතා වැදගත් වෙනවා. ශරීර බර පාලනය කිරීම, මාංශ පේශි ශක්තිමත් කිරීම, නිවැරදි ඉරියව් පවත්වා ගැනීම, සුදුසු පාවහන් තෝරා ගැනීම, දණහිසට විවේකය ලබා දීම, පෝෂණය සහ ජලය නිසි පරිදි ලබා ගැනීම යන ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් මේ රෝගී තත්ත්වය අවම කර ගන්න පුළුවන්.
වෛද්‍ය උපදේශයකින් තොරව දණහිස් පොල්කට්ට ගෙවීමේ රෝගය සඳහා Knee Guard භාවිත කිරීම සුදුසු ද?
වෛද්‍ය උපදේශයකින් තොරව දීර්ඝකාලීනව Knee Guard (දණහිස් ආවරණ) භාවිත කිරීම සෑම විටම සුදුසු නැහැ. මෙයට ප්‍රධාන හේතුව වන්නේ එය රෝගය සුව කිරීමට වඩා රෝග ලක්ෂණ යටපත් කිරීමට හෝ ඇතැම් විට වෙනත් ගැටලු ඇති කිරීමට හේතු වන නිසා.
මෙම රෝගී තත්ත්වය අවම කර ගැනීමට නූතන වෛද්‍ය විද්‍යාවෙහි පවතින ප්‍රතිකර්ම මොනවාද?
නූතන වෛද්‍ය විද්‍යාවේ දණහිස් පොල්කට්ට සහ සන්ධිය ගෙවීමේ රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා ඉතා දියුණු සහ සාර්ථක ප්‍රතිකාර ක්‍රම රාශියක් තියෙනවා. ප්‍රතිකාර තෝරා ගනු ලබන්නේ ද රෝගයේ බරපතළකම අනුවයි. ඖෂධීය ප්‍රතිකාර විදිහට වේදනා නාශක හෝ NSAIDs කාණ්ඩයේ ඖෂධ ලබා ගැනීම, දණහිස මතුපිට ගැල්විය හැකි ජෙල් වර්ග භාවිත කිරීම, Glucosamine සහ Chondroitin වැනි කාටිලේජ පෝෂක අතිරේක ලබා ගැනීම සිදු කරන්න පුළුවන්. එන්නත් මඟින් සිදු කරන ප්‍රතිකාර විදිහට Hyaluronic Acid එන්නත්, Corticosteroid එන්නත්, PRP (Platelet-Rich Plasma) ප්‍රතිකාරය ලබා ගන්න පුළුවන්. භෞතචිකිත්සක ප්‍රතිකර්ම වගේම ආත්‍රොස්කොපි (Arthroscopy) සැත්කම, Osteotomy සැත්කම, සම්පූර්ණ සන්ධි බද්ධය (Total Knee Replacement) වැනි ශලකර්මයන්ද මේ රෝගී තත්ත්වය අවම කර ගැනීමට සිදු කළ හැකිය.
බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව දණහිස් ගෙවීමේ රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් යටපත් වීමක් මිස සම්පූර්ණයෙන් සුව වීමක් සිදු නොවේද?
බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව, දණහිස් ගෙවී යාමේ රෝගී තත්ත්වය පිළිබඳ පවතින සැබෑ තත්ත්වය මුලින්ම තේරුම් ගන්න ඕන. සම්පූර්ණයෙන් සුව වීම සහ පාලනය කිරීම කියන්නේ කරුණු දෙකක්. බටහිර වෛද්‍ය විද්‍යාව වේදනාව යටපත් කිරීම පමණක් සිදු කරන්නේ නැහැ. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් කරන්නේ වේදනාව සමනය කිරීම, සන්ධියේ චලනයන් පහසු කරවීම, කාටිලේජ ගෙවී යාම ප්‍රමාද කිරීමයි. බොහෝ දෙනකු සිතන්නේ ‘සම්පූර්ණයෙන් සුව කළ නොහැකි නම් ප්‍රතිකාර කිරීමෙන් පලක් නැහැ’ කියලයි. නමුත් නිවැරදි ප්‍රතිකාර හා ජීවන රටා වෙනස්කම් නිසා රෝගය ඉතා දරුණු අතට හැරීම වළක්වා ගන්න පුළුවන්, ශල්‍යකර්මයක් සඳහා ඇති අවශ්‍යතාව වසර ගණනාවකින් ප්‍රමාද කර ගන්න පුළුවන්, වේදනා නාශක මත යැපීම අවම කර ගන්න පුළුවන්.
දණහිස් රෝගී තත්ත්වය සඳහා භෞතචිකිත්සක (Physiotherapy) ප්‍රතිකර්ම ලබා ගැනීම වැදගත් වන්නේ ඇයි?
දණහිස් පොල්කට්ට ගෙවීමේ රෝගී තත්ත්වය පාලනය කිරීමේදී භෞතචිකිත්සාව (Physiotherapy) කියන්නේ අත්‍යවශ්‍යම ප්‍රතිකාර ක්‍රමයක්. භෞතචිකිත්සක ප්‍රතිකර්ම ලබා ගැනීමෙන් සන්ධියට වැටෙන බර බෙදා හැරීම, සන්ධියේ චලන පරාසය වැඩි කිරීම, ස්වාභාවික ලිහිසි ද්‍රව්‍ය නිපදවීම උත්තේජනය කිරීම, වේදනාව සමනය කිරීම සඳහා යන්ත්‍රණ භාවිතය, වැරදි ඉරියව් සහ ඇවිදීමේ රටාව නිවැරදි කිරීම ආදිය සිදු කරයි.
භෞතචිකිත්සක (Physiotherapy) ක්‍රමවේදයෙන් මෙම රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් සුව වීමට අනුගමනය කරන ප්‍රතිකර්ම මොනවාද?
භෞතචිකිත්සාව (Physiotherapy) මඟින් දණහිස් ගෙවීමේ රෝගී තත්ත්වය පාලනය කර, රෝගියාට වේදනාවෙන් තොරව සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට උපකාරී වන ප්‍රතිකර්ම කිහිපයක්ම තියෙනවා. දණහිසේ වේදනාව සහ ඉදිමීම පාලනය කිරීමට TENS යන්ත්‍රය භාවිත කර විද්‍යුත් චිකිත්සාව ලබා දීම, අයිස් හෝ තාප ප්‍රතිකාර ලබා දීම සිදු කළ හැකිය. මාංශ පේශි ශක්තිමත් කිරීමට Static Quadriceps ප්‍රතිකාරය, Straight Leg Raise (SLR) ප්‍රතිකාරය, Hamstring Strengthening ප්‍රතිකාරයත් සිදු කරනවා. ඒ වගේම සන්ධියේ නම්‍යශීලිතාවය වැඩි කිරීමට Manual Therapy, Stretching වගේ ප්‍රතිකාර කරනවා. ශරීරයේ සමබරතාවය සහ ඇවිදීමේ රටාව නිවැරදි කිරීමටත් ප්‍රතිකර්ම තියෙනවා. Proprioception Exercises වගේ ව්‍යායාමවලින් ද දණහිස් ගෙවී යාමේ රෝගී තත්ත්වය අවම කර ගන්න පුළුවන්. ඒ වගේම භෞතචිකිත්සකවරයකු විසින් රෝගියාට එදිනෙදා ජීවිතයේදී කළ යුතු සහ නොකළ යුතු දේ ගැන ද උපදෙස් ලබා දෙයි. බිම වාඩි වීම වෙනුවට උස පුටුවක් භාවිත කිරීම, පඩිපෙළ නඟින විට වේදනාව අඩු වන ලෙස කකුල් තැබීමට උපදෙස් ලබා දෙයි.
TEXT – නෙත්මි සත්සරණි
