Monday, June 8, 2026
Epaper
Home වෛද්‍යෙපා්ෂණ හිඟය වළකන මල්ටි විටමින්

ෙපා්ෂණ හිඟය වළකන මල්ටි විටමින්

by Shanaka Lakehouse

වර්තමාන සමාජයේ බොහෝ දෙනාගේ ජීවන රටාව ඉතා වේගවත් වී තිබේ. වැඩබහුල ජීවිතය, ක්ෂණික ආහාර භාවිතය, නිසි වේලාවට ආහාර නොගැනීම සහ මානසික ආතතිය නිසා ශරීරයට අවශ්‍ය පෝෂණය සම්පූර්ණයෙන් ලබාගැනීම අපහසු වී ඇත. ශරීරයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට විටමින් සහ ඛනිජ ලවණ ඉතා වැදගත් වේ. මෙම පෝෂක ද්‍රව්‍ය ප්‍රමාණවත් ලෙස නොලැබීම නිසා දුර්වලතාව, තෙහෙට්ටුව, ප්‍රතිශක්තිය අඩුවීම සහ විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකියි.

එවැනි අවස්ථාවලදී ශරීරයට අවශ්‍ය පෝෂක ලබාදීමට උපකාරී වන පෝෂණ අතිරේකයක් ලෙස මල්ටි විටමින් භාවිත කරයි. Multi vitamins යනු විවිධ විටමින් වර්ග සහ ඛනිජ ලවණ එකතුවක් අඩංගු අතිරේක ඖෂධ වර්ගයකි. මේවා ශරීරයේ වර්ධනය, ශක්තිය නිපදවීම, ප්‍රතිශක්තිකරණය, පටක අලුත්වැඩියාව සහ අවයව නිසි ලෙස ක්‍රියා කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

මල්ටිවිටමින් අවශ්‍ය වන්නේ ඇයි?

සාමාන්‍යයෙන් ශරීරයට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය පලතුරු, එළවළු, ධාන්‍ය, කිරි ආහාර, මස්, මාළු, බිත්තර සහ ඇට වර්ග වැනි ආහාරවලින් ලබාගත යුතුය. නමුත් සමහර පුද්ගලයන්ට මෙම පෝෂක ප්‍රමාණවත් ලෙස නොලැබීම නිසා පෝෂණ හිඟතා ඇති විය හැකියි.

අසමතුලිත ආහාර පුරුදු, දිගුකාලීන රෝග, ගැබ් ගැනීම, මවුකිරි දීම, වයස්ගත වීම, ආහාර අවශෝෂණ ගැටලු සහ අධික මානසික හෝ ශාරීරික ආතතිය වැනි තත්ත්වයන්හිදී මල්ටිවිටමින් අවශ්‍ය විය හැකියි.

විශේෂයෙන් වැඩිහිටි පුද්ගලයන්, ආහාර රුචිය අඩු පුද්ගලයන් සහ අසනීපයෙන් පසුව සුවවෙමින් සිටින පුද්ගලයන් සඳහා මල්ටිවිටමින් ප්‍රයෝජනවත් විය හැකියි. කෙසේ වෙතත්, මල්ටිවිටමින් යනු ආහාර වෙනුවට භාවිත කළ හැකි දෙයක් නොව, ආහාරයට අමතරව ලබාදෙන පෝෂණ සහායකයක් පමණි.

මල්ටි විටමින්වල අඩංගු ද්‍රව්‍ය

විවිධ multi vitamin නිෂ්පාදනවල අඩංගු ද්‍රව්‍ය වෙනස් විය හැකියි. සාමාන්‍යයෙන් මේවායේ විවිධ විටමින් සහ ඛනිජ ලවණ අඩංගු වේ.

විටමින් වර්ග අතර විටමින් A, විටමින් B1 (Thiamine), විටමින් B2 (Riboflavin), විටමින් B3 (Niacin), විටමින් B6, විටමින් B12, විටමින් C, විටමින් D, විටමින් E, ෆෝලික් ඇසිඩ් සහ Biotin අඩංගුයි.

එමෙන්ම කැල්සියම්, අයන්, සින්ක්, මැග්නීසියම්, සෙලෙනියම්, පොටෑසියම් යන ඛනිජ ලවණ ද අඩංගුයි. සමහර නිෂ්පාදනවල Omega-3, Ginseng, Lysine සහ Antioxidants වැනි අමතර ද්‍රව්‍ය ද අඩංගු වේ.

මල්ටිවිටමින් ක්‍රියාකරන්නේ කෙසේද?

මල්ටි විටමින් ශරීරයට අවශ්‍ය පෝෂක ලබාදීමෙන් සාමාන්‍ය ජෛව ක්‍රියාවලීන් පවත්වා ගැනීමට උපකාරී වේ.

විටමින් C ප්‍රතිශක්තිය වැඩි කිරීමට සහ තුවාල සුව වීමට උපකාරී වේ. අයන්, රුධිරයේ හීමොග්ලොබින් නිපදවීමට වැදගත් වේ. විටමින් D මඟින් කැල්සියම් අවශෝෂණය වැඩි කර අස්ථි ශක්තිමත් කරයි. විටමින් B ආහාර ශක්තිය බවට පරිවර්තනය කිරීමට උපකාරී වන අතර සින්ක් පටක අලුත්වැඩියාව සහ ප්‍රතිශක්තිය සඳහා වැදගත් වේ.

මෙම පෝෂක ශරීරයේ සෞඛ්‍යය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය බැවින්, ඒවා හිඟ වූ විට දුර්වලතාව, තෙහෙට්ටුව, ආහාර රුචිය අඩුවීම සහ රෝගාබාධ වැඩි වීම වැනි ගැටලු ඇති විය හැකියි.

භාවිත කරන අවස්ථා

මල්ටිවිටමින් අවස්ථා කිහිපයකදී භාවිත කරයි. එහිදී පෝෂණ හිඟතා, ආහාර රුචිය අඩුවීම, ශරීර දුර්වලතාව, අසනීපයෙන් පසු සුවවීම, සැත්කම්වලින් පසු, ගැබ් ගැනීම සහ මවුකිරි දීම, වැඩිහිටි පුද්ගලයන්, දීර්ඝකාලීන රෝග සහ රක්තහීනතාව සහ දරුවන්ගේ වර්ධනයට මෙය ලබා දේ. ගැබ් ගැනීමේදී ෆෝලික් ඇසිඩ්, යකඩ සහ කැල්සියම් අඩංගු Multi vitamins භාවිතය ඉතා වැදගත් වේ. එය බිලිඳාගේ වර්ධනයට සහ මවගේ සෞඛ්‍යයට උපකාරී වේ.

මාත්‍රාව සහ භාවිතය

මාත්‍රාව රඳා පවතින්නේ වයස, බර, පෝෂණ තත්ත්වය, රෝග තත්ත්වය සහ භාවිත කරන නිෂ්පාදනය මතයි.

සාමාන්‍යයෙන් වැඩිහිටියන්ට දිනකට ටැබ්ලටයක් හෝ කැප්සියුලයක් ලබාදෙන අතර එය ආහාරයෙන් පසු ගැනීම සුදුසුය. කුඩා දරුවන් සඳහා ඩ්‍රොප්ස් හෝ සිරප් භාවිත කරයි.

වෛද්‍ය උපදෙස් නොමැතිව ළමුන්ට හෝ වැඩිහිටියන්ට මල්ටිවිටමින් ලබා නොදිය යුතුය. නිර්දේශිත මාත්‍රාව ඉක්මවා ගැනීමෙන් අතුරු ආබාධ සහ විෂ වීමේ අවදානම වැඩි විය හැකියි.

අතුරු ආබාධ

බොහෝ දෙනාට මල්ටිවිටමින් ආරක්ෂිතව භාවිත කළ හැකි වුවත්, සමහර අතුරු ආබාධ ඇති විය හැකියි.

සාමාන්‍ය අතුරු ආබාධ ලෙස වමනය, ඔක්කාරය, බ‍ෙඩ් කැක්කුම, මලබද්ධය, පාචනය, හිසරදය සහ ලෝහමය රසයක් දැනීම ඇති විය හැකියි. යකඩ අඩංගු මල්ටි විටමින් භාවිතයේදී කළු පාට මල පිටවීම ද සිදුවිය හැකියි. බොහෝ විට මේවා සුළු සහ තාවකාලික අතුරු ආබාධ වේ.

භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු

වකුගඩු සහ අක්මා රෝග ඇති පුද්ගලයන් මල්ටි විටමින් භාවිතයේදී විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. පොටෑසියම් සහ මැග්නීසියම් ශරීරයේ එකතු වීමේ අවදානම ඇති අතර Fat-soluble vitamins වන විටමින් A, D, E සහ K ශරීරයේ එකතු විය හැකියි.

සමහර මල්ටිවිටමින් වෙනත් ඖෂධ සමඟ අන්තර්ක්‍රියා කළ හැකියි. විටමින් K නිසා Warfarin ඖෂධයේ ක්‍රියාකාරීත්වය අඩුවිය හැකි අතර අයන් සහ කැල්සියම් නිසා Levothyroxine අවශෝෂණය අඩුවිය හැකියි.

ඒ නිසා ඔබ භාවිත කරන සියලු ඖෂධ පිළිබඳව වෛද්‍යවරයාට දැනුම් දීම ඉතා වැදගත්ය.

වැරදි අදහස්

බොහෝ දෙනා “Multi vitamins ගත් වහාම ශක්තිය වැඩි වේ” යැයි සිතන නමුත් එය සත්‍ය නොවේ. පෝෂණ හිඟතාවක් තිබේ නම් පමණක් ප්‍රතිලාභ පෙනී යා හැකියි.

“වැඩිපුර විටමින් ගත්තොත් වඩා හොඳයි” යන්න ද වැරදි අදහසකි. අධික විටමින් සහ මිනරල් ශරීරයට විෂ විය හැකියි.

එසේම මල්ටි විටමින් ආහාර වෙනුවට භාවිත කළ නොහැකි අතර සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.

අධික මාත්‍රාවෙන් ඇතිවන අවදානම්

මල්ටිවිටමින් අධික ලෙස ගැනීම විශේෂයෙන් ළමුන්ට අනතුරුදායක වේ. වමනය, බඩේ කැක්කුම, අලස බව, අක්මා හානි සහ වකුගඩු හානි එලෙස කලාතුරකින් අතුරු ආබාධ ඇතිවිය හැකියි. යකඩ වැඩිපුර ගැනීම කුඩා දරුවන්ට ජීවිතයට තර්ජනයක් විය හැකිය. විටමින් A විෂ වීම මඟින් හිසරදය, පෙනීම බොඳ වීම සහ අක්මා හානි ඇති විය හැකි අතර විටමින් D අධික වීමෙන් කැල්සියම් වැඩි වී වකුගඩු ගල් සහ හෘද ගැටලු ඇති විය හැකියි. අධික මාත්‍රාවෙන් ගත් අවස්ථාවක වහාම රෝහලකට යා යුතු අතර ඖෂධ බෝතලය ද රැගෙන යෑම වැදගත් වේ.

මල්ටි විටමින් යනු ශරීරයට අවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ ලබාදීමට උපකාරී වන වැදගත් පෝෂණ අතිරේකයකි. නිසි අවස්ථාවලදී සහ නිවැරදි මාත්‍රාවෙන් භාවිත කළහොත් පෝෂණ හිඟතා වැළැක්වීමට, ශරීර ශක්තිය පවත්වා ගැනීමට සහ සෞඛ්‍යය හොඳින් පවත්වා ගැනීමට උපකාරී වේ. කෙසේ වෙතත්, මේවා අධික ලෙස හෝ වෛද්‍ය උපදෙස් නොමැතිව භාවිත කිරීම අනතුරුදායක විය හැකි බැවින් සැමවිටම වෛද්‍යවරයකුගේ හෝ ඖෂධවේදියකුගේ උපදෙස් අනුව භාවිත කිරීම වැදගත්ය.

 

TEXT – විදුමිණි දිසාකරුණා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?