Monday, April 27, 2026
Epaper
Home Beautyඔබේ රුධිරයෙන්ම ඔබේ රුව ලස්සන කරන ‘PRP’ ප්‍රතිකාරය

ඔබේ රුධිරයෙන්ම ඔබේ රුව ලස්සන කරන ‘PRP’ ප්‍රතිකාරය

by Shanaka Lakehouse

අද රූපලාවණ්‍ය ක්ෂේත්‍රය ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතිනවා. සම සුරැකීම, හිසකෙස් රැකගැනීම සහ වයසට යාමේ ලක්ෂණ ප්‍රමාද කිරීම සඳහා නව තාක්ෂණික ක්‍රම රැසක් හඳුන්වා දී තිබෙනවා. ඒ අතරින් දැන් වැඩි අවධානයක් ලැබෙන ප්‍රතිකාරයක් තමයි PRP Injection කියන්නේ. ස්වාභාවික ද්‍රව්‍ය භාවිත කරමින් ශරීරයේම සුවවීමේ හැකියාව වැඩිදියුණු කරන මෙම ක්‍රමය කාන්තාවන් අතර ජනප්‍රිය වෙමින් පවතිනවා. මෙය ශරීරයේම සුවවීමේ හැකියාව භාවිත කරමින් සම සහ හිසකෙස් නවීකරණය කරන ආරක්ෂිත ක්‍රමයක් ලෙස හඳුන්වයි.


PRP Injection යනු කුමක්ද?

PRP Injection යනු ඔබගේම රුධිරයෙන් ලබාගත් platelet-rich plasma එකක් ප්‍රතිකාරයක් ලෙස භාවිත කිරීමයි. Platelets (පට්ටිකා) යනු ශරීරයේ තුවාල සුව කිරීමට සහ පටක අලුත්වැඩියා කිරීමට උපකාරී වන කොටසකි. මේවා තුළ ඇති growth factors මඟින් නව සෛල වර්ධනය කරමින් සමේ සහ හිසකෙස් මූලික ස්ථානවල ප්‍රතිසංස්කරණය සිදු කරයි. මෙහි විශේෂත්වය වන්නේ රසායනික හෝ කෘත්‍රිම ද්‍රව්‍ය නොමැතිව, ඔබගේම ශරීරයේ සම්පත් භාවිත කරමින් ප්‍රතිඵල ලබාදීමයි.

ක්‍රියාවලිය

PRP ප්‍රතිකාරය ආරම්භ වන්නේ රෝගියාගෙන් සුළු ප්‍රමාණයක රුධිරය ලබාගැනීමෙන්ය. එම රුධිරය centrifuge යන්ත්‍රයකට දමා පට්ටිකා සහ අනෙකුත් කොටස් වෙන් කරයි. එහිදී පට්ටිකා වැඩි ප්‍රමාණයක් අඩංගු පටක කොටස තෝරාගෙන, එය අවශ්‍ය ස්ථානයට එන්නත් කරයි. මුහුණට, හිසකෙස් මූලික ස්ථානයට හෝ අවශ්‍ය අනෙකුත් ස්ථානවලට මෙය භාවිත කළ හැකියි. ක්‍රියාවලිය සාමාන්‍යයෙන් කෙටි කාලයක් තුළ අවසන් වන අතර නිර්වින්දනය කිරීමට අවශ්‍ය නොවේ.

රූපලාවණ්‍ය වාසි

PRP Injection එකේ වඩාත්ම ප්‍රධාන වාසිය වන්නේ එය ස්වාභාවික ප්‍රතිකාරයක් වීමයි. ඔබගේම රුධිරය භාවිත කරන නිසා අසාත්මිකතා ඇතිවීම ඉතා අඩුය. සමට PRP යෙදීමෙන් අඳුරු සහ වෙහෙසකර පෙනුම අඩු කරමින්, සමට නැවුම් සහ තරුණ පෙනුමක් ලබාදේ. රැලි සහ රේඛා අඩු වන අතර ඇක්නි, කැළල් සහ පිග්මන්ටේෂන් වැනි ගැටලු ද කාලයත් සමඟ සුව වේ.

හිසකෙස් සඳහා PRP ප්‍රතිකාරය විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ. හිසකෙස් හැලීම පාලනය කිරීම, හිසකෙස් තුනීවීම පාලනය කිරීම සහ කෙස් කලඹ සක්‍රිය කරමින් නව හිසකෙස් වර්ධනයට දායක වීම මෙහි ප්‍රධාන වාසි වේ. දරුවා බිහි කිරීමෙන් පසු හිසකෙස් වැටීම අත්විඳින කාන්තාවන්ට ද මෙය හොඳ විකල්පයක් ලෙස සැලකේ.

ප්‍රතිකාර වාර ගණන සහ ප්‍රතිඵල

PRP Injection එක එක් වරකින්ම විශාල වෙනසක් ලබාදෙන ප්‍රතිකාරයක් නොවන අතර, සැසි කිහිපයක් ලෙස සිදු කරන විට වඩාත් හොඳ ප්‍රතිඵල ලැබේ. හිසකෙස් සඳහා සාමාන්‍යයෙන් මාසයක පරතරයකින් සැසි 3 සිට 6 දක්වා අවශ්‍ය වේ.

සම සඳහා සැසි 2 සිට 4ක් ප්‍රමාණවත් වෙයි. මෙයට අමතරව, මාස 6–12 අතර නඩත්තු සැසියක් කරගැනීමෙන් ලැබෙන ප්‍රතිඵල දිගු කාලයක් පවත්වාගත හැකියි.

ප්‍රතිඵල පෙනෙන්නට ටික කාලයක් ගත වීම සාමාන්‍යය. සම සඳහා සති 3–4ක් ඇතුළත දිලිසීම සහ මෘදු තෙතමනයක් පෙනෙන්නට පටන් ගනී. හිසකෙස් සඳහා මාස 2–3ක් පමණ ගත විය හැකිය.

අතුරු ආබාධ සහ අවදානම්

PRP Injection සාමාන්‍යයෙන් ආරක්ෂිත ප්‍රතිකාරයක් වුවත්, එන්නත් කරන ස්ථානයේ සුළු අතුරු ආබාධ කිහිපයක් ඇතිවිය හැකියි. එනම් සුළු වේදනාව, ඉදිමීම, රතු වීම හෝ තැළීම් ඇති වීම දක්නට ලැබිය හැකි අතර, ඒවා බොහෝවිට දින කිහිපයකින් අඩුවේ. ඉතා දුර්ලභ අවස්ථාවල ආසාදන ඇතිවිය හැකි බැවින්, සනීපාරක්ෂිත පරිසරයක් සහ විශ්වසනීය වෛද්‍යවරයකු තෝරාගැනීම අත්‍යවශ්‍ය වේ.

සුදුසු සහ නුසුදුසු අය

PRP Injection එක සියලුම දෙනාට සුදුසු නොවේ. රුධිර රෝග ඇති අය, රුධිර පට්ටිකා ගණන අඩු අය, සමේ ආසාදන හෝ හිස්කබලේ ආසාදන ඇති අය මෙය කිරීමෙන් වැළකී සිටිය යුතුය. එසේම පිළිකා ප්‍රතිකාර ලබන අය, ගර්භිණී කාන්තාවන් සහ කිරි දෙන මවුවරුන් මෙය කරගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් වේ. පුද්ගලික සෞඛ්‍ය තත්ත්වය අනුව සුදුසුකම වෙනස් විය හැකි බැවින්, පූර්ව වෛද්‍ය උපදේශනයක් අත්‍යවශ්‍යයි.

ප්‍රතිකාරයෙන් පසු සැලකිලිමත් විය යුතු දේ

PRP Injection එකෙන් පසු නිවැරදි පසු රැකවරණයෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි. ප්‍රතිකාරයෙන් පසු පළමු පැය 24–48 තුළ මුහුණට හෝ හිස්කබලට වතුර නොදමන ලෙසත්, මේකප් භාවිත නොකරන ලෙසත් උපදෙස් දෙනවා. එන්නත් කළ ස්ථානය අතගෑමෙන් වැළකීමත්, සෘජු හිරු එළියෙන් දින කිහිපයක් වැළකීමත් වැදගත් වේ. තවද, දැඩි ව්‍යායාම, පිහිනීම වැනි දේවල් යම් කාලයකට මඟහැරීම හොඳයි. වෛද්‍යවරයෙකු ලබාදෙන උපදෙස් සහ ඖෂධ නිවැරදිව පිළිපැදීමෙන් අතුරු ආබාධ අඩු කරගැනීමට සහ ප්‍රතිඵල වැඩිදියුණු කිරීමට හැකි වේ.

PRP Injection කියන්නේ

ස්වාභාවිකවම ශරීරයේ ශක්තිය භාවිත කරමින් රූපලාවණ්‍යය වැඩිදියුණු කරන නවීන හා විශ්වසනීය ප්‍රතිකාරයක්. එය සමටත් හිසකෙස්ටත් නව ජීවයක් ලබාදෙමින් කාන්තාවන්ට විශ්වාසයෙන් පිරි පෙනුමක් ලබාදේ. නමුත් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම සඳහා නිවැරදි වෛද්‍ය උපදෙස්, සුදුසු සායනයක් තෝරාගැනීම සහ පසු රැකවරණ උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය වේ. නිවැරදි තීරණයක් ගෙන, ඔබගේ ස්වාභාවික ලස්සන ආරක්ෂා කරගැනීමට PRP Injection එක හොඳම ආරම්භයක් විය හැකියි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?