Monday, May 4, 2026
Epaper
Home Beautyනොමිලේ ලැබුණු ලිප් ෆිලර් එකෙන් භයානක අත්දැකීමක්

නොමිලේ ලැබුණු ලිප් ෆිලර් එකෙන් භයානක අත්දැකීමක්

by Shanaka Lakehouse

ලොස් ඇන්ජලීස්හි ඉන්ෆ්ලුවෙන්සර් (Influencer) කෙනකු වූ ජෙසිකා බර්කෝ (Jessica Burko), නොමිලේ ලබාගත් ලිප් ෆිලර් ප්‍රතිකාරයකින් පසු තමන්ට මුහුණ දීමට සිදු වූ බියජනක අත්දැකීමක් පිළිබඳව සමාජ මාධ්‍යවල හෙළි කරමින් විශාල අවධානයක් දිනාගෙන තිබේ.

TikTok හි @jessicacaileyburko ලෙස ප්‍රසිද්ධ ඇය, මෙය තමන්ට පළමු ලිප් ෆිලර් අත්දැකීම නොවන බවත්, මීට පෙර හය වතාවක් මෙම ප්‍රතිකාරය ගෙන කිසිදු ගැටලුවක් නොවූ බවත් සඳහන් කළාය. එබැවින් මෙවරත් එය සාමාන්‍ය, සරල රූපලාවණ්‍ය සත්කාරයක් ලෙස බලාපොරොත්තු වූවාය.

නමුත් ප්‍රතිකාරයෙන් පසු ඇගේ තොල්වල අසාමාණ්‍ය ලෙස දැඩි ඉදිමීමක් ඇති වූ අතර, වෛද්‍යවරයකුගේ නිර්දේශය මත ස්ටෙරොයිඩ් එන්නතක් (steroid injection) ලබා දුන්නද තත්ත්වය තවදුරටත් බරපතළ විය. පසුව හෙළිවුණේ ක්‍රියාවලිය අතරතුර රුධිර නාලයක් (artery) තැළී ඇති බවයි.

මෙවැනි තත්ත්වයක් “vascular complication” ලෙස හැඳින්වෙන අතර, එය ඉතාමත් අවදානම් තත්ත්වයක් විය හැකිය. කෙසේ වෙතත්, පසුදින ෆිලර් ඉවත් කිරීමෙන් ඇගේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් විය.

මෙම අත්දැකීමෙන් පසු ඇය “නොමිලේ දෙන රූපලාවණ්‍ය ප්‍රතිකාර ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි” යනුවෙන් අනතුරු ඇඟවූවත්, ලිප් ෆිලර් සම්පූර්ණයෙන්ම බිය විය යුතු දෙයක් නොවන බවත් ඇය සඳහන් කළාය. මෙම සිද්ධිය සමාජ මාධ්‍ය තුළ විශාල විවාදයක් ඇති කර ඇති අතර, ඒ සඳහා සුදුසුකම්ලත් වෘත්තිකයන් තෝරා ගැනීම ගැනත් කතාබහට ලක් විය. අද අපි දෙස් විදෙස් අත්දැකීම් බහුල ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී ශ්‍රීනි ප්‍රනාන්දු සමඟ මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට හිතුවා.

ලිප් ෆිලර් කියන්නේ මොනවාද?

ලිප් ෆිලර් කියන්නේ ශල්‍යකර්මයක් නොවන රූපලාවණ්‍ය සත්කාරයක් වන අතර, තොල්වලට පරිමාව, හැඩය සහ පෙනුමක් ලබා දීමට භාවිත කරයි. මෙහිදී සාමාන්‍යයෙන් භාවිත කරන්නේ Hyaluronic Acid කියන ද්‍රව්‍යයයි.

Hyaluronic Acid කියන්නේ අපේ ශරීරයේ ස්වාභාවිකවම ඇති, ජලය තබා ගැනීමට හැකි සංයෝගයක්. ඒ නිසා තොල්වලට සජලන සහ පිරිපුන් පෙනුමක් ලබා දීමට මෙය ඉතා සුදුසුයි. නමුත් මෙය වයස්ගත අයගේ මුහුණේ ඇති වන රැලි අවම කිරීමට යොදා ගන්නා ප්‍රතිකාරයක් ලෙස මුලින් පැවති අතර, පසුකාලිනව සිහින් තොල් විශාල කර පෙන්වීම සඳහා මේ විදිහට ලිප් ෆිලර් ප්‍රතිකාරයක් විදිහට සමාජගත විය.

මෙය තාවකාලික ෆිලර් එකක් වන අතර, එන්නතේ ජීව කාලය අවසන් වන විට කාලයත් සමඟ ශරීරය විසින් යථා තත්ත්වයට පත් කරයි.

කොහොමද ප්‍රතිකාරය සිදු වෙන්නේ?

ලිප් ෆිලර් ප්‍රතිකාරය ඉතා කෙටි කාලයක් තුළ සිදු කළ හැකි ක්‍රියාවලියක්. පළමුව තොල්වලට හිරිවැටීමේ ක්‍රීම් එකක් ගල්වා වේදනාව අඩු කරයි. ඉන්පසු සියුම් ඉඳිකටුවක් භාවිත කරමින් ෆිලර් එන්නත් කරයි.

මෙම ක්‍රියාවලිය සම්පූර්ණ වීමට විනාඩි 15 සිට 30ක් පමණ ගත වේ. ක්‍රියාපටිපාටියෙන් පසු තොල්වල සුළු ඉදිමීමක් ඇති වීම සාමාන්‍යයි.

ලිප් ෆිලර් ප්‍රතිකාරයේ වාසි

ලිප් ෆිලර් ප්‍රතිකාරය බොහෝ දෙනා අතර ජනප්‍රිය වීමට හේතුව එයින් ලැබෙන වාසි කිහිපයකි:

සිහින් තොල් ඇති අයට පිරිපුන් දෙතොලක් ලබා දෙයි.

ස්වාභාවික තොල්වල හැඩය වැඩි දියුණු කරයි.

තොල්වල අසමමිතිය නිවැරදි කරනවා.

දෙතොලට සුමට, මෘදු සහ තෙතමනයක් ලබා දෙයි.

මේකප් නොමැතිවද ආකර්ෂණීය පෙනුමක් ලබා දෙයි.

වැදගත්ම දේ නම්, හොඳ සුදුසුකම්ලත් කෙනෙක් ලවා කරගතහොත්, ප්‍රතිඵලය ස්වාභාවික ලෙස පෙනීමයි.

අවදානම් සහ අතුරු ආබාධ

ජෙසිකා බර්කෝගේ අත්දැකීමෙන් පැහැදිලි වන්නේ ලිප් ෆිලර් යනු සම්පූර්ණයෙන්ම අවදානම් රහිත ප්‍රතිකාරයක් නොවන බවයි.

සාමාන්‍ය අතුරු ආබාධ ලෙස ඉදිමීම, තැලීම සහ සියුම් වේදනාවක් දැකගත හැකියි. මේවා සාමාන්‍යයෙන් දින කිහිපයකින් අඩුවෙයි. නමුත් කලාතුරකින් බරපතළ සංකූලතා ද ඇති විය හැකියි. ඒ අතර ආසාදන, අසාත්මිකතා, පිරවුම් අක්‍රමිකතා වැනි තත්ත්ව ඇතුළත් වේ.

ඉතාම වැදගත් සංකූලතාව වන්නේ නාල අවහිර වීමයි. මෙය ෆිලර් එකක් රුධිර නාලයක් තුළට ඇතුළු වීමෙන් හෝ එයට පීඩනයක් දීමෙන් රුධිර ප්‍රවාහය නවත්වන තත්ත්වයකි. මෙවැනි අවස්ථාවක වේගයෙන් ප්‍රතිකාර ලබා නොගත්තහොත් පටක හානි හෝ ස්ථිර කැළැල් වැනි බරපතළ ප්‍රතිවිපාක ඇති විය හැකියි.

ලිප් ෆිලර් සත්කාරය වැරදුණහොත් බොහෝ විට එය නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කරගත හැකි වීම මෙහි විශේෂ වාසියකි. එවැනි ගැටලුවක් ඇති වූ විට වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්ය.

කොපමණ කාලයක් ප්‍රතිඵල තියෙනවාද?

ලිප් ෆිලර් ප්‍රතිඵල සාමාන්‍යයෙන් මාස 6 සිට 12 අතර කාලයක් පවතී. සමහර අවස්ථාවල පරිවෘත්තීය ක්‍රියාවලිය, පිරවුම් වර්ගය සහ පුද්ගල සාධක අනුව මෙම කාලය වෙනස් විය හැකියි. ප්‍රතිඵල තවත් දිගු කාලයක් තබා ගැනීමට ‘ටච් අප්’ (Touch-up) සැසි අවශ්‍ය විය හැකියි.

පසුව සැලකිලිමත් විය යුතු දේවල්

ප්‍රතිකාරයෙන් පසු නිසි ආරක්ෂාවක් ලබා දීම ඉතා වැදගත් වේ.

පළමු දින 24–48 තුළ තොල් ඇල්ලීම හෝ සම්බාහනය කිරීමෙන් වළකින්න.

අධික තාපය සහ මත්පැන් භාවිතයෙන් වැළකිය යුතුයි.

ආලේපන ගැල්වීමද නුසුදුසුය.

අයිස් පැකට් භාවිත කිරීමෙන් ඉදිමීම අඩු කරගත හැකියි.

වෛද්‍යවරයා තෝරාගැනීමේ වැදගත්කම

මෙම සම්පූර්ණ කතාවෙන් ඉතාම වැදගත් පාඩමක් ඉගෙනගත හැකියි. ලිප් ෆිලර් සත්කාරයක සාර්ථකත්වය බොහෝ විට වෘත්තිකයාගේ කුසලතාව මත පදනම් වේ. සුදුසුකම් ලත්, පළපුරුදු වෛද්‍යවරයෙක් තෝරාගැනීම අත්‍යවශ්‍යයි. සායනයේ පිරිසුදුභාවය, භාවිත කරන නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ හදිසි අවස්ථා හැසිරවීමේ හැකියාව වැනි කරුණු සැලකිල්ලට ගත යුතුය. “නොමිලේ” හෝ “අඩු පිරිවැය” දීමනාවලට හසු වී බරපතළ අවදානම් ඇති කර නොගත යුතුය.

ලිප් ෆිලර් යනු නූතන රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ බහුලව භාවිත වන, ඵලදායී ප්‍රතිකාරයකි. නමුත් එය හුදෙක් “අලංකාරය වැඩි කරන සත්කාරයක්” ලෙස පමණක් නොසලකා, වෛද්‍ය ක්‍රියාවලියක් ලෙස සලකා බැලීම වැදගත්ය. වඩාත් හොඳම දේ වන්නේ උපතින්ම ලැබුණු දෙතොල ස්වාභාවික දේ භාවිත කිරීමෙන් ලස්සනට පවත්වා ගැනීමයි. එන්නත් මඟින් සිදු කරන සෑම ප්‍රතිකාරයක්ම ශරීර අභ්‍යන්තරයට බලපාන නිසා මෙවැනි දෙයක් කිරීමට පෙර දෙවරක් සිතා බලන්න.

 

TEXT – විදුමිණි දිසාකරුණා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?