දොස්තර මහත්තයගෙ කාමරෙන් එළියට එනකොටත් මම හිටියේ හොඳටම බයවෙලා. පියල්ගෙ රිපෝට් එක ආවම හැම ගෑනියෙක්ටම වගේ මට දැනුණෙ අනාගතේ මොනවා වේවිද කියන බය. සුදු පාට පිටු කීපයක තියෙන විස්තර ටිකකට ජීවිත කීයක අනාගතය තීරණය කරන්න පුළුවන්ද?
“බයිපාස් එකක් කරන්න වෙනවා. නමුත් හදිස්සියෙන්ම කරන්න ඕෙන නැහැ. ඒත් කරන්න ඕෙන. බෙහෙත්වලින් පාලනය කරන්න පුළුවන් තත්ත්වයක් මෙතැන පේන්න නෑ.”දොස්තර මහත්තයා කියනකොට පියල් ඔහේ රූකඩයක් වගේ දොස්තර මහත්තයා දිහා බලාගෙන හිටියා. ඒ මූණේ බයක් හෝ වෙන කිසිම තිගැස්මක් මම දැක්කෙ නෑ. ඒත් මම හිටියෙ හොඳටම බයවෙලා.
“ප්‍රයිවට් කරගන්නව නම් ඉක්මනින් කරගන්න පුළුවන්. ඒත් හොස්පිට්ල් එකෙන් කරගන්නවා නම් වේටින් ලිස්ට් එකේ ඉන්න වෙනවා . දෙන්නා එක්ක ගෙදර ගිහින් කතා කරල බලලා තීරණයක් ගන්න.”
අතේ පිච්චියක්වත් නැති වෙලාවක ප්‍රයිවට් ඉස්පිරිතාලෙක බයිපාස් එකක් කරන්න කොහෙන් කියලා සල්ලි හොයන්නද?
“ඔයා ඔහොම්ම ගෙදර ළඟ බහින්න. අද පක්ෂෙ පොඩි සමිතියක් තියෙනවා.”
“මෙච්චර මේ කරදරයක් වෙලා තියෙනවා. අසනීපෙන් ඉන්න වෙලාවකවත් තමන් ගැන හිතන්න ඔයාට බැරිද? ඔන්න ඔය මඟුල අතෑරල දාන්න අප්පා. මොකෝ ඕකට ගියා කියලා කීයක් හරි හම්බ වෙනවද. අතේ තියෙන තුට්ටුවත් නැති කරන් දේශපාලනේ කරනවා.
“ඔන්න ඔය කතාව නවත්තලා බයිසිකලේට නඟින්න රමණි. කියවන්න ගත්තම ඉන්නෙ කොහේද කියලා කල්පනාවක් නෑ. “පියල් නොරිස්සුමෙන් වගේ හෙල්මට් එක මගෙ අතට දුන්නෙ. මම හෙල්මට් එක දාගෙන බයිසිකලෙන් වාඩි වුණේ පුරුද්දට. බැන්ද කාලෙ නම් බයිසිකලේ නැග්ගම පියල්ගෙ ඇඟේ ගෑවෙන්නම වාඩිවෙලා ගියාට කල් ගත වෙන්න, ගත වෙන්න අවුරුදු ගාණ වැඩි වෙන්න, වැඩි වෙන්න අපි දෙන්නා අතර තියෙන පරතරය ටික ටික වැඩි වුණා. මුලින්ම දරුවො මැද වාඩි වෙලා ගියා. ඊළඟට එළවළු මල්ලක් හරි රෙදි බෑග් එකක් හරි ඔය මොකක් හරි අපේ මැද්දට ආවා. පස්සෙ පස්සෙ මොකක්වත්ම නැත්නම් කරේ එල්ලගෙන හිටි හෑන්ඩ් බෑග් එක හරි මැද්දට ආවා.
පාර දෙපැත්තෙ තිබුණ ගහකොළ වේගෙන් අපිව පහු කරගෙන පිටිපස්සට යද්දි අපි වේගෙන් ඉස්සරහට ගියා. ඒ අතරෙත් බයිපාස් එකට සල්ලි හොයාගන්න හැටියි මම කල්පනා කළේ. නිරවුල්ව විකුණන්න පුළුවන් දේකට අපි ළඟ තිබුණේ බයිසිකලේ විතරයි. ඒක විකුණලා ගන්න සොච්චමෙන් බයිපාස් එකක් කරන්න පුළුවන්ද. රත්තරං බඩුත් ඔක්කොම බැංකුවෙ. ඒත් ඒ ටික ඔක්කොම විකුණුවත් ඒ තරම් ගාණක් හොයාගන්න බෑ.
හන්දියෙ කුලියට දීලා තිබුණ කඩ කාමර දෙක ඇරුණම අපිට වෙන කිසිම ආදායමක් තිබුණේ නෑ. ඒක ඇති වුණේ යාන්තමට කාලා බීලා ඉන්න විතරයි. කඩ කාමර දෙක නම් පියල්ට හම්බවුණු ඒවා. ඒ ඇරෙන්න එයාට මහ ගෙදරින් කියලා ලැබුණෙ අපි ඉන්න ගේ විතරයි. එහේ අම්මා නම් කිවුවෙ දේපළවලින් වැඩිම කොටස ගත්තෙ පියල් කියලා.
ඒත් කිසිම දෙයක් අලුතෙන් කරලා දියුණු වෙන්නවත්, රස්සාවක් කරන්නවත් පියල්ට වුවමනාවක් තිබුණෙ නෑ, වෙලාවක් තිබුණෙත් නෑ.
දරුවො දෙන්නටම වියදම් කළේ මගෙ නංගි. එයා බැඳලා නැති නිසා දරුවන්ගෙ ඕනෙ දෙයක් කිවුවම ඒ කියන පරක්කුවෙන්ම සල්ලි දැම්මා. අපේ අයියා වුණත් ඒ වගේ තමයි. දැන් වුණත් කන්න වී හාල් ලැබුණෙත් අපේ ගෙදරින්ම තමයි. කොටින්ම මම වැඩි හරියක්ම යැපුණෙ අපේ පැත්තෙන් ලැබුණ උදවුවලින්.
” ඔයාටත් තියෙන්නෙ මොකක් හරි රස්සාවක් කරන්න. ” අපේ අම්මා වතාවක් කිව්වා.
” ජොබ් කරන්නෙ කොහොමද අම්මෙ. ගෙදර නිතරම එක එකා පිරිලා. ළමිස්සියෙක් ඉන්නවනෙ ගෙදර. ඒකිව දාලා රස්සාවට යන්න පුළුවන්ද බයක් නැතුව. අනෙක පියල් රස්සාවක් කරනවට කැමතිත් නෑනෙ ”
” උඹ රස්සාවක් කරනවට අකැමැති නම් එයාට රස්සාවක් කරන්න පුළුවන්නෙ. සහෝදරයෙක්ට වුණත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවනෙ. ඒ මිනිස්සුන්ටත් වුවමනා එපාකම් තියෙනවා. ප්‍රශ්න තියෙනවා. ඕනෙවට වඩා උදවු ඉල්ලනකොට මිනිස්සුන්ට එපා වෙනවා ”
” අම්මට නංගිද ඔහොම කියන්න කිව්වෙ? ”
” ඒකි මට කිව්වෙ නෑ. මමයි මේ කියන්නෙ. නංගිට වුණත් ඔහොම ඉන්න බෑනෙ හැමදාම.
“දැන් මේ අසනීපෙ ගැනවත් හිතලා ඔයා ඔය වැඩවලින් ඈත්වෙන්න පියල්. ඔයාට මොකක් හරි වුණොත් අපිට මොනවද වෙන්නෙ? ”
“ඔයාට බය තියෙන්නෙ මාව මැරෙන එක නෙමෙයි. ඔයාට මේ දේවල් තනියම කරගන්න බැරි වෙන එක. ඔය දේවල් තනියම කරගන්න තැනක හිටියනම් පියල් මැරුණත් ඔයාට කමක් නෑ.”
“දැනුත් ඉතින් මම මේ හැමදේම කරන්නෙ තනියමනෙ. මොකෝ දරුවන්ගෙ ඉස්කෝලෙකටවත් යන්න ඔයා එනවද ? මහ ලොකුවට රට වෙනුවෙන්, පක්ෂෙ වෙනුවෙන් මැරෙන්න වුණත් ලෑස්තියි. ”
මං කිව්වෙ කේන්තියෙන්.
” ඔයා යන තැනක ගිහින් ඉක්මනට එන්න පියල්. අපි බලමු සල්ලි ටික කොහෙන් හරි හොයාගෙන ඕක ඉක්මනින් කරගන්න. පක්ෂෙ නැද්ද සුබ සාධකයක්. ”
ඒක ඇහුවම පියල් හිනාවුණා.
“ලජ්ජ නැති කතා කියන්න එපා රමණි.”
“ඔයාලගෙ නංගිට නම් ඕක ගාණක් නෙමෙයි. වැඩිම වුණොත් මාස දෙකක පඩිය.” පියල් මගෙ දිහා බලාගෙන කිව්වා.
” ඔයාව බැඳලා තියෙන්නෙ මම මිසක් නංගි නෙමෙයිනෙ. එයා මේ කරන හරිය හොඳටම ඇති. ළමයි දෙන්නට ටියුෂන්වලටම මාසෙකට කොයිතරම් ගාණක් යනවද. කියන පරක්කුවෙන් ඒකත් එවනවා. ඔයාට ලජ්ජා නැද්ද ? ”
ගෙදර ඇවිල්ලත් මම කල්පනා කළේ පියල්ගෙ ඔපරේෂන් එකට සල්ලි හොයන හැටි. අපේ මහගෙදර ඉඩම තාම කාටවත් ලියලා තිබුණෙ නෑ. අයියගෙ ගේ තිබුණෙත් ඒ කිට්ටුවමයි. ඒ ඉඩම පර්චස් තිහක විතර එකක්. අයියා කවදාවත් වෙන දේපළක් ඉල්ලන්න ආවෙ නෑ.
” නියම ඉඩම් බෙදිල්ල. හරි නම් ඉන්න ළමයි ගාණට එක සමානවනෙ ඉඩම් බෙදන්න ඕෙන. අයියට පර්චස් තිහයි, නංගිට පර්චස් දහයයි. ෂුවර් එකටම ඔයාලගෙ අම්මල මහ ඉඩම නංගිට ලියනවා ” අයියා ගේ හදන්න පටන් ගත්තම පියල් කිව්වා.
“කොයිදේත් සාධාරණයක් තියෙන්න ඕනෙ. මට කමක් නෑ කාට කොහොම බෙදුවත්. වැඩක් කෙරෙන්න ඕනෙ ඒ පිළිවෙළට ” හැමදාම අපේ කතාව කෙළවර වුණේ හිත් අමනාපෙන්.
දරුවො දෙන්නට හවස පන්ති තිබුණ හින්දා මම ඒ ඇඳුම පිටින්ම මහගෙදර යන්න බස් එකට නැග්ගා. ගෙදර යනකොට අම්මා වී වේළනවා.
“ඇයි අම්මෙ කිව්වනම් මම එනවනෙ. අම්මට පුළුවන්ද මේ අව්වෙ කර වෙන්න. ඇයි අරයා ආවෙ නැද්ද ?”
මං අරයා කිව්වෙ අපේ නෑනට. එයා තමයි හැමදාම වෙල් වැඩ කාලෙට වී වේළන ඒවා කරන්නෙ.
” ඒකි තමයි වී පැදුර දැම්මෙ. දරුවව මොන්ටිසෝරියෙන් අරගෙන ඒවි. වී මාගල ඩිංගක් අතගාගන්න බැරි තරමකට මාව අයට වැටිලා නෑ බං. ”
” පොඩි උන් දෙන්නා එනකම් ඉඳලා ඒ දෙන්නවත් එක්කගෙන එන්න එපැයි බං. ” අම්මා කකුල් දෙක පඩියෙ ගසන ගමන් කිව්වා.
” ඒ දෙන්නට පන්ති අම්මෙ. එන්නෙ හවස් වෙලා.”
” බස් එකේ ආවෙ. ඇයි පියල් නැද්ද ? ”
“එයා ගෙදර වැඩක්.”
“පුදුමයි ඔය මිනිහට ගෙදර වැඩක් කරන්නවත් වෙලාව තිබුණොත්. ” අම්මා ඔලොක්කුවට වගේ කිව්වා.
“අම්මා ඉතින් හැමවෙලාවෙ දකින්නෙ එයාගෙ ඇදකුදනෙ ”
“ඇදේට තියෙන එක ඇදයි කියන්නෙ නැතුව කෙළින් කියලා කියන්නද උඹ මට කියන්නෙ.” අම්මා ගේ ඇතුළට යන ගමන් කිව්වා. මහ ගේ පාළුවට ගිහින් තිබුණා. ඉස්සර කොයිතරම් සෙනඟ හිටපු තැනක්ද?
” නංගි ලබන මාසෙ එනවා කිව්වෙ සති දෙකකට. ඒ ගමන්ම අර කුරුණෑගල කටයුත්ත බලන්න කියලා අයියයි මායි කතාවුණේ. තව කල් ගියොත් නම් එයාට වෙන්නෙ ගෙදරට නාකි වෙන්න ”
” නංගි කසාද බඳින්න අකැමැති නම් ඇයි අම්මලා එයාට බලකරන්නෙ ”
“කොයි වෙලාවෙද නංගි බඳින්න අකැමැතියි කිව්වෙ? මටනම් එහෙම එකක් කියලා නෑ. ඒවා මේ උඹලා වාසියට හදාගත්ත කතානෙ. උඹලා නම් කැමති වේවි ඒකි නොබැඳම ඉන්නවනම්.”
අම්මා එහෙම කිව්වට පස්සෙ පියල්ගෙ ඔපරේෂන් එක ගැන කතා නොකරන්න මම හිතාගත්තා.
“මනමාලයා මොනව කරන කෙනෙක්ද අම්මෙ?”
” බිස්නස් කරනවා කියන්නෙ. ආවම බලන්න බැරියෑ.”
හවස ගෙදර ආවමත් මට කල්පනා වුණේ නංගිගෙ කටයුත්ත ගැන.
“මොකද අම්මට කිව්වද විස්තරේ.”
රෑ නිදාගන්න ගියාම පියල් ඇහුවා.
“නෑ මම කියන්න ගියේ නෑ. නංගිව බලන්න මනමාලයෙක් එනවා කිව්වෙ ලබන මාසෙ. ඒ විස්තර කියනකොට මට මේ ගැන කියන්න බෑනෙ.” මං එහෙම කිව්වම පියල් මගෙ පැත්තට හැරුණා.
“කොහේ කෙනෙක්ද? ”
“කුරුණෑගල කිව්වෙ. බිස්නස් කරන අයලු. ගමගේ අයියලු කතා කළේ. අම්මා තව විස්තර කිව්වා. ”
“එහෙනම් විස්තර හොයාගන්න බැරිවෙන එකක් නෑ. මං ගමගේ අයියගෙන් අහගන්නම්කො.” පියල් කිව්වා.
“කරන දෙයක් පරිස්සමෙන්. ඕවා ආරංචි වුණොත් සහෝදරකමුත් නැති වෙනවා.” මම පියල්ට හිමින් කිව්වම එයා හිනා වුණා. මට දැනුණෙ සතුටක්. කොහොම හරි ඔපරේෂන් එක කරගන්න ලැබුණොත් ඒ ඇති.
“කුරුණෑගල කට්ිටිය කවදද එන්නෙ අම්මෙ.” මහගෙදර ගිය වෙලාවක මම අම්මගෙන් ඇහුවා. ඔපරේෂන් එක ගැන කියන්න කළින් ඒ ගැන අහලා බලන එකත් හොඳයිනෙ.
“ඒක කෙරෙන්නෙ නෑය කියන්නෙ”
අම්මා කිව්වා.
“ඇයි ඒ මිනිස්සු කැමති නැද්ද ? හරි අපරාදෙනෙ.” මං අම්මගෙ මූණ දිහා හොරෙන් බලන ගමන් ඇහුවා.
“ඒ මිනිස්සු නෙමෙයි, නංගි කැමති නෑලුනෙ.”
“ඒක තමයි මම අම්මලට කිව්වෙ, එයා ඕවට අකැමැති කියලා. ” මම එහෙම කිව්වම අම්මා මගෙ දිහා බලලා හිනවුණා.
“එයා ඔය කාවද හොයාගෙන කිවුවෙ. බැඳලා එංගලන්තෙ යනවලු. එයාට දෙන්න තියෙන දෙයක් විකුණලා සල්ලි ඉල්ලුවෙ. එංගලන්තෙ ගියහම වියදම් කරන්න සල්ලිත් ඕෙන කියලා. දරුවන්ගෙ සතුටනෙ ඉතින් අපෙත් සතුට. ” අම්මා තව මොන මොනවද කිව්වා. ඒත් මට ඒ කිසි දෙයක් හරියට ඇහුණේ නෑ.
එතකොට ඔපරේෂන් එකට සල්ලි කොහෙන්ද? ඒවා දෙන්නෙ කවුද? මට ඒවෙලාවෙ ඇහුණේ ඒ ප්‍රශ්න දෙක විතරමයි.
නිමි
බුද්ධිකා අබේසුන්දර