Tuesday, September 2, 2025
Epaper
Home නවකතාවමට මේ නිගූගේ වැඩ තිත්ත වෙලා

මට මේ නිගූගේ වැඩ තිත්ත වෙලා

by Thanushika

මෙතෙක් කතාව

නිගූ නේත්‍ර ද සිල්වා වෙළෙඳ ප්‍රචාරක ආයතනයක හිමිකරුවෙක් සේම විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙක් ද වෙයි. තම සරසවි පෙම්වතිය වන කාංචනා විවාහ කරගෙන සාරා නම් කුඩා දියණිය ද ලබා සිටින ඔහුගේ දිවි ගමන අනපේක්ෂිත කුණාටුවකට මුහුණ දෙයි. කාංචනා වෙනත් සම්බන්ධයක පැටලී සිටින බව දැනගන්නා නිගූ තමා වෙත ළං වූ පැරණි සිසුවියක වන අසෙනි සමඟ පෙමින් බැඳෙයි. කාංචනා, නිගූව ප්‍රතික්ෂේප කිරීමට හේතුව වන්නේ ඔහු අම්මාගේ ග්‍රහණය තුළ තවමත් සිර වී සිටීම බව කාංචනා හඟවයි. ඒ අතර තමාගේ සිත ආපසු නිගූ වෙත පැමිණෙන තුරු ඉවසා සිටින ලෙස කාංචනා පවසයි. එහෙත් නිගූ මේ දෙගිඩියාවේ ජීවත්වන්නට අකැමැති වෙයි. ඔහු අසෙනිගෙන් පතන්නේ යළිත් අම්මා කෙනකුගේ බඳු ආදරයකි. නිගූ තමා මුහුණ දී සිටින අවුල සමීප මිතුරකු වන සාලින්ද සමඟ පවසයි. කාංචනා දැන් නිගූව නොසලකා සිටින බැවින් එය තේරුම් ගෙන ආදරය කරන කෙනකුගේ ආදරය ලබමින් ජීවත් වන්නැයි සාලින්ද පවසයි. මේ අතර තම වේදනාකාරී විවාහ දිවියේ රිදවුම්වලින් මඟ හැර සිටින්නට ඔහු මාලබේ ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගනියි. සාරාගේ උපන් දිනය දා අම්මා සමඟ නිවෙසට පැමිණ උපන් දින සාදයේ මිතුරන් අතර සිටින නිගූට, කාංචනා විසින් සාරදා නම් යුවතියක් හඳුන්වා දෙයි. සාරදා නිගූගේ කලාත්මක ජීවිතය කෙරෙහි දැඩිව ආසක්තව සිටින යුවතියකි.

අද එතැන් සිට…

ඇතැම් දවස් වෙහෙසකර වන්නේ වැඩ අධික වීම නිසාම නොවෙයි. කොතරම් වැඩ අධික දවසක වුවද සැහැල්ලුව රැගෙන එන හැඟීමක් සිත පුරා දැවටෙන විට වෙහෙස නිවී යයි. ඇඟට දැනෙන වෙහෙස සංසිඳී සිත සුපින ලොවක සැරිසරන්නට ගනියි. කිසිදු අස්වැසිල්ලකින් තොරව ගෙදර රාජකාරිවලත්, ඔෆිස් රාජකාරිවලත් නියැළී වෙහෙසට පත් දවසක කාංචනා ඉක්මනින් නි‍ෙවසට පැමිණීම සඳහා වේගයෙන් රිය පදවයි.

සාරාගේ පාසලෙහි පන්ති කව රැස්වීමට ද ගොස් අමාත්‍යාංශයට පැමිණ අත්‍යවශ්‍යම රාජකාරි රැසක් නිමා කළ කාංචනා, ඉක්මනින් නිෙවසට යාමට තීරණය කළේ සාරාගේ බැලේ කොන්සර්ට් එකට අවැසි කොස්ටියුම් කිහිපයක් මසා ගැනීමට ඇය කැඳවාගෙන යාමට තිබූ නිසයි. නිගූ මේ දේවල් දන්නේවත් නැති එක ගැන කාංචනාගේ සිතේ තරහක් උපදියි. සාරා ලස්සනට නටන විට, ඇගේ අහිංසක ගති පැවතුම් සහ දුඹුරු ඇස් දකින විට හැමෝම ඈ ගැන සාවධාන වෙති. එවිට බොහෝ දෙනා ඇයව හඳුනා ගන්නේ ” ඔය අර නිගූ නේත්‍ර ද සිල්වාගේ දුවනෙ.. පේනව ද තාත්තා වගේම ඇති” කියමිනි. එවිට කාංචනාට තරහක් ද නිගූ ගැන සියුම් ඊර්ෂ්‍යාවක් ද උපදියි.

දකුණුපසින් රිය පදවාගෙන යන අතර වාහන නළා හඬක් කිහිපවිටක් ඇසුණු බැවින් කාංචනා තම රථය වම්පසට කරගන්නට සැරසෙන්නේ පසුපසින් එන රථයට ඉදිරියට යාමට ඉඩදෙනු පිණිසයි. එහෙත් කිහිපවිටක් නළාව හඬවා වම්පසින් ඉදිරියට ඇදෙන කැබ් රථය කාංචනාගේ රථයෙහි වම්පස බඳ වැදී ඇතිල්ලී සීරීගෙන යයි. ඈ සැණින් නැවත දකුණුපසට රථය ගන්නා විට දකුණුපසින් ඉස්සර කළ බස් රථයෙහි නොගැටී බේරා ගන්නේ අනූනවයෙනි. රථය වම්පසට ගෙන නවතා ගන්නවාත් සමඟම ඉදිරියෙන් නතර කළ වැදුණු කැබ් රථයෙන් බැස පැමිණෙන මිනිහෙක් කාංචනාට බණින්නට පටන් ගනියි.

” මොනාද මිස් ඔයා කළේ. එක පැත්තකින්වත් අපිට ඉස්සර කරන්න බෑනෙ ඔයා යන විදිහට.”

කාංචනා බැස, වැදී සීරීගෙන ගොස් ඇති වම්පස දොරවල් දෙක දෙස බලයි. බැණ වදින මිනිසාට “සොරි” කියන්නට වුවමනා වුවද ඔහුගේ බැණ වැදීමට ඉඩ දී නිහඬ වෙයි. අනතුරුව කැබි හෝල් එකෙන් ඉන්ෂුවරන්ස් කාඩ්පත ගෙන නොම්බරය ඩයල් කරයි. දොරවල් දෙකම අලුතින් දාන්නට වනු ඇතැයි ඇයට සිතෙයි. ඉන්ෂුවරන්ස් එකෙන් එනතුරු බලා සිටින්නට සිදු වෙයි. කොස්ටියුම් මැසීමට යාම කල් දමන්නට සිදු වෙයි. සිදු වූ අනතුර ගැන කියන්නට නිගූට කතා කරන්නට සිතෙයි. නිගූට තුන්වතාවක් ඩයල් කළද ප්‍රතිචාර නොලැබෙයි. ඉන්පසු ඇයට මතක් වන්නේ අශාන්වයි. අශාන් සැණින් ආන්ස්වර් කරයි.

” අශාන් කාර් එක හැප්පුණා.. ඔයාට එන්න පුළුවන් ද .. මං ඉන්නෙ හෝමාගම පහු කරලා ටික දුරක් එද්දි වම් පැත්තෙ පාර අයිනෙ නවත්තගෙන… අනේ එන්නකො ඩාලිං.. මට තේරෙන්නෙ නෑ මොනාද කරන්නෙ කියලා”

” ඔෆිස් කැබ් එකේ එන්නද මිස්?”

” නෑ නෑ ඔයා පික් මී එකක් දාගන්න.. මේක ගරාජ් එහෙකට දාන්න වෙයි… මට බෑ මේ ෂොක් එකත් එක්ක ඩ්‍රයිව් කරන්න”

අශාන් එනතුරු යළිත් කිහිප වතාවක්ම කාංචනා නිගූට කතා කළද ප්‍රතිචාර නොලැබෙයි. කාංචනාට කේන්තියි.

අශාන් අමාත්‍යාංශයේ කැබ් රථය එළවන රියැදුරුයි. ඔහු වයස විසි අටක, විසිනවයක පමණ විවාහක තරුණයකි. කාංචනා ඔහු සමඟ ගමන් බිමන් යන්නට කැමැතියි. ඇයට අවශ්‍ය හැම දෙයක්ම වචනයෙන් කියා ඉල්ලන්නට පෙර ඉටු කර දෙයි. නිගූගෙන් දවසින් දවස සිතින් දුරස් වන කාංචනා ළං වූයේ අශාන්ටයි. අශාන්ට කාංචනාගේ ඇගෑලුම්කම දැනුණේ ඇගේ අනුරාගය තමා වෙත යොමු වී ඇති ලෙසිනි. මේ තරම් වටිනා, මේ තරම් සරාගී ලස්සනකින් යුතු ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකගේ ඇල්ම බැල්ම තමා වැනි රියැදුරකුට හිමි වීම ගැන අශාන් ඉන්නේ අසීමිත ආත්මාඩම්බරයකිනි. එබැවින් ඈ කියන ඕනෑම දෙයක් කරන්නට ඔහු එක පයින් කැමැතියි.

අශාන් සමඟ කාංචනාගේ හාදකම ලියලා වැඩෙන්නේ අමාත්‍යාංශයට අයත් නිවාඩු නිකේතනවල අලුත්වැඩියා කටයුතු කිරීම සඳහා ඒවායේ තත්ත්වය සොයා බැලීමට ගිය ගමන් බිමන්වලදීයි. දිගන මහවැලි ගඟ සමීපයේ තිබුණු නිවාඩු නිකේතනය බැලීමට ගිය දවස කාංචනාගේ සිතෙහි ඇඳී ඇත්තේ මිහිරිම සැමරුම් රැසක් සමඟිනි. කොළඹින් පිටත් වන විට කාංචනා ගමන් කළේ කැබ් රථයේ පිටුපස අසුනේයි. එහෙත් ආපසු එනවිට කොළඹට සමීප වනතුරු ඈ ඉදිරිපස අසුනේ අශාන් සමඟ විහිළු තහළු කරමින්, නොයෙක් දේවල් ගැන කතා කරමින් පැමිණෙයි. අශාන් තම බිරිය ගැන ද පුංචි පුතුගේ සුරතලය ගැන ද කාංචනා සමඟ පවසයි. තමාට වඩා අතිශයින් පහළ මට්ටමක සේවකයකු වුවද කාංචනාට ඒ වගක් නොදැනෙන තරම් අශාන් ළෙන්ගතු මිතුරකු වෙයි. මේ ගමනින් පසු කාංචනා තමාගේ සිතේ ඇති හැමදෙයක්ම කියන්නට තෝරා ගන්නේ අශාන්වයි. නිගූගෙන් සිදුවන වෙනස්කම්, පොඩි පොඩි නොසලකා හැරීම්, ඔහුගේ අඩුපාඩු මෙන්ම ඔහුගේ දක්ෂතා ගැනත් කාංචනා අශාන් සමඟ දොඩමළු වෙයි.

“ඔයා දන්නව ද අශාන්, අපේ නිගූ ඊයේ හොඳටම බීලා, ඇවිත් නිදා ගත්තෙ බැල්කනියෙ..”

” අනේ අශාන් මට නම් මේ නිගූගේ වැඩ තිත්ත වෙලා තියෙන්නෙ.. දවස් ගාණකට පස්සෙ ඊයේ ගෙදර ආවේ. ඒත් ළමයගේ දෙයක්වත් කතා කරගන්න මේ මිනිහට වෙලාවක් හදාගන්න බෑනේ. ඒ ඇවිල්ලත් යාළුවො සෙට් එකක් ඇවිත් මහ රෑ දෙගොඩ හරියක් වෙනකල් වාද විවාද.. කලාවයි, දේශපාලනෙයි ඇර අපි උන්නද මළා ද බලන්න එයාට වෙලාවක් නෑ”

අශාන් වැනි තරුණයකු ළඟින් සිටින විට කාංචනාට දැනෙන හයිය වචනයෙන් කිව නොහැකි තරම්ය. ඔහුගේ පෙනුම කඩවසම්ය. ඔහුට ඇත්තේ හීන් දිගටි ඇස් දෙකකි. සිනාසෙන විට ඒ ඇස් තනි ඉරක් බවට පත් වෙයි. ඔහු සිනිඳුවට රැවුල බා සිටියි. දිගන ගිය දවසේ නිවාඩු නිකේතනයේ මිදුලෙහි වූ ජල කරාමයෙන් මුහුණ සෝදා ගැනීම සඳහා කමිසය ගැල වූ අවස්ථාවේ කාංචනා අශාන්ගේ සිරුර දකියි. ඒ සිරුර දුටුමනත ඇගේ මතකයට නැගෙන්නේ තාත්තා විසින් අඳින ලද පිරිමි සිරුරුවල හැඩතලයි. වී හැඩැති සිරුරත්, බාහු යුග්මයේ පිරුණු මස් ගොබත් සහිත කඩවසම් පිරිමි සිරුරු ගැන කාංචනාට ඇත්තේ අර්චනීය හැඟීමකි. ඒ හැඟීම තාත්තාගේ චිත්‍ර නිසාම ඇති වූවක් යැයි ඇයට සිතෙයි. කමිසයේ නොපියවුණු කරින් පිටතට මතු වුණු අශාන්ගේ පපුවෙහි ඝන කළු රෝම අත ගා බලන්නට තරම් ආශාවක් ඇති වූ පළමු අවස්ථාවේ කාංචනා තුළ තිගැස්සුම් කුතුහලයක් ද තමාගේම අවලම් සිතුවිලි ගැන ලජ්ජාවක් ද ඇති වෙයි.

තවත් කොටසකින් හමුවෙමු

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?