Tuesday, April 7, 2026
Epaper
Home නවකතාවලේබල් නැති බැඳීමක්

ලේබල් නැති බැඳීමක්

by Mavan Perera

අහස පොරකමින් තිබුණේ මහා වැස්සක පෙරනිමිති පෙන්වමිනි. නගරයේ කාර්යබහුල ඝෝෂාවෙන් මඳකට මිදී, නිදහසේ හුස්මක් ගැනීමට හැකි වැව රවුම අසල තිබූ පැරණි ලී බංකුව මත අනුහස් සහ කෙවින් වාඩි වී සිටියහ. දෙදෙනා අතර තිබුණේ දැඩි නිහඬතාවකි. අනුහස් වැව දෙස බලා තේරුම් ගත නොහැකි සිතුවිල්ලක අතරමං වී සිටින අතර, කෙවින් සිටියේ තම මිතුරා දෙස විමසිලිමත් බැල්මකින් බලාගෙනය.

ඒ නිහඬතාව ඉවසාගත නොහැකි වූ තැන කෙවින් එය බිඳ දැමුවේය.
“මොකක්ද බං උඹල දෙන්නා අතරෙ තියෙන ඔය සම්බන්ධෙ?” කෙවින් ඇසුවේ සැකමුසු බැල්මකිනි.

අනුහස් වැව දෙස බලාගෙනම හීන් සිනහවක් පෑවේය. ඒ සිනහවේ තිබුණේ උත්තර දීමට අපහසු ප්‍රශ්නයකට ලැබුණු සැහැල්ලුවකි. ඔහු සෙමින් කෙවින් දෙසට හැරුණේය. “මොකක් ගැනද උඹ ඔය අහන්නෙ?”

“නෑ බං… මං දැකලා තියෙනවා උඹලා දෙන්නා ඉන්න විදිහ. ඒකි උඹේ හොඳම යාළුවා විතරයි කියලා උඹල දෙන්නා දිහා බලන කාටවත් පේන්නෙ නෑ. මිනිස්සු කියන කතා උඹ දන්නවනේ.” කෙවින් සිය සැකය තහවුරු කරන්නට උත්සාහ කළේය. “දැන් බලපන්, ගිය සතියේ සමනලීට උණ හැදුණ වෙලාවේ උඹ වැඩත් දාලා ඒකිව බලන්න දිව්වේ. ඒකි වෙනුවෙන් උඹ ඕනම දේකට ලෑස්තියි. ඒක යාළුකමක්ද?”

අනුහස් සන්සුන්ව කෙවින් දෙස බැලුවේය. “කවුරුත් අපිව දකින විදිහෙන් මට වැඩක් නෑ බං. ඔව්… ඒකි තමයි මගේ හොඳම යාළුවා. මගේ සහෝදරී. කාටත් වඩා මාව තේරුම් ගත්ත එකම එකී ඒ.”

කෙවින්ට අනුහස්ගේ පිළිතුර එතරම් දිරෙව්වේ නැත. “ඉතින් ඇයි උඹලට බැරි ආදරේ කරන්න? එතකොට ඔය ඔක්කොම ප්‍රශ්න ඉවරයිනේ. උඹලට උඹලව තේරෙනවා. දෙන්නට දෙන්නා ගැළපෙනවා. ඇයි මේ යාළුකම කියන ලේබලේ අලවගෙන?”

අනුහස් කෙවින් දෙසට හැරුණේය. ඔහුගේ දෑස්වල තිබුණේ ගැඹුරු පණිවිඩයකි. “කොල්ලෙක් කෙල්ලෙක්ව ළඟින් ආශ්‍රය කරන්න නම් එතැන තියෙන්න ඕනෙ ආදරේ විතරමද කෙවින්? ඇයි යාළුකම, සහෝදරකම තියෙන්න බැරිද? මිනිස්සු හැම බැඳීමකටම ‘ආදරේ’ කියන ලේබලය අලවන්න හදන්නේ ඇයි? ආදරේ කියන්නේ හිමිකර ගැනීමක් නම්, මට ඒකිව හිමිකර ගන්න ඕනේ නෑ. මට ඕනේ ඒකිව හැමදාම මගේ ජීවිතේ ළඟින්ම තියාගන්න විතරයි.”

“ඒත් බං… සමාජේ පිළිගන්නේ නැති බැඳීම්වලින් අන්තිමට වෙන්නේ දෙන්නටම ප්‍රශ්න ඇතිවෙන එක.” කෙවින් තර්ක කළේය. “උඹ දන්නවානෙ සමනලී ලස්සනයි. ඕනෑම කොල්ලෙක් ඒකිට හිත පටලවාගන්න බලනවා. එතකොට උඹ මැදට පැනලා ඒකිට ‘සහෝදරයා’ වෙන්න ගියොත් උඹට වෙන්නේ ඒකිව නැති කරගන්න.”

අනුහස් සන්සුන්ව පිළිතුරු දුන්නේය. “එහෙම නැතිවෙනවා නම් ඒක කවදාවත් මගේ වෙලා තිබිලා නෑ කෙවින්. මට ඕනේ ඒකි සතුටින් ඉන්නවා බලන්න. ඒක මගේ ළඟද වෙන කෙනෙක් ළඟද කියන එක මට අදාළ නෑ. ඒ බැඳීම කොච්චර ශක්තිමත්ද කියනවා නම් සමනලී කවදා හරි කසාද බැන්දත් ඒ මනුස්සයා මාව සැක කරන්නේ නැති තැනට මම ඒ විශ්වාසය ගොඩනඟනවා.”

“ඉතින් උඹ වෙන කෙල්ලෙක්ට ආදරේ කරන්නෙත් නෑනේ. උඹේ මුළු ලෝකයම ඒකි වෙලා.” කෙවින් ඇසුවේය.

“දවසක මං ආදරේ කරයි බං.” අනුහස් ඈත බලමින් කීවේය. “හැබැයි ආදරේටත් වඩා ඉහළ තැනක මේ යාළුකම හැමදාමත් තියෙයි. අන්න ඒ බැඳීම තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ලැබුණොත් මං ආදරේ කරයි. නැත්නම් මං තනිකඩව ඉඳියි. මොකද මට මේ යාළුකම පාවා දෙන්න බෑ.”

කෙවින් සුසුමක් හෙළුවේය. “එතකොට ඒකි උඹට ආදරෙයි කියලා උඹට කවදාවත් හිතිලා නැද්ද? කෙල්ලෙක් ඔහොම ළඟින් ඉන්නේ නිකම්ම නෙවෙයිනේ.”

“මොකද නැත්තෙ? ඒකි අම්මට තාත්තට පස්සෙ වැඩියෙන්ම ආදරේ කරන්නෙ මට. හැබැයි ඒ උඹ හිතන විදිහට නෙවෙයි කෙවින්. මං තමයි ඒකිගෙ සහෝදරයා. මට වගේම ඒකිටත් මේ බැඳීම වටිනවා. සමහරවිට ආදරේටත් වඩා. ඒකිත් ආදරේ කරයි දවසක. හැබැයි මං හැමදාමත් ඒකිගෙ හිතේ මේ ඉන්න තැනම ඉඳියි වෙනසක් නැතුවම.”

කෙවින් ඔළුව වැනුවේ අදහාගත නොහැකි විදිහටය. “උඹල දෙන්නා ගැනනම් මට හිතාගන්න බෑ බං. උඹල මේ කරන්නේ ජීවිතේ එක්ක කරන අමුතු සෙල්ලමක්.”

එදින රාත්‍රියේ අනුහස් සිය කාමරයේ ජනේලය අසල සිටගෙන වැස්ස දෙස බලා සිටියේය. ජනේල පියන් අතරින් එන සීතල සුළඟ ඔහුගේ හිතට අමුතුම සහනයක් ගෙන දුන්නේය. කෙවින් ඇසූ ප්‍රශ්න ඔහුගේ හිත ඇතුළේ දෝංකාර දුන්නේය.

අනුහස්ගේ මතකය වසර හතරක් ඈතට දිව ගියේය. විශ්වවිද්‍යාලයේ පළමු වසරේදී සමනලී හමු වූ ආකාරය ඔහුට තවමත් මතකය. එදා පියාගේ මරණයෙන් තනි වී සිටි ඔහුට, හුදෙකලාවෙන් මිදෙන්නට අත දුන්නේ ඇයයි. සමනලී යනු නිකම්ම යෙහෙළියක් නොවේ. ඇය ඔහුගේ ජීවිතයේ අඳුරුම කාල පරිච්ඡේදවලදී ඔහුට හමු වූ ආලෝකයයි. ඔවුන් දෙදෙනා අතර කිසිදා රහස් තිබුණේ නැත. එක්කෝ සමනලීගේ ප්‍රශ්නයක්, නැත්නම් අනුහස්ගේ ගැටලුවක්. ඔවුන් දෙදෙනා පැය ගණන් කතා කරමින් ඒවා විසඳා ගත්හ.

සති කිහිපයකට පසු, එක් සැන්දෑවක සමනලී අනුහස් හමුවීමට ආවාය. ඇයගේ මුහුණේ අමුතුම දීප්තියක් විය. ඇය වෙනදාට වඩා මඳක් කලබල වී සිටින බව අනුහස්ට වැටහුණි.

“අනුහස්… මං අද ඔයාට දෙයක් කියන්න ආවේ.” ඇය සන්සුන්ව කීවාය.

අනුහස් ඇය දෙස බලා සිටියේය. “මොකක්ද සමනලී? කියන්න. ඔයාගේ මූණෙන් පේනවා මොකක් හරි ලොකු දෙයක් කියලා.”

“මට කෙනෙක්ව හමු වුණා අනුහස්. එයා අපේ ඔෆිස් එකේ වැඩ කරන්නේ. නම ඉසුරු. එයා මට ආදරෙයි කියනවා. ගෙවල්වලිනුත් කැමතියි.” සමනලී මඳක් නතර වී අනුහස්ගේ මුහුණ දෙස බැලුවාය. “මං එයාට ඔයා ගැන හැමදේම කිවුවා අනුහස්. මං කිව්වා මගේ ජීවිතේ ඔයාට තියෙන තැන කාටවත් ගන්න බැරි බව. ඔයා මගේ හොඳම යාළුවා විතරක් නෙවෙයි, මගේ ලේ නෑකමක් නැති සහෝදරයා කියලා මං එයාට කිවුවා.”

අනුහස් සිනාසෙමින් ඇසුවේය, “ඉතින් එයා මොකද කිව්වේ? එයාට ඉරිසියා හිතුණේ නැද්ද? සාමාන්‍යයෙන් කොල්ලෝ කැමැති නෑනේ තමන්ගේ ගෑනු ළමයට ඔහොම ළඟින් ඉන්න පිරිමි යාළුවෝ ඉන්නවට.”

“මුලින් නම් එයා ටිකක් පුදුම වුණා.” සමනලී දිගු හුස්මක් ගත්තාය. එයා ඇහුවා ‘ඇයි ඔයා අනුහස්ටම ආදරේ නොකරන්නේ? ඔච්චර තේරුම් ගැනීමක් තියෙන එකේ?’ කියලා. එතකොට මං කිවුවා ‘අනුහස් එක්ක තියෙන බැඳීම ආදරේට වඩා ගොඩක් ඉහළ එකක්. ඒක මට නැති කරගන්න ඕනේ නෑ. ප්‍රේමය කියන එක දවසක නැති වෙන්න පුළුවන්, රණ්ඩු වෙලා වෙන් වෙන්න පුළුවන්. හැබැයි මගේ යාළුකම අනුහස් එක්ක හැමදාම තියෙනවා කියලා. එයා ඒක ගොඩක් අගය කළා අනුහස්. එයා කිවුවා ‘සමනලීට අනුහස් වගේ යාළුවෙක් ඉන්න එක මටත් හයියක්’ කියලා.”

අනුහස්ගේ හදවත සතුටින් පිරී ගියේය. ඔහු සෙවිවේ මෙවැනි අවංකකමකි. “මං ගොඩක් සතුටුයි සමනලී. මං දන්නවා ඔයාට කවදා හරි ඔයාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ලැබෙනවා කියලා. දැන් ඉතින් මට මගේ සහෝදරයාගේ මඟුල් ගෙදර ලෑස්ති කරන්න පුළුවන්.”

“අනුහස්…” සමනලී සෙමින් ඔහුගේ අතින් ඇල්ලුවාය. ඇගේ දෑස් කඳුළින් පිරිණි. “ඔයා කවදා හරි බැන්දත් මං ඔයාගේ ජීවිතේ මේ ඉන්න තැනින් අඟලක්වත් එහාට යන්න එපා. මට ඒක දරාගන්න බැරි වෙයි. ඔයාගේ බිරියට මාව තේරුම් ගන්න බැරි වුණොත් මම මොකද කරන්නේ?”

අනුහස් ඇයගේ හිස පිරිමැද්දේය. “මං කසාද බඳින්නේ මාවයි, මගේ යාළුකමයි දෙකම තේරුම් ගන්න පුළුවන් කෙල්ලෙක්ව විතරයි සමනලී. මං කොහේ යන්නද? උඹ තමයි මගේ එකම සහෝදරී. මගේ හෙවණැල්ල. මං හැමදාම මෙතනම ඉන්නවා. ඉසුරුට වඩා වැඩියෙන් මම උඹේ ප්‍රශ්නවලදී උඹ ළඟ ඉන්නවා.”

එදින අනුහස්ට දැනුණේ මහා බරකින් නිදහස් වූවාක් මෙනි. කෙවින් එදා ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිළිතුර දැන් ලැබී ඇත. ප්‍රේමය යනු තවත් බැඳීමක් පමණි. එහෙත් සැබෑ මිතුදම යනු ආත්මයන් දෙකක් අතර ඇති වන අවබෝධයකි. එය විවාහයකින් හෝ ප්‍රේමයකින් කෙළවර විය යුතු නැත.

මිනිස්සුන්ට තේරුම් ගැනීමට අපහසු වන්නේත්, ලෝකය පුදුම වන්නේත් අන්න ඒ බැඳීම ගැනය. ප්‍රේමයටත් වඩා ගැඹුරු, සහෝදරකමටත් වඩා ළෙන්ගතු, කිසිදු ලේබලයකින් විග්‍රහ කළ නොහැකි ඒ අසිරිමත් බැඳීම ජීවිතයට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. අනුහස් සහ සමනලී ඒ අතින් වාසනාවන්තයෝ වූහ. ඔවුන් අතර තිබුණේ සිරුරෙන් සිරුරට පතන ආදරයක් නොව, හදවතින් හදවතට ගලා යන ළෙන්ගතුකමකි.

අනුහස් තමාටම කියා ගත්තේ, “සමහර විට ආදරය කියන්නේ අත්පත් කර ගැනීම නෙවෙයි, අත් හැරීම ඇතුළේ තියෙන නිදහස් බැඳීමක්.”

එදින රාත්‍රියේ වැස්ස නතර වී තිබුණි. වලාකුළු අතරින් පෑයූ සඳ එළිය පොළොවට වැටී තිබුණේ අලුත් බලාපොරොත්තුවක් රැගෙනය. අනුහස් සිය ජංගම දුරකතනය ගෙන සමනලීට පණිවිඩයක් යැවීය.

“පරිස්සමෙන් ඉන්න මගේ හොඳම යාළුවා… මං හැමදාමත් ඔයා එක්ක ඉන්නවා. හෙට උදේට ඉසුරු එක්ක මාව හම්බෙන්න එන්න.”

සමනලීගෙන් සැණින් පිළිතුරක් ලැබුණි.

“මං දන්නවා අනුහස්… ඔයා නැති ලෝකයක් මට නෑ. හෙට අපි එනවා. ඔයා තමයි මගේ හැමදේම.”

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?