සෑම විහාරස්ථානයකම පාහේ මේ දිනවල වස් පින්කම් පැවැත්වේ. මේ වස් පින්කම් වල අවසානය වන්නේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයයි. එය සියලු බෞද්ධ ජනතාව අතර ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ මහානීය පුණ්‍ය කර්මයක් ලෙස සැලකේ.
භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ජීවමාන යුගයේදී පාවා නුවර වාසය කළ භික්ෂූන් වහන්සේලා තිස්නමක් පිළිබඳව සිදුවීමක් මේ කඨින පින්කමේ ආරම්භයට මුල් වී තිබේ.
එම භික්‍ෂූන් වහන්සේලා තිස්නම කොසොල් රටේ රාජ කුමාරවරුව සිට පැවිදි වූ භික්‍ෂූන් වහන්සේලා වෙති. උන්වහන්සේලාගෙන් වැඩිමහල් භික්ෂූන් වහන්සේ අනාගාමී වූ අතර බාලම භික්ෂූන් වහන්සේ සෝතාපන්න වූ භික්ෂුවකි.
උතුම් ආර්ය ශීලයෙන් යුක්ත වූ මෙම භික්ෂූන් වහන්සේලා තෙළෙස් ධූතාංග අතරින් ධූතාංග හතරක් සමාදන් වී තිබිණි.
එවා නම්,
1. ආරඤ්ඤිකාංගය –
කැලෑවකම වාසය කිරීම
2. පිණ්ඩපාතිකාංගය –
සිඟා යෑමෙන් දානය ලැබා ගැනීම හෙවත් පිණ්ඩපාතයෙන්ම යැපීම.
3. පාංශුකූලිකාංගය –
ඉවත දැමූ රෙදි කැබලි වලින්ම චීවරයක් සකස් කර ගැනීම හෙවත්පාංශුකූල චීවරම දැරීම. ( මළමිනී එතූවස්ත්‍රය ඇතුළුව පංශුකූල වර්ග 23 කි.)
4. තෙචීවරිකාංගය –
අඳනය, තනිපට සිවුර, දෙපට සිවුර යන සිවුරු වර්ග තුනින් යුතු එක් සිවුරු කට්ටලයක් පමණක් භාවිතා කිරීම යනු එම ධූතාංගයි.
මේ භික්ෂූන් වහන්සේ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බැහැ දැකීමට පිටත් වූහ. එහි අරමුණ වූයේ සැවැත් නුවර වස් වාසය කිරීමයි. නමුත් සාකේත නුවරට පැමිණෙන විටම ඇසළ පෝය උදා වූයෙන් සැවැත්නුවරය යා නොහැකි විය. සාකේත නුවරම වස් වාසය කරන්නට සිදුවිය. සැවැත් නුවරට තවත් දුර තිබුණේ යොදුන් හයක් පමණි. මෙතරම් සමීපයේ සිටත් භාග්‍යවතුන් වහන්සේ දකින්නට යෑමට උන්වහන්සේලාට නොහැකි විය.
වප් පෝය උදාවෙන් වස්සාන කාලය නිම වූ පසු මහ වැසි නොතකා භික්ෂූන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ බැහැදැකීමට පිටත් විය. රෙදි කැබැල්ලෙන් කැබැල්ල එක්කොට මසා සකස් කොට තිබූ රූක්ෂ පාංශුකූල සිවුරු වැහිදියෙන් තෙමී බර විය. තුන් සිවුරෙන් පමණක් යැපුණු බැවින් හුවමාරු කොට පෙරවීමට වෙනත් සිවුරු ද නොවිණි. මඩවලවල් වල වැටෙමින්, වැසි දියෙන් තෙමෙමින්, සීතල සිවුරු පොරවමින් ඒ භික්‍ෂූන් වහන්සේලා බොහෝ පීඩාවටත් කායික දුකටත් පත් විය.
භාග්‍යවතුන් වහන්සේ බැහැ දැක වන්දනා කළ මොහොතේදී කරුණු විමසා බැලූ භාග්‍යවතුන් වහන්සේ එම භික්ෂූන් වහන්සේට තිබූ සිවුරු අවශ්‍යතාවයන් සපුරා ගැනීමට කඨිනයක් ඇතිරීමට අනුදැන වදාළ සේක.
“අනුජානාමි භික්ඛවෙ, වස්සං වුත්ථානං භික්ඛූනං කඨිනං අත්ථරිතුං. ”
” මහණෙනි වස් වාසය කොට අවසන් වූ භික්ෂූන්ට කඨිනයක් ඇතිරීමට අනුදැන වදාරමි”
ඒ වැසි දියෙන් සිවුරු දිරාපත් වූ භික්ෂූන් වහන්සේට නැවත පෙරවීමට සිවුරු සකසා ගැනීමේ අරමුණිනි.
පාවෙය්‍යක භික්ෂූන් වහන්සේලා පාංශුකූලිකාංගය පිරූ භික්ෂූන් වහන්සේලා වූ බැවින් ගිහියන් පිදූ ගෘහපති චීවරයක් කඨින චීවරය ලෙස නොගන්නට ඇත. පාංශුකූල වස්ත්‍රවලින්ම චීවර සකස් කරගන්නට ඇත. එසේ ආරම්භ වූ කඨින චීවර පුණ්‍ය මහෝත්සවය අද දක්වා විවිධ සංස්කෘතික අංග එක්වෙමින් පවත්වාගෙන එනු ලැබේ. සමහර කෙනෙක් වර්තමානයේදී කඨින චීවර පූජාවෙහි විනයානුකූල බව නොදැනීම විෂම වූ කටයුතු ද සිදු කරති.
එයින් එක් ප්‍රධාන කටයුත්තක් වන්නේ වස් වාසය ආරම්භ කෙරෙන ඇසළ පෝය දිනයේ සිට ගෙයින් ගෙට කඨින චීවරය වැඩම කරවීමේ කටයුත්තයි.
එය විනය කාරණාවන් නොදන්නා බොළඳ ගිහියන්ගේ කටයුත්තකි.
මෙහිදී කිව යුතු පළමුවන කාරණය වන්නේ වස් වාසය කොට අවසන් වී මහා සංඝයා විසින් කඨිනත්ථරණය කොට සකසන තෙක් ‘කඨින චීවරය’ කියා චීවරයක් තිබිය නොහැකි බවයි.
එබැවින් ඇසළ, නිකිණි, බිනර පෝය තුනත් ගතවන තෙක් කඨින චීවරයක් විද්‍යමාන නොවේ. එසේ තිබියදී කඨින චීවරය නිවෙස්වලට වඩම්මනවා යැයි කීමම විහිළුවකි.
කඨින චීවරය සැකසීම සඳහා පිදෙන වස්ත්‍රය හෙවත් කඨින දුස්සය පූජා කිරීමට ගිහියන්ට පුළුවන්කම තිබේ. කඨින පින්කමකදී සිදු කෙරෙන කාර්යය ද එයයි. මැසූ සිවුරක් පූජා කළ ද එය කඨින චීවරයක් බවට පත් වන්නේ සංඝයා වහන්සේලාගේ සංඝ සම්මුතියෙන්ම පමණි.
ගිහියන් විසින් සිදුකරන කඨින දුස්ස පූජාවට භික්‍ෂූන් වහන්සේලාට බොහෝ සෙයින් මැදිහත් විය නොහැක. විනයානුකූල තොරතුරු දැනුවත් කරනවා මිස චීවරය ගෙයින් ගෙට වැඩම කරවීමට භික්ෂූන් වහන්සේලා කිසිසේත්ම සම්බන්ධ නොවෙති.
සමහර ගිහියන් මෙවැනි කටයුතු සිදු කරන්නේ මුදල් ඉපයීම එකම අරමුණ කොටගෙනය. විහාරස්ථානයේ සංවර්ධන කටයුතු පිණිස ආධාර උපකාර කිරීම නම් යහපත් කටයුත්තකි. නමුත් කඨින චීවරය සිඟමනෙහි යැවීම කිසිසේත්ම කළයුතු නොවේ.
සමහරෙක් මෙම කඨින පින්කම සම්පූර්ණයෙන්ම ව්‍යාපාරයක් කොටගෙන තිබේ. නිෙවසකට එම සිවුරු රෙද්ද වැඩම කරවීම සඳහා මෙපමණ මුදල් අවශ්‍යයැයි දැනුම් දී මුදල් එකතු කිරීමද සමහර ගිහියන් විසින් සිදුකරති. ඒවා විනයානුකූලව කල්පනා කොට බලන විට ඉතා ඛේදනීය කරුණු වෙති.
ඒවා පින්කම් නොවන අතර ශාසනය අතුරුදහන් වීමට උපකාර කරන මහා පාපකර්මයන්ය.
කඨින චීවරය සැකසීම සඳහා ගිහියන් විසින් වස්ත්‍රයක් පූජා කළ විට භික්‍ෂූන් වහන්සේලා විසින් සංඝ සම්මුතියෙන් කඨිනය ඇතිරීම සිදුකරනු ලබති.
එහිදී වස්ත්‍රය කැපීම, සිවුර මැසීම, පඬු පෙවීම ආදිය සිදුකෙරේ. ඉන්පසු සකස් කළ සිවුර සංඝ සම්මුතියෙන් වස් වාසය කළ භික්ෂූන් වහන්සේලා අතර එක් භික්ෂුවකට පවරනු ලැබේ.
සිවුර ලැබූ භික්ෂුව තමන් වහන්සේ දරන පැරැණි සිවුර විනයානුකූලව පච්චුද්ධාරණය ( හෙවත් භාවිතයෙන් ඉවත් කිරීම) කළ යුතුය. ඉන්පසුව නව කඨින චීවරය අධිෂ්ඨාන කළ යුතුය. ඒ අතර කප්බින්දු තැබීම ද සිදු කළයුතුය. ඒ දුර්වර්ණකාරක ශික්ෂාපදයට අනුවය
මෙසේ මහා සංඝයාගේ සම්මුතියෙන් කඨින චීවරයක් බිහිවේ.
සියලු බෞද්ධයන් අතර කඨින පින්කම මහත්ඵල මහානිශංස ලැබෙන මහානීය උත්කෘෂ්ඨ පින්කමක් බව පිළිගැනේ. එසේ මහත්ඵල මහානිශංසදායක වීමට නම් කඨින පින්කම ව්‍යාපාරයක් කොට නොගෙන එහි විනයානුකූල පසුබිම මැනවින් විමසා බලා ඉතාමත් සැදැහෙන් බුද්ධ ගෞරවය, ධර්ම ගෞරවය, සංඝ ගෞරවය උපදවාගෙන එය කළ යුතුය.
එවිට මෙලොවත් සැනසෙන පරලොවත් සුගතියට පත්වෙන නිවනත් නොපමාවන උතුම් කුසලයක් බවට එය පත්වනු නොඅනුමානය.
මධුර ප්‍රභාත් ගමගේ