රෝස කුසුම මිලින වී වසර 28යි. සැබෑ ප්‍රේමය හමුවන්නේ අපි නොහිතන තැන්වලදී ය. පොදු ජනතාවගේ කුමරිය ඩයනාට සැබෑ ප්‍රේමය හමුවූයේද ඇය කිසිදා නොසිතූ තැනකදී ය. අසූව දශකයේ මුල් භාගයේදී චාල්ස් කුමරු හා විවාහ වීමෙන් පසු වේල්සයේ කුමරිය ලෙස බ්‍රිතාන්‍ය රාජකීය පවුලට එක්කාසු වූ ඇයට සැබෑ ප්‍රේමය හමුවන්නේ ඊටත් වසර 15කට පමණ පසුව ය.
එහෙත් අවාසනාවකට ඒ ප්‍රේමය විඳින්නට ඇයට වැඩි කාලයක් නොලැබිණි. හරියටම 1997 අගෝස්තුවේ 31 වැනිදා පැරීසියේ උමං මාර්ගයකදී සිදුවූ රිය අනතුරින් ඇය ජීවිතයෙන් සමුගත්තේ ඇයට සැබෑ ප්‍රේමය තෑගි කළ පෙම්වතා ඩොඩී අල් ෆයිඩ් සමඟින්ම ය. මේ ගෙවෙන්නේ ඩයනා කුමරියගේ 28 වැනි අනුස්මරණය ලොව පුරා සමරන දින කිහිපයයි. ලොව පුරා ජනතාව බ්‍රිතාන්‍ය රජ පවුලේ වැඩිපුරම ආදරය කළ ඩයනා බාහිර පෙනුමෙන් පමණක් නොව, ගතිගුණ අතිනුත් හැම අතින්ම ගත කළේ සාමාන්‍ය කාන්තාවකගේ ජිවන රටාවකි. ඇයට පොදු ජනතාවගේ කුමරිය ලෙස කවුරුත් ආමන්ත්‍රණය කිරීමට හේතුව ද එය විය. රජ පවුලට එක්කාසු වූ මුල්කාලයේ සිටම ලොව පුරා කෝටි සංඛ්‍යාත කාන්තාවන් අතර කතාබහට ලක්වූ ඩයනා ජාත්‍යන්තර මාධ්‍ය අතරත් වැඩිම අවධානය දිනූ රාජකීය සාමාජිකාව වූවාය. ඇගේ ජනප්‍රියත්වය එලිසබෙත් රැජන අබිබවා ගිය එකකි. එය එක් අතකින් රජ පවුලේ නෝක්කාඩුවට හේතුවූවා සේම අනිත් අතින් රාජකීය පවුලට පෙර නොවූ විරූ ආකාරයේ අවධානයක් ළඟාවීමට ද හේතු විය. එවකට ශ්‍රී ලංකාවේ කාන්තා පරපුර අතර ද ඇගේ ජනප්‍රියත්වයේ කිසිදු අඩුවක් නොතිබිණි. එවකට අන්තර්ජාල පහසුකම් නොතිබූ යුගයක් වුවත් රූපවාහිනියෙන් හෝ පුවත්පත්වලින් ඩයනාගේ තොරතුරු සොයා ගැනීමට සහ ඒවා ආශාවෙන් එකතු කිරිමට ශ්‍රී ලාංකික කාන්තාවන් තුළ තිබුණේ නොතිත් ආසාවකි.
කොටින්ම අසූව දශකය යනු ඩයනා උන්මාදය ලොව පුරා පැතිරී ගිය යුගයකි. ඇගේ හිසකේ විලාසිතාව කාන්තා පරපුර අතරට එක්වූයේ එක් රැයකිනි. එවකට ‘ඩයනා කට්‘ හිසකේ විලාසිතාව ශ්‍රී ලංකාවේ තරුණියන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්වූ හිසකේ විලාසිතාවක් වූ බව අදටත් වැඩිහිටි කාන්තාවන්ගේ මතකයේ ඇතුවාට සැකයක් නැත. එහෙත් සියලු සැප සම්පත්, දහසින් බැඳි පියලි, කීර්තිය, ගෞරවය සමඟ අභිමානවත් ජීවිතයක් ගෙවන බවට කවුරුත් සිතූ ඩයනාගේ පෞද්ගලික ජීවිතය නම් එහෙම පිටින්ම හැල හැප්පීම් කන්දරාවකින් පිරී ගිය බව එවකට දැන සිටියේ අතළොස්සක් පමණි. එහෙත් කාලයක් යද්දී එය ජාත්‍යන්තර වශයෙන් වැඩිපුර කතාබහට ලක්වූ අතර, ඇගේ ජනප්‍රියත්වය ඉහළ යෑමටත් එය හේතුවක් වී තිබිණි. සැබැවින්ම ඩයනා යනු සාම්ප්‍රදායික ආසියාතික කාන්තාවගේ භූමිකාව නිල නොවන ආකාරයෙන් ගත කළ කුමාරිකාවකි. ඇගේ ගතිගුණ මෙන්ම හැසිරීම් රටාවත් ඊට නොදෙවැනි නොවීය. දරුවන් කෙරෙහි වැඩි බැඳීමක් නැති සාමාන්‍ය බටහිර කාන්තාවක නොවූ අතර, ඇයට දරුවන්ගෙන් තොර ලොවක් තිබුණේම නැත. චාල්ස් කුමරු හා විවාහවීමෙන් පසු රාජකීය සම්ප්‍රදායට බැඳුණු කුමාරිකාවක් වුවත් ඇය ඉඩ ලද සෑම මොහොතක්ම ගත කළේ විලියම් හා හැරී කුමරුන් සමඟය. විවාහයෙන් පසු සැමියාගෙන් ඈත්වී දරුවන්ට වැඩිපුර බැඳෙන සාම්ප්‍රදායික ආසියාතික කාන්තාවගේ භූමිකාව ඇය තුළ පැලපැදියම් වන්නට තවත් හේතුවක් තිබිණි. එය කවුරුත් දන්නා පරිදි චාල්ස් කුමරුගේ මුල් කාලීන පෙම්වතිය කැමිලා පාකර්ගේ පෙම් පලහිලව්වය. අද වෙද්දී චාල්ස් කුමරු තුන්වැනි චාල්ස් රජු ලෙස අභිෂේක ලබා සිටින අතර, කැමිලා කුමරිය මහරජුගේ බිසොව ලෙස කැමිලා රැජන නමින් අභිෂේක ලැබීම මේ පෙම් පලහිලව්වේ දිග පළල අවබෝධ කරගැනීමට හොඳටෝම ප්‍රමාණවත්ය.
වසර 1981 ජූලි මාසයේ 29 වැනිදා ඇය චාල්ස් කුමරු හා අතිනත ගැනීම අසූව දශකයේ ලොව වඩාත්ම ජනප්‍රිය විවාහ මංගල්‍යය ලෙස ලොවට පෙනුණත් සැබැවින්ම එය දුක්ඛාන්තයක් බව දැන සිටියේ ඇයම පමණි. එදා ලොව පුරා මිලියන 750කට අධික රූපවාහිනී ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් නැරඹූ ඩයනාගේ විවාහය පසුකාලීනව සියවසේ විවාහය ලෙස ප්‍රචලිත වුවද, ඇගේ ජීවිතයේ හැලහැප්පීම් කන්දරාවේ ආරම්භය ද එයම විය. ඩයනාට කැමිලා ගැන තොරතුරු ගලා එන්නට පටන් ගත්තේ ඒ වසරේදීම පෙබරවාරියේ දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම සිදුවෙද්දීමය. පසුකාලීනව ඇය විසින් ලියා තැබූ චරිතාපදාන කෘතියෙහි සඳහන් වූ ආකාරයට කැමිලාගේ සිදුවීම ඇගේ මනස මුළුමනින්ම ව්‍යාකූලත්වයට ඇද දැමූ එකකි. මේ මානසික ව්‍යාකූලත්වය නිසාම ඇය වරක් බ්ලේඩ්තලයකින් අත කපා ගැනීමට පවා උත්සාහ කළ බව සිය කෘතිය තුළින් ඇය විසින්ම පාපෝච්චාරණය කර තිබිණි. එවකට 20 හැවිරිදි නව යොවුන් වියෙහි පසුවූ ඩයනාට මේ දුක බර වැඩි විය. දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම සිදුවූ ස්කොට්ලන්තයේ බැල්මෝරල් මාලිගාවේ උත්සව ශාලාවේ ආසන අතරින් ඇවිද යද්දි පවා කැමිලා කුමරිය සොයා ඇගේ නෙත දිව ගියේය. ‘උත්සව ශාලාවේ ආසන අතරින් ඇවිද යද්දී පවා මා සෙව්වේ ඇය කොහේද කියායි. ඇය එතැන සිටින බව මම දැන සිටියා. එදා රාත්‍රියේ හැමෝම සිටියේ සතුටින්. ඒත් මට සතුටක් දැනුණේ නෑ.‘ ඩයනා පසුකාලෙක එම සිදුවීම සිහිපත් කළේ දැඩි කනගාටුවකිනි. ‘ඉතිං මම උත්සව ශාලාවේ ආසන අතරින් ඇවිද යද්දී ඔන්න මම දකිනවා කැමිලා ඉන්නවා. ලා අලුපාට හිස් වැස්මක් පැලඳගෙන ඇය චාල්ස් දිහා ඇහි පිල්ලම් නොගහා බලාගෙන හිටියා. ඇගේ පුතු ටොම් පුටුවක නැඟ අප දෙස බලා සිටියා. ඒක මට අමතක නොවන සිද්ධියක්.‘ සිය චරිතාපාදන කෘතියෙහි ඇය එසේ ලියා තැබුවාය.
එහෙත් ඇය වැඩිදුරටත් කියා සිටියේ ඒ වනවිට ඇය චාල්ස් කුමරුට පෙම් බඳින්නට පටන්ගෙන සිටි බවය. ‘අමතක කරන්න බැරි තරමට මම එයාට ආදරය කරන්න පටන් ගෙනයි තිබුණේ. විවාහ ගිවිස ගැනීමෙන් පස්සේ මේ හැම දෙයක්ම හොඳ අතට හැරෙයි කියලයි මම හිතුවේ. කැමිලා ගැන දැනගන්න කලින් මම හිතුවේ ලෝකයේ ඉන්න වාසනාවන්තම තරුණිය මම වෙන්න ඇති කියලයි. ඔහු මාව ආදරයෙන් රැක බලා ගනීවි. ඔහු ඔටුන්න හිමි කුමාරයෙක්. ඔන්න ඔය වගේ දේවල් තමයි මට ඇත්තටම හිතුණේ…’ එහෙත් ඩයනා සිතුවා වැරදිය. චාල්ස්ගේ සහ කැමිලාගේ ආදර කතාව දුරදිග ගොස් තිබුණේ ඇයට සිතාගත නොහැකි ආකාරයකිනි. විවාහයෙන් පසුවත් ඩයනාට කැමිලා අමතක කරන්න බැරි විය. සිය විවාහ ජීවිතයේ එක්තරා තැනක කැමිලා සිටින බව ඇයට දැනුණි. විලියම් සහ හැරී කුමරු උපන්නාට පසුව ද, චාල්ස්ගේ සහ කැමිලාගේ ආදර අන්දරය සිත් සේ දලුලා වැඩෙන බව ඩයනාට වැටහිණි. සිය බිරියත්, දරු දෙදෙනාත් තනි කර චාල්ස් කුමරු ඉඩ ලද සෑම මොහොතකදීම කැමිලාගේ ඇසුර සොයා ගිය බව ඩයනා දැන සිටියාය. හැලහැප්පීම් කන්දරාවක් සිතෙහි සඟවා ගෙන රාජකීය පවුලේ ගෞරවය ආරක්ෂා කිරීමට ඇයට සිදුවූ අතර, ඇය යම් තරමකින් හෝ සතුටක් ලැබුවේ දරු දෙදෙනා නිසාය. ඒ හැරුණු විට නොයෙකුත් ජාත්‍යන්තර මට්ටමේ වැඩසටහන්, සුබසාධන කටයුතුවල නිරත වෙමින් ඇය දුක සැහැල්ලු කරගත්තාය. කඳුළ සඟවා ගනිමින් සැමට සිනහව බෙදා දුන්නාය. ඇගේ ජීවිතයේ වඩාත්ම නිර්භීත රාත්‍රිය උදා වූයේ ඊට වසර 10කට පසුවය. එදා කැමිලාගේ සොහොයුරියගේ 40 වැනි උපන් දිනය යෙදී තිබුණු දිනය විය. උපන්දින සාදයට චාල්ස්ට ද ඇරියුම් ලැබී තිබුණු අතර, 1989 පෙබරවාරියේ එදින චාල්ස් කුමරු සමඟ ඩයනා ද එම උත්සවයට සහභාගි වූවාය. සිය ජීවිතය සදාකාලික අඳුරට තල්ලු කළ ඇගේ පෙම්ලොව ප්‍රතිවාදිනිය කැමිලා මුහුණට මුහුණ ඇයට හමුවූයේ එදිනය. ‘මම හිතාගත්තා මේ ගැහැනියට හාද්දක් දීලා ‘හෙලෝ‘ කියන්නේ නෑ කියලා. ඒ වෙනුවට මම කළේ ඇයට අතට අත දීම පමණයි. ඒ වෙද්දී කැමිලා ගැන කවුරුත් දැන සිටි නිසා හැමෝම අපි දෙන්නා දිහා බලාගෙන හිටියා. වේදනාව සඟවාගෙන එදා ඩයනා කුමරිය උත්සවයට පැමිණ සිටි කාටත් සිනහවකින් සංග්‍රහ කළාය. කා සමඟත් හිතේ හැටියට කතා බහ කළාය. එහෙත් මොහොතකින් ඇයට පෙනුණේ සිය සැමියා සහ කැමිලා උත්සව ශාලාවෙන් අතුරුදන් වී ඇති බවය. ඇය වටපිට බැලුවාය. ඒ මොහොතේ නිවෙසේ ඉහළ මාලයේ උත්සව ශාලාවේ සිටි ඇතැමුන් ඇයට කියා සිටියේ ඔවුන් ගැන සොයන්නට උත්සාහ නොගන්නා ලෙසටය. එහෙත් ඒ වෙනුවට ඇය කළේ ඔවුන් සොයා පහළ මාලයට පිය නැඟීමය.
‘මම පහළ මාලයට යද්දී මෙන්න චාල්ස් මේ ගැහැනිය එක්ක කතා බහ කරමින් ඉන්නවා. තවත් පුද්ගලයෙක් එතැන හිටියා. ඉතිං මම හිතුවා ඔන්න දැන් තමයි මගේ වාරය කියලා. මම කෙළින්ම එයාලා අතරට ගිහින් කැමිලාට කිව්වා මට එයා එක්ක පෞද්ගලිකව කතා කරන්න ඕන කියලා. චාල්ස් අමුත්තා එක්ක ඉහළ මාලයට ගියේ මා දිහාවේ හොරැහින් බලාගෙනයි. එයාලා ගියාට පස්සේ මම කැමිලාට කිට්ටු වුණා. ‘කැමිලා මෙතැන වෙන්නේ මොකක්ද කියලා මම හොඳටම දන්නවා.‘ එතකොට එයා පුදුමයෙන් වගේ මා දිහා බැලුවා. ‘ඔයා මොනව ගැන ද ඩයනා මේ කියන්නේ..?‘ ‘මම දන්නවා කැමිලා ඔයාලා දෙන්නා අතරේ මොනවද වෙන්නේ කියලා‘ ‘ඩයනා මේ බලන්න. ඔයාට හැමදේම ලැබිලා තියෙනවා. හොඳ සැමියෙක්. හුරුබුහුටි කොලු පැටවු දෙන්නෙක්. තව මොනවද ඔයාට ඕන..?’ ‘මට මගේ සැමියා ආපහු දෙන්න.‘ ඩයනා කැමිලාගෙන් කළ එකම ඉල්ලීම එය විය. එහෙත් ඒ ඉල්ලීම කිසිදිනෙක ඉටු නොවීය. ඒ වෙනුවට සිදුවූයේ චාල්ස්ගේ හා කැමිලාගේ පෙම් පලහිලව්ව තව තවත් වැඩිවීම පමණි. ඩයනාට සිදුවූයේ මුනිවත රැකීම පමණි. ‘ලෝකෙට වඩා පවුල ලොකුයි‘ සාම්ප්‍රදායික ආසියාතික කාන්තාවන් සේම ඩයනා ද එසේ කියමින් සැමියාගේ සියලු වැරදි නිහඬව විඳ දරා ගැනීමට හුරු වූවාය. දරු දෙදෙනා වෙත තව තවත් බැඳුණාය. දරුවන් සමඟ විනෝද සවාරියේ ගියාය. ඔවුන් වෙනුවෙන් ආදරණීය මවකගේ යුතුකම් සියල්ල නොපිරිහෙළා ඉටු කළාය. එහෙත් අවසානයේ ඒ දිනය උදාවී තිබිණි. දික්කසාදය ඉල්ලා චාල්ස් කුමරුගෙන් ඇයට ලිපියක් ලැබුණේ 1996 ජූලි මාසයේ දීය. හරියටම දෙදෙනාගේ 15 වැනි විවාහ සංවත්සරය යෙදී තිබූ මාසයේදීය. ඇය ලිපිය පිළිගත්තාය. ඊළඟ අගෝස්තුවේදී දෙදෙනාගේ රාජකීය විවාහය කෙළවර වූ අතර, ඉන් පසුව ඩයනාගේ ජීවිතය ගෙවී ගියේ ලොව පුරා යුද ගැටුම් සහ ස්වාභාවික විපත්වලින් පීඩාවට පත්වූ දරුවන් වෙනුවෙනි. සුබසාධන වැඩකටයුතුවලට කවදත් ඩයනා දැක්වූයේ බලවත් ආසාවකි. එය ඇගේ කුඩා වියේ සිට තිබූ සිහිනයකි. කොටින්ම දික්කසාදය ඉල්ලා චාල්ස් කුමරු එවූ ලිපිය ලැබෙන මොහොතේදී පවා ඇය සිටියේ පිළිකා රෝහලකට අරමුදල් රැස් කිරිමේ කටයුතුවලට එක්වෙමිනි. එම පිළිකා රෝහල පිහිටා තිබුණේ පාකිස්තානයේ ලාහෝර් නගරයේය.
එය පිළිකාවෙන් මිය ගිය සිය මව වෙනුවෙන් පාකිස්තානයේ හිටපු අගමැති හා ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් එවකට ඉදි කරමින් පැවති අනුස්මරණ රෝහලය. එවකට ඉම්රාන් විවාහ වී සිටියේ ලන්ඩන් නුවර ප්‍රකෝටිපතියකු වූ ගෝලඩ්ස්මිත්ගේ දියණිය ජෙමීමා සමඟය. ජෙමීමා සහ ඩයනා කුමරිය සමීප මිතුරියෝ වූහ. ඩයනා සහ ඩොඩී අල් ෆයිඩ් අතර පෙම් සම්බන්ධතාව ආරම්භ වූයේ ඊට මාස කිහිපයකට පසුවය. ඔහු ඇය සිහින මැවූ ආකාරයේ පෙම්වතකු වූ අතර, සිය ජීවිතයේ අවසන් භාගයේ සතුටින් සිටීම ඩයනාගේ එකම බලාපොරොත්තුව බවට ද පත්වීය. සෑම කාන්තාවක්ම අපේක්ෂා කරන ආකාරයේ ආදරය, කරුණාව, රැකවරණය මේ සියල්ල ඩොඩි ඇයට දුන්නේය. පැරිස් නුවර රිය අනතුරින් මෙලොව හැර යනතුරුම ඔහු ඇය අසලින්ම සිටියේය. ඩයනා හා ඩොඩීගේ ප්‍රේමය රාජකීය පවුලේ මෙන්ම බ්‍රිතාන්‍යයේ වැඩිදෙනකුගේ අප්‍රසාදයට හේතුවුවත්, සැබැවින්ම සිදුවූයේ ඇයට ඇගේ සිත අවබෝධ කරගත් පුද්ගලයකු ලැබීමය. එහෙත් ඇගේ සතුට මරණය විසින් උදුරාගනු ලැබුවේ අනාගතය ගැන සිහින සමුදායක් දකිමින් සිටියදීය. අවුරුදු 36ක් වැනි ළාබාල වයසකදී ඩයනා මෙලොව හැර ගියේ තවත් පරම්පරා ගණනාවක් යනතුරු ඇගේ මතකය ලෝක ප්‍රජාව වෙතින් ඈත් නොවන ආකාරයෙන් බැඳ තබමිනි.
ෆවුස් මොහොමඩ්