Monday, September 1, 2025
Epaper
Home Highlightsඅද මම ඉහළ තැනක ඉන්නේ මගේ අම්මාට වගේම හාමිනේට පින් සිද්ද වෙන්නයි

අද මම ඉහළ තැනක ඉන්නේ මගේ අම්මාට වගේම හාමිනේට පින් සිද්ද වෙන්නයි

ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා

by Thanushika

දරුවන්ගේ දුක් කඳුළැලි දකින ඇසිල්ලකින් සුර ලෝකයේ සිට හෝ අත පා කඳුළැලි පිසින්නේ මවක මිස අන් කවරෙක්ද? එවන් මවුවරුන් ගැන ලියැවෙන ලිපි පෙළෙහි දෙවැන්න අද තරුණී වෙතින් ඔබ හමුවට ගෙන එන්නේ සූප ශාස්ත්‍රයේ පුරාවතක් බඳු අපේ රටෙන් බිහි වූ ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා මහතාගේ අත්දැකීම් ඇසුරෙනි.

ඔහු එහිදී සිය මවගේ සෙනෙහස ගැන මෙන්ම සිය බිරිය මවක් ලෙස සිය දරුවන්ට දැක්වූ සෙනෙහස ගැන මෙසේ විස්තර කළේය.

“මම ඉපදුණේ 1937 අවුරුද්දේ. මගේ අම්මා කුමාරසිංහ පොඩිහාමි. ඒ කාලයේ මගේ මවුපියන්ට මේ මහ පො‍ෙළාවේ වැලි කැටයක් හෝ තිබුණේ නෑ. අපේ මවුපියන් කවදාවත්ම පාසල් ගිහින් තිබුණෙත් නෑ. ඒ නිසා ස්ථිර රැකියාවක් හෝ නොවු ඔවුන් ගත කළේ අතිශයින්ම දුෂ්කර ජීවිතයක්. ඒ කාලයේ දෙවැනි ලෝක යුද්ධයෙන් අපේ රටවැසියෝ බොහෝ පීඩා වින්දා. ඒ පීඩාව අපිටත් තදින්ම දැනුණා. මං මුලින්ම පාසල් ගියේ රත්ගම, දේවපතිරාජයට. දේවපතිරාජයේ මා අධ්‍යාපනය ලැබුවේ සතියක කාලයක් පමණයි. අනතුරුව අප ජීවත් වුණු නි‍ෙවස ආසන්නයේම පිහිටි මිෂනාරි පාසලකට මාව ඇතුළත් කරන්නට අම්මා කටයුතු කළා. රත්ගම දේවපතිරාජය වැනි උසස් යැයි සම්මත පාසලකින් ඉවත් කර මාව ග‌මේ මිෂනාරි පාසලට යොමු කරන්නට ප්‍රධානම හේතුව වූයේ අපේ දුප්පත්කමයි. එහි ඉගෙන ගත් දරුවන්ට පාන් කාලක්, මස් කරියක් සහ කහට කෝප්පයක් හිමි වූ නිසා මගේ කුසගිනි නිවීමේ පරමාර්ථයෙන් අම්මා මාව ගමේ පාසලට ඇතුළත් කළා. එම පාසලේ ඉගැන්වීම් කටයුතු සිදු වුණේ දෙකේ පන්තිය දක්වා පමණයි. අනතුරුව අපේ ගමේ පිහිටි සිරිසුමන විද්‍යාලයෙන් මම තුන්වැනි පන්තිය දක්වා ඉගෙන ගත්තා. මම පන්තියේ වැඩවලට බොහෝම දුර්වලයි. ඉතින් ඒ දවස්වල මම ගුරුවරුන්ගෙන් වේවැල් පාර කාපු හැටි, ඒ වේදනාව අදටත් අමතක නෑ. මට ගුටි කන්නට බැරි නිසාම මම මගේ පාසල් ගමන තුනේ පන්තියේදී නතර කළා.”

ලෝක යුද්ධයේ ගිනි දැල් මැද පුංචි සන්ධියේදී තමාව පෝෂණය කරන්නට අම්මා ගත් වෙහෙස ගැන පබිලිස් සිල්වා මහතා අප සමඟ අදහස් පළ කළේ මේ ආකාරයෙනි.

“ඒ කාලයේ රත්ගම ගම්මැද්දගොඩ ඉඳන් ගාල්ලට අපේ අම්මා හැමදාම සැතපුම් හයක් පමණ පයින් ගමන් කරනවා. ඒ ආකාරයෙන් ගාල්ලට යන අපේ අම්මා එළවළු මාකට් එකේ කුණු බක්කියේ තැළුණු තක්කාලි, අල, වට්ටක්කා සහ ළුෑනු වැනි දෑ එකතු කරගන්නවා. ඒවායින් නරක කොටස් කපා හොඳ කොටස් එකතු කරගෙන ගොඩවල් සකස් කර ගෙයින් ගෙට ගිහින් ඒවා විකුණන්නට අම්මා ඒ කාලයේ පුරුදු වී සිටියා. ඉතින් මමත් කුණු බක්කියේ තිබුණු කොහු අඹ සහ ‌බෙට්ටි අඹ එකතු කරගෙන ගෙදර ඇවිත් හොඳ හරිය කපා විකුණනවා. ඉතිරි අඹවලින් සුදු පාට පණුවෝ බේරුණත් කුසගිනි නිසා ඒවා කෑ හැටි අදටත් මට මතකයි.”

දරුවන්ගේ යහපත් ක්‍රියා හේතුවෙන් මවුපියන් සතුටු වනවා සේම දරුවන්ගේ හිතුවක්කාරකම් නිසා දෙමාපියන් දුක් වන ආකාරයත් අප මේ සමාජයේ ඕනෑතරම් දැක ඇත. එවන් අවස්ථාවන්ට උදාහරණ අප කොයි කාගේත් ජීවිතවල නැතුවා නොවේ. මේ පබිලිස් සිල්වා මහතාගේ තරුණ කාලය හා බැඳි එවන් අවස්ථා කිහිපයකි.

“අපි ජීවත් වුණු නි‍ෙවස පිහිටා තිබුණේ මහ මුහුද ආසන්නයේමයි. ඉතින් මුහුද රළු නැති කාලවලදී මම මාළු දැල් අදින්නන්ට සහාය වෙනවා. එසේ සහාය වූ විට දැල් අදින්නන්ගෙන් මට හුරුල්ලන් තුන් හතර දෙනෙක් ලැබෙනවා. ඒ විදිහට මම ගෙදරට මාළු අරගෙන එනදාට අපේ අම්මාගේ මූණ, පිපුණු මලක් වගේ පිබිදෙනවා. මෙහෙම කාලය ටිකෙන් ටික ගත වුණා. දවසක් මම ඔරු අයිතිකරුවන් එක්ක ගෙදරට හොරෙන් මඩකලපුවේ ගියේ රස්සාවක් හොයා ගැනීමේ බලාපොරොත්තුවෙන්. ඉතින් මම නැති ශෝකයෙන් අ‌පේ අම්මා දවස් ගණනාවක් නොකඩවා හඬා වැළපෙන බව මට ආරංචි වුණා.”

” මම නැවත මඩකළපුවෙන් කොළඹට ආවා. එහිදී අම්මා දන්නා හඳුනන බස් රියැදුරු මහතෙක් මා සමඟ කියා සිටියේ අපේ අම්මා මා නැතිව හැඬූ කඳුළෙන් කාලය ගෙවන බවයි අනතුරුව නැවත ගෙදර ගිය මං අම්මාගේ අවසරය ඇතිව නැවත කොළඹ ආවේ රැකියාවක් සොයාගෙනයි. ඒ වන විට මම දහහත් වැනි වියෙහි පසු වුණා. කාලයක් කොළඹ රැකියාව කර මා යළි ගමට ගියා. අනතුරුව මම විවාහ වෙනවා.”

විවාහයෙන් අනතුරුවද එක්වරම පබිලිස් සිල්වාගේ ජීවිතය මල් යායක් මෙන් සොඳුරු වූයේ නැත. විවාහයත් සමඟ ඔවුන්ගේ ජීවිත සොඳුරු කරන්නට ඔහුගේ බිරිය කළ කැප කිරීම් නිබඳවම බලපෑ සැටි පබිලිස් සිල්වා මහතා විස්තර කළේ මේ අයුරිනි.

“මගේ බිරිඳ විමලා රාජකරුණා. ඉතින් අපි විවාහ වුණාට මට ඒ වන විට රැකියාවක් තිබුණේ නෑ. අනතුරුව මම මුදලාලිලා සමඟ පොළවලට එළවළු කරත්ත තල්ලු කළා. ඒ අතරතුර නොයෙකුත් කුලී වැඩ කළා. ඒ කාලේ මම කොහු තැළුවා, කරත්ත තල්ලු කළා. ඒ කාලේ මම බර වැඩ කළ නිසාම අතේ මතුවුණු කරගැටවලට මගේ බිරිය තෙල් සාත්තු කළ හැටි මට අද වගේ මතකයි. බුලත් කොළයක තෙල් තවරලා පතුරු ගිය අත්ල තවන්නට ඇය කටයුතු කළා. ඇය ඇයගේ ආදරය මට ප්‍රකාශ කළේ ඒ විදිහටයි”

සිය සැමියාට අසීමිතව ආදරය කළ බිරිය නොවන්නට අද පබිලිස් සිල්වා නමින් ලොවක් දිනූ සූපවේදියකු නොවන බව පබිලිස් සිල්වා මහතාගේ අදහසයි. ඒ තරමටම ඔහුගේ රැකියාව වෙනුවෙන් දරුවන්ගේ කටයුතු කරට ගෙන පබිලිස් සිල්වා මහතාට නිදහස ලබා දෙන්නට විමලා මහත්මිය කැපවීමෙන් කටයුතු කර තිබේ.

“කාලයත් එක්ක ඇය ගැබ්බර වුණා. ඒ සමඟ 1956 වසරේදී ඇයගේ මඟ පෙන්වීමෙන් ගල්කිස්ස මහ හෝටලයේ රක්ෂාවට ආවා. එහිදී මම ළිපට අඟුරු අදින්නෙක් ලෙස එහි සේවයට එකතු වුණා. මට එහිදී රුපියල් හතළිහක වැටුපක් හිමි වුණා. ඉතින් ඒ කාලයේ මගේ හාමිනේ තිස්සමහාරාමෙන් හාල් ගෙනැවිත් මෙහි හාල් වික්කා. දරුවන් දෙන්නා තුන් දෙනා වෙද්දී ඇයට ගොඩාක් දුක් විඳින්න වුණා. අනතුරුව මමත් හෝටලයේ පූර්ණ කාලීනව සේවයට එක් වුණා. ඒ නිසා ඒ කාලයේ දරුවන් වෙනුවෙන් සියයට සියයක්ම කැප කිරීම් කළේ මගේ හාමිනේයි. අද මම මෙවන් උසස් තත්ත්වයක සිටින්නේත් එදා සිට අද දක්වාම මගේ හාමිනේ දරුවන් වෙනුවෙන් කළ මහා මෙරක් තරම් කැප කිරීම් නිසාවෙන්මයි. ඇය ඒ නිදහස මට උපරිමව ලබා දුන්නා.”

“ඇය 1980 දශකයේදී පමණ ගල්කිස්සේ පදිංචියට ආවා. එතෙක් මාසයකට සැරයක්වත් දරුවන් සමඟ කල් ගත කරන්නට මට අවස්ථාව උදා වුණේ නෑ. තුන්වැනි පන්තියට උගත් මම අද වන විට ලේඛකයෙක්. ඉතින් මේ වගේ උසස් තත්ත්වයකට එන්නට මගේ හාමිනේ දරුවන් වෙනුවෙන් කළ කැප කිරීම වඩාත් ඉවහල් වුණා. ඒ වෙනුවෙන් මම ඇයට පින් දෙනවා. ඒ වගේම මං හැමදාම දවස ආරම්භ කරන්නේ මගේ අම්මාට තාත්තාට වගේම ගල්කිස්ස මහාහෝටලයේ මියගිය අයිතිකරුවන්ට පින් දෙමිනුයි. ඔවුන් සියලු දෙනා නොවන්නට මට මේ වගේ දිගු ගමනක් ජයග්‍රාහීව පැමිණෙන්නට නොහැකි වන බව කිව යුතුයි.”

පසිඳු මිහිරාන් රැටියල

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?