LDL විකෘති වුණොත් හාට් ඇටෑක්ම තමයි
කාර්යබහුල ජීවන රටාවක් තුළ කොටු වූ වර්තමාන තරුණ පරපුර දිනෙන් දින අකාලයේ ජීවන රඟමඬලින් බැස යති. සමබල නොවූ ආහාර රටාවත්, ක්‍රියාශීලී නොවූ ජීවන රටාවත් ඊට හේතු ලෙස හඳුනාගෙන ඇත. විශේෂයෙන්ම ඒ නිසා හටගන්නා හෘදයාබාධ මෙවැනි හදිසි මරණ සඳහා වැඩි වශයෙන් බලපානු ලැබේ.
නිවැරදි නොවූ ආහාර රටාව නිසා අපේ ශරීරය දියවැඩියා රෝගයට නතුවන ආකාරයත්, ඒ හරහා හදිසි හෘදයාබාධ වැලඳෙන ආකාරයත් පසුගිය සතියේ අපේ අවධානයට ලක් විය. ඊට අමතරව අපි විසින් ආහාරයට ගනු ලබන විවිධ තෙල් වර්ග නිසාත් හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාවක් ඇත. හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතාගෙන් අද අප විමසා සිටින්නේ ඒ පිළිබඳ සත්‍ය අසත්‍යතාවයි.
වෛද්‍යතුමනි, විවිධ තෙල් වර්ග අධික පරිභෝජනය හෘදයාබාධ ඇතිවීමට හේතුවක් ද? එහෙමනම් ඒ පිළිබඳ අපට පහදා දෙන්න.
අපි ආහාරයට ගන්නා ඔයිල් වර්ග, ඒ කියන්නේ තෙල් වර්ග කිහිපයක්ම තියෙනවා. පොල්තෙල්, විවිධ ඇට වර්ගවලින් හදන තෙල්, ඔලිව් තෙල්, අලිගැට පේරවලින් හදන තෙල්, ෆාම් ඔයිල් ආදී වශයෙන් ආහාරයට ගන්නා තෙල් වර්ග කිහිපයක්ම තියෙනවනේ. මම මේ කියන්නේ ඒ අතරින් ඇට වර්ගවලින් හදන සූරියකාන්ත, තල, බඩඉරිඟු, සෝයා වගේ තෙල් වර්ග ගැනයි.
මේවායේ තියෙන්නේ අසංතෘප්ත මේදයයි. ඒවා හදන කර්මාන්තශාලාවලදී දැඩි ප්‍රෙෂර්
එකකට, රත්වීමකට ලක්වෙනවා. මේ ක්‍රියාවලියේදී අසංතෘප්ත මේදය කියන එක විකෘති වෙනවා. එහිදී හැදෙනවා ට්‍රාන්ස්ෆැට් කියන ඉතාම භයානක ෆැට් එකක්. එතකොට ඔබ ආහාරයට ගන්නා ලස්සනට බෝතල් කරලා එන මේ සීඩ් ඔයිල්වල තියෙන ට්‍රාන්ස් ෆැට් එක අපේ ශරීරයට ගියහම කොලෙස්ටරෝල් තත්ත්වය වැඩි වෙනවා. එහිදී LDL විදිහට තියෙන කොලෙස්ටරෝල් ඔක්සිඩයිස් බවට පත්වෙනවා. ඒවා විකෘති වෙනවා. ඒත් එක්කම මේ ට්‍රාන්ස්ෆැට් නිසා ටිෂූ තුවාල වීම සිදුවෙනවා.
මේක අර එන්ටිමා එන්ඩොතීලියම් එකටත් බලපානවා. මේ විදිහට වුණාම අර අපි සීනි භාවිතයේදී සිදුවෙනවා කියලා කතා වුණු කොලෙස්ටරෝල් තැම්පත් වුණාම වගේ පුංචි ගැටිත්තක් බවට පත්වෙලා එය පුපුරලා හෘදයාබාධයක් ඇතිවෙන්න පුළුවනි.
වෛද්‍යතුමනි, ඒ කියන්නෙ Seed Oil ආහාරයට ගන්නා විට රත් කරන බව අපි දන්නවා. එයත් අහිතකරයි නේද?
අනිවාර්යයෙන්ම. මේ සීඩ් ඔයිල් නැවත දැඩි තාපයකට එහෙමත් නැතිනම් රත්වීමකට ලක්වුණහම ට්‍රාන්ස් මේදයට අමතරව තවත් ඔක්සිකාරක හැදෙනවා. මේවා අපේ ශරීරයට හරිම විසයි. ඒවා ශරීරයෙන් බැහැර කරන්නත් බැරි නිසා ශරීරය තුළ එකතු වෙනවා. මේවා නැවත නැවත LDL එක විකෘති කරනවා. එවිට අපේ LDLවලින් සිදුවන සාමාන්‍ය ක්‍රියාවලිය සිදු කිරීමට හැකියාවක් නැතිවෙනවා. ඒ හරහා නැවත නැවත කිරීටක ධමනි හානි වීමයි සිදුවන්නේ.
මේ සීඩ් ඔයිල් වාගේම අපි හරියට පොල්තෙල් ආහාරයට ගන්නවා. පොල්තෙලුත් රත් වෙනකොට අපේ ඇඟට විස වෙනවාද?
මම කලින් සඳහන් කළානේ ඇටවලින් හදන තෙල්වල තියෙන්නේ අසංතෘප්ත මේදය කියලා. නමුත් පොල්තෙල්වල අඩංගු වෙන්නේ සංතෘප්ත මේදය. මේ සංතෘප්ත මේදයෙන් ට්‍රාන්ස් ෆැට් හැදෙන්නෙත් නෑ. ඒ වාගේම ෆ්‍රී රැඩිකල් හැදෙන්නෙත් නෑ.
ඒ නිසා ආහාර පිසීමට පාවිච්චි කරන්න හොඳම තෙල් වර්ගය තමයි පොල්තෙල්. ඊට අමතරව ඇවකාඩෝ ඔයිල්. ඒ කියන්නේ අලිගැටපේරවලින් ගන්නා තෙල් එකත් හොඳයි.
නමුත් ලංකාවේ වැඩි වශයෙන් මේ ඇවකාඩෝ ඔයිල් එක පාවිච්චි වෙන්නේ නැහැ.
හැබැයි මේ පොල්තෙල් පිරිසුදු පොල්තෙල්ම වෙන්න ඕනේ. අපි ඔය වර්ජින් ඔයිල් කියලා සඳහන් කරන්නේ ඒ පොල්තෙල් එක තමයි. එහෙම නැතුව විවිධ වර්ග කලවම් වූ පොල්තෙල් හෝ නැවත නැවත රත් කරලා භාවිතයට ගන්න පොල්තෙල් සුදුසු නැහැ.
ඒ වාගේම මේ පොල්තෙල් පාවිච්චියට හොඳයි කියලා ඒකත් අසීමාන්තිකව ගන්න හොඳ නෑ. ප්‍රමාණයකටයි ශරීරගත වෙන්න ඕනේ.
එතකොට පොල්කිරි භාවිතය කොහොමද?
පොල්කිරි, ගාගත් පොල් එහෙමත් නැතිනම් පිටිකළ පොල් භාවිත කළාට ගැටලුවක් නැහැ. ඔබේ කැමැත්ත පරිදි ඒවා පාවිච්චි කරන්න පුළුවනි. නමුත් පොල්තෙල් නම් සීමා සහිතව තමයි පාවිච්චි කළ යුතු වෙන්නේ. මොකද මේ පොල්තෙල් වැඩියෙන් ගත්තොත් ශරීරයේ LDL වැඩිවෙනවා. සමහරු කියනවා මේ LDL වැඩිවුණහම හෘදයාබාධ හැදෙනවා කියලා.
නමුත් මේ LDL වැඩි වූ පමණින් එසේ සිදුවන්නේ නෑ. ඒත් මේ LDL වැඩිවෙලා, ඒ වගේම සීනිත් හරි හරියට ශරීරයට ගත්තොත් එතකොට ඔබ දන්නවා මේ LDL විකෘති වෙනවා කියලා. ඒ නිසා පොල්තෙල් භාවිතය තමා වඩාත් සුරක්ෂිත. මොකද අනෙක් තෙල් කොහොමත් භාවිතය සුදුසු නැති නිසා ආහාර පිසින්න හොඳම තෙල් වර්ගය මේ පොල්තෙල් කියලා කියන්න පුළුවන්.
ආහාර සඳහා ඔලිව් තෙල් භාවිත කිරීම පිළිබඳ ඔබතුමාට මොනවද කියන්න තියෙන්නේ.
ඔලිව් තෙල් ආහාරයට ගොඩාක් හොඳයි. නමුත් ඒක ආහාර පිසින්න පාවිච්චි කරන්න හොඳ නැහැ.
ඒ කියන්නෙ ඔලිව් තෙල් රත් කළොත් අර ඉහත සඳහන් කළ ආකාරයට ආයෙමත් ට්‍රාන්ස්ෆැට් හැදෙනවා. නමුත් ඔලිව් තෙල් රත් නොකර ආහාරයට එකතු කරගන්න පුළුවන් නම් ඒක සීමාවක් නැතිව ඔබට කැමැති විදිහට ආහාර සමඟ ගන්න පුළුවනි. රත්කර භාවිතයට ගැනීම නුසුදුසුයි කියලයි කියන්න තියෙන්නෙ.
ඊට අමතරව මම කලින් සඳහන් කළා වගේ ඔබට ඇවකාඩෝ ඔයිල් ආහාර පිසින්න භාවිත කළ හැකියි. මොකද මේ ඔයිල් එක අධික තාපයට ලක්වුණත් ට්‍රාන්ස්ෆැට් හැදෙන්නෙ නැති නිසා. නමුත් ඒක බොහෝ වෙලාවට ලාංකික අයට භාවිතයට ගන්න ලැබෙන්නෙ නැහැ. විදෙස් රටවල නම් මේවා බොහෝවිට පාවිචිච් වෙන්නෙ ඒ රටවල පිරිසුදු පොල්තෙල් සුඛෝපභෝගී ආහාර ගොඩට වැටෙන සෑහෙන මිලාධික තෙල් වර්ගයක් ලෙස ගණන් ගැනෙන නිසා.
මේ නිසා ලාංකික අපට ලෙහෙසියෙන් පහසුවෙන් වාගේම සෞඛ්‍ය රැකෙන ආකාරයට පොල්තෙල් භාවිත කරන්න පුළුවනි.
ඒ වගේම තමයි පොල්තෙල් නිසා අපේ ශරීරයට එකතුවන ප්‍රතිලාභ බොහෝමයක් තියෙනවා.
එහෙම නම් අපි ඒ ගැන ලබන සතියේ දැනගනිමු.
උපදෙස් – හෘදරෝග විශේෂඥ වෛද්‍ය
ගෝඨාභය රණසිංහ