දතක් රිදෙන විට ගලවන්නෙ නැත්තේ ඇයි?
ආසාදනය වුණාමයි දතක් රිදෙන්නෙ. ඇතැම් අවස්ථාවල ආසාදනය වුණ රිදෙන දත් ගැලවීමට බෙහෙත් විද්දත් හිරි වැටෙන්නෙ නෑ. හිරි නොවැටී දතක් ගැලවීමට ගියොත් එය රෝගියාට දරන්න අමාරුයි. ඒ නිසා දතේ රිදෙන බව අඩු කිරීමට බෙහෙත් දීලා ඊටත් පසුව තමා දත ගලවන්නෙ. කැක්කුම තියෙන දතක් එන්නත් දුන්විට හිරි වැටෙනවා නම් විතරක් ගලවන්න පුළුවන්. රෝගියාව අපහසුතාවට පත්වීම වළක්වන්න තමා රිදෙන දතක් වෛද්‍යවරු ගලවන්න නැත්්තෙ.
සමහර අයගෙ දත් දිරලා කැක්කුම නොදුන්නත් දත්වල සුදුපාටට පිපිරිලා වගේ ඉරි තැළුම් තියෙනවා. එවිට කළ යුත්තේ කුමක්ද?
එහෙම වුණාම දත්වල පෙනුමට ප්‍රශ්නයක් නිසා දත්වල පාටින් පිපිරුණු තැන් පිරවිය හැකියි. ඊට අමතරව කළ හැකි දෑ සඳහා දත් පරීක්ෂාවක් කළ යුතුයි.
දත් ඉක්මනින්ම දිරාපත්වීම, කළුවීම නවත්වා ගන්නෙ කොහොමද?
දිරාපත් වූ දත් ඉක්මනින් පිරවීම, දිනකට දෙවරක් නිවැරැදි ක්‍රමයට දත් මැදීම, දත් දිරායාම පාලනය සඳහා Fluoride Varnish වැනි ප්‍රතිකාරවලට යොමු වීම මීට පිළියම් ලෙස දැක්විය හැකියි. ඒ වගේම බිස්කට් වර්ග, සීනි සහිත කෑම බීම ගැනීම අඩු කළ යුතුයි.
දත් සහ වීදුරුමස්වල නීරෝගි පැවැත්මට විටමින් C අවශ්‍ය නිසා ඒවා ගත යුත්තේ කොහොමද?
දිනකට එක් අලුත් පලතුරක් ගැනීමෙන් දෛනික විටමින් C අවශ්‍යතාව සම්පූර්ණ වෙනවා. එය ප්‍රමාණවත්.
දතක මුලට හානිවෙලා නම්, මුල මතු වෙලා නම් මොනවගේ ප්‍රතිකාරයක් ද කරන්නේ?
හානිවෙලා තියෙන කොටස දන්ත වෛද්‍ය සායනයකින් පුරවා හදා ගත හැකියි. දත් මදිද්දී අත තද කරලා මදින්න නරකයි. දත් මැදීමට Soft කෙඳි තිබෙන බුරුසු තෝරා ගත යුතුයි. මෙහිදී බුරුසු ආවරණයේ Soft යනුවෙන් සඳහන්ව ඇති බුරුසුවක් තෝරා ගන්න.
මුඛයේ දුගඳ නැති කිරීමට ප්‍රතිකාරයක් කීවොත්?
පළමුව පරීක්ෂාවකින් මුඛයේ දුගඳට හේතුව සොයා අනතුරුව ඊට ගැළපෙන ප්‍රතිකාර කළ යුතුයි. දත්වල මැලියම් බැඳීම, ආමාශය ආශ්‍රිත ගැටලු ආවා නිසා මෙවැනි තත්ත්වයක් හටගත හැකියි. මෙහිදී ආමාශය සම්බන්ධ ගැටලුවක් නම් ඊට ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. මැලියම් බැඳීම නිසා දුගඳක් හමනවා නම් යම් පිළියම් දන්ත වෛද්‍ය සායනයකින් ලබාගත හැකියි.
ගර්භිනී සමයේ හොඳ මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීමට නම්?
නිවැරදි පෝෂ්‍යදායී ආහාර රටාවකට අනුගත වීම, හොඳින් ජලය පානය කිරීම, සුළු දන්ත ආසාදනවලට පවා වහා දන්ත සෞඛ්‍ය උපදෙස් ලැබීම කළ විට ගැබිනි මවගේත්, ළදරුවාගේත් හිත සුව සැලසෙයි.
මුදල් ගෙවා පෞද්ගලික දන්ත සායනවලින් ප්‍රතිකාර ලබාගත නොහැකි පුද්ගලයන් වෙනුවෙන් නොමිලයේ පවත්වන සියලුම දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාගත හැකි ස්ථාන පවසන්න.
නොමිලයේ මුඛ රෝග නිවාරණය කිරීමේ සේවාව ලබා දෙන්නට කොළඹ මුඛ රෝග නිවාරණ ඒකකය සේම මහරගම මුඛ රෝග නිවාරණ විශේෂඥ ඒකකයක් ද මහරගම ජාතික මුඛ සෞඛ්‍ය ආයතනයේ ස්ථාපිත කරඇත.
මවකගෙන් තම බිලිඳාට මුඛ දන්ත රෝග බෝ වෙනවාද?
මවක් දරුවාව සිප ගැනීමේදී ද දරුවාත්, මවත් දෙන්නාම වතුර සහ බීම වර්ග පානය කිරීමට එකම බඳුන භාවිත කිරිමේදී ද මව බිළිඳාට කවන පොවන ආහාර පානවල රස හැන්දෙන් බලා එම හැන්දෙන්ම දරුවාගේ ආහාර පාන කැවීමේ, පෙවීමේදී ද දත් දිරායාම අධික මවකගේ ඛේටය මඟින් දරුවාට රෝග කාරක බැක්ටීරියා ඇතුළු වේ. එවිට දරුවාගේ දත් දිරායාමේ අවදානම වැඩි විය හැකිය.
ගර්භිණී මවුවරුන්ට ඇතිවන දන්තාබාධ මොනවාද?
ගැබිනි අවධියේදී ඇතිවන හෝමෝන වෙනස්කම් නිසා විදුරුමස් ඉදිමීම, මෘදුවීම, රුධිරය ගැලීම සිදුවීමත් ගැබිනියන්ට ඇතිවන ඔක්කාරය හා වමනය නිසා ආමාශයික යුෂ මුඛය වෙත ඇතුළු වී ආම්ලික වීමෙන් දන්ත එනැමලය ඛාදනය වීමත් සිදු විය හැකියි. එමෙන්ම ගැබිනි සමයේ වැඩිපුර ඇඹුල් රස, පැණි රස කෑමට ගැනීම නිසාත් දත්වල එනැමලයට හානිවීම මෙන්ම දත් දිරායාම සිදුවෙයි. දරුගැබට සති 14 – 20ත් අතර කාලයේ දන්ත ප්‍රතිකාරවලට සුදුසු කාලය වන අතර අනෙක් කාලවලදී ද මුඛය වෛද්‍ය පරීක්ෂාවන්ට බඳුන් කළ හැකියි.
ගැබිනියන්ට අහිතකර නොවන දන්ත වෛද්‍ය ප්‍රතිකාර මොනවාද?
දත්වලට සාමාන්‍ය හෝ ස්නායු පිරවීම් කිරීම, කැඩුණු දත් හැදීම, දත් සුද්ධ කිරීම, කහට පැල්ලම් ඉවත් කිරීම වැනි ප්‍රතිකාර කළ හැකියි.
ෆ්ලෝරයිඩ් ලබාගත හැක්කේ දන්තාලේපවලින් පමණක් ද?
පෙති ලෙස ලබා ගැනීමට, ජලයට මිශ්‍රකර බීමට, මවුත් වොෂ් මඟින් ලබා ගැනීමට, ෆ්ලෝරයිඩ් අඩංගු ජෙල් වර්ග, වාර්නිෂ් වර්ග මිලට ගත හැකි වුණත් වඩාත්ම ප්‍රතිඵලදායක ෆ්ලොරයිඩ් අඩංගු දන්තාලේපයකින් දත් මැදීමයි. ෆ්ලෝරයිඩ් මුඛය තුළ රැඳී තිබිය යුතු නිසා දත්මැද බොහෝ වරක් සෝදන්න එපා.
ඔබගේ දන්ත ගැටලු අපට ලියන්න
උපදෙස්
දන්ත ශල්‍ය වෛද්‍ය
රොෂාන් කරුණාතිලක
පමිතා කුමාරි ගුණතිලක