Monday, September 8, 2025
Epaper
Home Highlightsහිතේ ලෙඩ සුව කරන බලු සුරතල්ලු

හිතේ ලෙඩ සුව කරන බලු සුරතල්ලු

by Thanushika

සුරතල් සතුන් ඇති කිරීමෙන් හෘද රෝග අඩු වීම, අධි රුධිර පීඩනය පාලනය වීම, මානසික ආතතිය අඩු වීම, පීඩාකාරී මනස සන්සුන් වීම සහ ශාරීරික ව්‍යායාම යනාදී ශාරීරික මානසික ප්‍රතිලාභයන් නොමිලේම ඔබට හිමි වේ.

පුංචි දිලිසෙන රවුම් ඇස් දෙකකින් මූණ පිරුණු, ඉස්පාසුවක් නැතුවම පුංචි වලිගය සොලවන, නිතර දෙවේලේ හති වැටෙන සුරතලෙක් ගැන කිව්වොත් නම් අනිවාර්යයෙන්ම බලු සුරතලුන් ඔබේ මතකයට ඒවි. බොහෝ දුරට ඔබ කැමැතිම සුරතලුන් පිළිබඳ විමසුවොත් නිසැකවම බොහෝ දෙනකුගේ පිළිතුරත්  බලු පැටවකු වේවි. නිතර දෙවේලේ එහෙ මෙහෙ දුව පනින බලු සුරතලුන් අප කාගේත් සිත් දිනා ගැනීමට සමත් වන දසුනක්නේ. අවංක, පක්ෂපාතී බවින් පිරුණු මොවුන් මිනිසා සමඟ සමීප සබඳතා පවත්වන්නේ අද ඊයෙක නොවේ. මිනිස් ශිෂ්ටාචාරයේ මුල් අවධියේ පටන්ම මිනිසා ළඟින්ම ඇසුරු කළ සත්ත්ව කොට්ඨාස ලැයිස්තුගත කළොත් එහි මුලින්ම සිටින්නේ බලු සුරතලුන්. ලෝක සුනඛ දිනය යෙදිලා තිබුණේ අගෝස්තු 26 වැනි දාටයි. ඒ නිසාම මේ දවස්වල පුංචි බලු සුරතලුන්ට වැඩි අවධානයක් යොමු වෙලා.

මොවුන් ස්වභාවයෙන්ම මිනිසාට  වඩාත් සමීප, බුද්ධිමත්, ක්‍රියාශීලී, ළෙන්ගතු, මිත්‍රශීලී, විනෝදයට ළැදි සතුන් කොට්ඨාසයක්. එමෙන්ම පවුලේ සාමාජිකයෙක් මෙන් ආදරණීය සංවේදී ගුණයන්ගෙන් පිරුණු ඉතාම හොඳ ආරක්ෂකයකු විදිහටත් බලු සුරතලුන් මිනිස් සිත් දිනාගෙන අවසන්. ඉතින් වර්තමානය වන විට  සුනඛයා අපගේ පවුලේ ස්ථිර සාමාජිකයකු වී හමාරයි.

දඩයම් යුගයේ පටන්ම මිනිසා ආ ගමනේ ළඟම සිටි හිතවතා වුණු සුනඛයා මුලින්ම ඇති කළේ දඩයම් කිරීමට, ආරක්ෂාවට, හුරතලයට සහ විනෝදයටයි.

නමුත් වර්තමානයේ දී ඇතැම් මිනිසුන් සිය සමාජ තරාතිරම

පෙන්වීමේ සංකේතයක් ලෙසත් බලු සුරතලුන් ඇති කරනවා. බොහෝ දුරට අද වන විට ජර්මන් ෂෙපර්ඩ්, ලැබ්‍රඩෝ, බොක්සර්, රොට්වයලර්, ගෝල්ඩන් රිට්රීවර්, බීගල්, ඩොබර්මන්, බුල්මාස්ටිෆ්, පොමරේනියන්, ග්‍රේට් නේ ආදී විවිධාකාරයේ නම් දරන සුනඛ වර්ග පිළිබඳ සමාජයේ වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා.

අභිජනන ක්‍රියාවලිය ඔස්සේ මෙම සුරතලුන්ගේ යම් යම් ලක්ෂණ වැඩි දියුණු කර ඇති නිසා මිනිසා සිය කැමැත්ත අනුව සිය සුරතලුන් තෝරා ගන්නවා. මේ කුමන වර්ගයේ සුනඛ විශේෂයන් කරළියට ආවත් දේශීය බලු සුරතලුන් කෙරෙහි සමාජයේ ඇල්ම බැල්ම තවමත් අඩු වී නොමැති බවත් කිව යුතුමයි.

බල්ලන් තම නිවෙස සොරුන්ගෙන් ආරක්ෂා කර ගනිමින් සහ දරුවන් සමඟ සෙල්ලම් කිරීමෙන් පවුල් තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. වර්තමානයේ, ලෝකයේ බොහෝ ප්‍රදේශවල සුනඛයන් පවුලේ සාමාජිකයන් ලෙස සලකනු ලැබේ. මේ අනුව, මෙවර ජාත්‍යන්තර සුනඛ දිනයේ ප්‍රධාන අරමුණ වන්නේ මිනිසුන් අතර සුනඛයන්ගේ වැදගත්කම ඉස්මතු කිරීම සහ නවාතැන් සහ ගලවා ගැනීමේ සංවිධානවලින් සුනඛයන් හදා වඩා ගැනීමට මිනිසුන් දිරිමත් කිරීමයි.

සාමාන්‍යයෙන් ඔබ පුරුද්දක් ලෙස සුරතල් සතෙක් ඇති කරනවා නම් ඔබේ ශාරීරික සහ මානසික සෞඛ්‍යට ප්‍රතිලාභ රැසක් හිමිවේ. විශේෂයෙන්ම සුරතල් සතුන් ඇති කිරීමෙන් හෘද රෝග අඩු වීම, අධි රුධිර පීඩනය පාලනය වීම, මානසික ආතතිය අඩු වීම, පීඩාකාරී මනස සන්සුන් වීම සහ ශාරීරික ව්‍යායාම යනාදී ශාරීරික මානසික ප්‍රතිලාභයන් නොමිලේම ඔබට හිමි වේ. ඉතින් මේ බලු සුරතලුන් සහ මිනිසා අතර හුදෙක් ස්වාමියා සහ සුරතලා ලෙස පමණක්ම රාමුගත නොවූ අපූරු සබැඳියාවක් ඇති බව  පර්යේෂණාත්මකව සොයාගෙන ඇත.

බල්ලන්ගේ සුවඳ දැනීමේ හැකියාව මිනිසුන්ට වඩා 40 ගුණයකින් හොඳ විය හැකියි. මේ අනුව, බෝම්බ සෙවීමට සහ සාක්ෂි සොයා ගැනීමට බල්ලන් යොදා ගනී. එබැවින්, ඕනෑම මිනීමැරුම් නඩුවක් විමර්ශනය කිරීම සඳහා පොලීසිය විසින් බල්ලන් යොදා ගනී. බල්ලන් ඉතා ජනප්‍රිය සුරතල් සතුන් වන්නේ ඔවුන් ඉතාමත් විශ්වාසවන්ත, සෙල්ලක්කාර, මිත්‍රශීලී සහ මිනිසුන්ට සවන් දෙන බැවිනි.

බල්ලන්ට කන් චලනය කිරීමට හෝ පාලනය කිරීමට මාංසපේශි 18ක් ඇති අතර ඔවුන් වටා ඇති ශබ්ද ඇසීමට හෝ සවන් දීමට ඔවුන්ගේ කන්වල දිශාව තරමක් වෙනස් කිරීමට ද උපකාරී වේ.

ඔබ මඳක් සිතන්න. ඔබ නොයෙක් ප්‍රශ්නවලින් පිරිලා, තනිවෙලා, අරමුණක් නැතිව කලකිරිලා සිටින වෙලාවක පුංචි මායාකාර බලු සුරතලාගේ ඇස් ඔයා දිහා බලාගෙන ඉන්න විට දැනෙන සතුට, සැනසීම කොතරම් ද? ඔබේ හිස බලු සුරතලාගෙ හිස හා සමීප කර මඳක් බලා සිටින්න. එවිට බලු සුරතලුන් ඔබට ලබාදෙන කොන්දේසි විරහිත ඒ ආදරය නිසැකවම ඔබට දැනේවි. සුරතලා ඇතැම්විට හිසරදයට ආලේපනයක් විය හැකිය. ඔබේ ප්‍රශ්න ගැටලු සඳහා පිළිතුර විය හැකිය. විශේෂයෙන්ම වේදනාවන්ගෙන් පෙළෙන අයගේ වේදනාව ආශ්‍රිත ආබාධිත භාවය සහ මානසික අවපීඩනය අඩු කිරීම සඳහා සුනඛයන් අතිශයින්ම වැදගත් කාර්යයක් කරන බව පර්යේෂණාත්මකව ඔප්පු වූ කරුණකි.

ඊට හේතුව වන්නේ අපගේ චිත්ත වේගයන් සහ බන්ධන හැසිරීම් පාලනය කරන ස්නායු රසායනික ක්‍රියාවලියට බලපෑම් කිරීමේ හැකියාවක් සුනඛයන් සතු වීමයි. මේ නිසා ආතති මට්ටම අඩුකරමින් චිත්තවේගීය යහපැවැත්ම වැඩි දියුණු කරයි. බලු සුරතලෙක් ඉන්න ඔබ නිතරම සතුටින් සැනසිල්ලේ කාලය ගත කරනුයේ අන්න ඒ නිසයි. ඔබටත් නිරෝගී සන්සුන් ජීවිතයක් අවශ්‍ය නම් අදම පුංචි බලු රාලෙක්ගෙ ස්වාමියෙක් වෙන්න අමතක කරන්න එපා.

ඉතින් ඔබ දැනටමත් බලු සුරතලකුගේ අයිතිකාරයෙක් නම් එහෙමත් නැතිනම් අයිතිකාරයෙක් වීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් නම් ඔබේ සුරතලාගේ එන්නත් කිරීම්, පිරිසුදුකම, මැක්කන් ගැන අවධානයෙන් සිටීම සහ තරබාරුකම ගැනත් සැලකිලිමත් වීමට අමතක කරන්න එපා. නිසි වෙලාවට වෛද්‍ය පහසුකම් ලබා දීම, ආහාර ලබා දීම සහ එළිමහනේ ඇවිදවීම ගැනත් විශේෂ අවධානයක් යොමු කිරීමත් වැදගත්. ඔබේ බලු සුරතලාට ඔබ දක්වන ආදරයට දස දහස් ගුණයක වැඩි ආදරයක්, ආරක්ෂාවක් ඔබට සුරතලාගෙන් ලැබේ. ජීවිතයේ අවසන් තත්ත්පරය දක්වාම බලු සුරතලුන් ඔබ වෙනුවෙන් බලා සිටී. මේ නිසා ඔවුන් ඔබේ වගකීමක් කොටගෙන ඇතිදැඩි කරන්න. ආදරයෙන් රැකබලා ගන්න.

උපදෙස්

පශු වෛද්‍ය

අනුර දිසානායක

හිමාෂි මධුවන්ති සේනාරත්න

විදුමිණි දිසාකරුණා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?