Tuesday, September 9, 2025
Epaper
Home Highlightsවසර එකසිය පනහකට පසු රෙජිස්ට්‍රාර් ජනරාල් පුටුවට කාන්තාවක්
2021න් පසු ඉපදුණු සැමට e උප්පැන්නයක්

වසර එකසිය පනහකට පසු රෙජිස්ට්‍රාර් ජනරාල් පුටුවට කාන්තාවක්

 සසිදේවි ජලදීපන්

by Thanushika

ලෝකය පුරාම කාන්තාවන්ගේ ශක්තිය එක මිටකට ගොනු වෙමින් තිබේ. ඇය ඉතාම ශක්තිමත් ලෙසින් සෑම ක්ෂේත්‍රයකම ඉදිරියට පැමිණෙන ආකාරය මැනවින් ප්‍රදර්ශනය කරයි. මේ දැවැන්ත වූ ප්‍රවාහයට ශ්‍රී ලාංකේය කාන්තාවගේ දායකත්වය ද සක්‍රිය ලෙසින් එකතු වෙන අයුරු මැනවින් ප්‍රදර්ශනය කරයි.

දේශපාලනයේ ඓතිහාසික සිදුවීමක් සනිටුහන් කළ අපි නැවත වරක් ජාතියක් ලෙස ලෝකය ඉදිරියේ කාන්තාවගේ හැකියාව ප්‍රදර්ශනය කරමු.

සසිදේවී ජලදීපන්… ඇය යුගයක් අලුත් කළ තවත් එක් සුවිශේෂී කාන්තා චරිතයක් ලෙස ඉතිහාසගත වෙයි. වසර එකසිය පනහකට වැඩි ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රථම කාන්තා රෙජිස්ට්‍රාර් ජනරාල් ලෙස ඇය ඉතිහාසගත වන්නේ වසර විසිතුනකට වඩා වැඩි කාලයක් රාජ්‍ය පරිපාලන සේවයේ අත්දැකීම් සමුදායක් සමඟිනි. වසර තිහක කුරිරු යුද ගිනි දැල් අතුරින් දහසක් කම්කටොලු මැද අකුරු කළ ඇය ආ ගමන බොහෝ දුෂ්කරය. අභියෝගාත්මක වූ ඒ ගමන් මඟේ ජීවිත අත්දැකීම් ද බොහෝය.

ඇය ආ ඒ දිගුගමනේ මං සලකුණු සොයා අප ගියේ බත්තරමුල්ලේ පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයටයි. ඇය රෙජිස්ට්‍රාර් ජනරාල් තනතුරේ කටයුතු ආරම්භ කරන්නේ අගෝස්තු 25 වැනි දිනයි. මා ඇයට දුරකතනයෙන් ඇමතුමක් ලබා දෙන්නේ ඉන් පසු දිනයි.

“මට නව රෙජිස්ට්‍රාර් ජනරාල්තුමිය හමුවෙන්න වෙලාවක් ගන්න පුළුවන් ද?” මම රෙජිස්ට්‍රාර් ජනරාල් තුමියගේ ලේකම් මහත්මියගෙන් විමසුවෙමි. ඇය ඒ සඳහා සුළු වේලාවක් ලබා දෙන ලෙස මඟින් ඉල්ලීමක් කළේය. ගත වූයේ පැයක් වැනි කාලයකි. ලේකම් මහත්මියගෙන් මට ඇමතුමක් ලැබුණි.

“ඔව් ඔබතුමාට රෙජිසට්‍රාර් මැඩම් හමුවෙන්න පුළුවන්. අද සවස දෙකයි තිහට එන්න පුළුවන්ද?” ඇය මගෙන් විමසුවාය. සැබැවින්ම එම ඇමතුම මට අදහා ගත නොහැකි තරම්ය.

මෙතරම් කාර්යබහුල වූ රෙජිස්ට්‍රාර්තුමිය හමුවීමට මෙතරම් ඉක්මනින් අවස්ථාවක් ලැබීම පුදුමයකි.

සැබැවින්ම මෙය නව රෙජිස්ට්‍රාර් ජනරාල්වරියගේ දක්ෂතාව පිළිබඳ මැනවින්ම ප්‍රදර්ශනය කිරීමට ප්‍රමාණවත්ය. අප බත්තරමුල්ලට ළඟා වන විටත් විනාඩි කිහිපයක් ප්‍රමාද වී තිබුණි. එහෙත් ඇය හමුවීමට අපට කිසිම බාධාවක් නොවීය.

“ආයුබෝවන් එන්න වාඩිවෙන්න …”

ඇය අප පිළිගත්තේ මහත් ගෞරවයෙන් යුතුව දෑත් දෙකම එකතු කරමින්. සිනහව පිරි මුහුණින් යුතු ඇය සන්සුන් ඉරියව්වෙන් අප සමග පිළිසඳරට එක් වූ ඇයගේ සිංහල වාග් විලාශය ඉතාම පැහැදිලිය. එසේම නිවැරදිය.

මේ තනතුරේ වැඩබාර ගැනීමට පෙර මේ තනතුරේ කිසිම කාන්තාවක් සිටියේ නැති බව දැනගෙන ද ඔබතුමිය බාරගත්තේ ?

ඇත්තටම මම මේ තනතුර බාරගත්තට පසුව තමයි දැනගත්තේ අවුරුදු එකසිය පනහකට පසුව ප්‍රථම වරට කාන්තාවක් ලෙස මම පත් වූ බව. මෙවැනි පත්වීමක් මට ලබාදෙන්න ඇත්තේ රට වෙනුවෙන් විශාල සේවයක් කරයි කියලා අපේක්ෂාවෙන්. වසර 25 කට ආසන්න රාජ්‍ය පරිපාලන සේවයේ ලැබූ අත්දැකීම් හා පළපුරුද්ද ඒකට ප්‍රධානම හේතුවක්. මම වසර ගණනාවක් විවිධ අමාත්‍යංශ ගණනාවක තනතුරු දැරුවා. මේ තනතුරේ වැඩ භාර ගැනීමට ප්‍රථම මම සේවය කළේ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක් ලෙසයි.

ඔබතුමිය ඊට පෙර සේවය කළේ කුමන ආයතනවලද ?

මම මුලින්ම ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයට එකතු වෙන්නේ 2003 වසරේදී. ඉන්පසුව 2006 වර්ෂයේදී ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබෙනවා. ඇත්තටම ඒ කාලයේ රටේ පැවති වාතාවරණයත් එක්ක මට විශාල වගකීමක් පැවරිලා තිබුණා. ඒ වගේම ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඉතාම විශාල බොහොම ප්‍රදේශයක් පුරා විහිදී යනවා. මේ ප්‍රදේශයේ ජනතාව ගත කළේ ඉතාම දුෂ්කර ජීවිතයක්. ඔවුන්ගේ සමාජීය හා ආර්ථික ගැටලු රාශියක් තිබුණා.

ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස මට ඒ සියලුම ගැටලු සඳහා විසඳුම් ලබා දෙන්න තරම් හැකියාවක් තිබුණේ නැහැ. නමුත් මම උපරිම සේවයක් කරමින් 2013- 2014 වසරේදී ත්‍රිකුණාමලය නගරය ජාතික ඵලදායිතා සම්මානය දෙවැනි ස්ථානය දිනා ගත්තා. මට පුළුවන් උපරිම ශක්තියෙන් ඒ ජනතාව වෙනුවෙන් සේවය කළා. ඔවුන්ගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න කැපවුණා.

මේ ආකාරයෙන් වසර ගණනාවක් සේවය කරන විට මට ස්ථාන මාරුවක් ලැබෙනවා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට. 2015 වසරේදී තමයි මම දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් ලෙසින් වැඩ භාර ගන්නේ.

ඔබට ඒ පත්වීම නම් වෙනස්ම අත්දැකීමක් වෙන්න ඇති නේද? කොයි ආකාරයේ අත්දැකීමක්ද ලැබුණේ?

වසර ගණනාවක මගේ පරිපාලන ජීවිතයේ හොඳම කාල පරිච්ඡේදය හා විශාලම සේවයක් කිරීමට ලැබුණු කාලය හා ප්‍රදේශය තමයි දිඹුලාගල. මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරී වසම් 58ක් තිබෙන පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ප්‍රදේශයක්. මම දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් ලෙස පත්වෙලා ගිහින් සති දෙකක් තුනක් ගියා. අපේ කාර්යාලයට සතියකට එන්නේ බොහෝම සුළු පිරිසක්. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඉතාම කාර්යය බහුල වුණු මට මේ සිද්ධිය අමුතුම අත්දැකීමක්. මම ටික දවසක් ගිහින් ග්‍රාම නිලධාරීන්ගේ මාසික රැස්වීමක් කැඳෙව්වා. මම ඇහැව්වා ඇයි මේ ප්‍රදේශයේ ජනතාව අපේ කාර්යාලයට එන්නේ නැත්තේ කියලා. එතකොට ඒ නිලධාරීන් මට කිව්වා දිඹුලාගල ප්‍රදේශයේ මහවැලි ගොවි ජනපද විශාල සංඛ්‍යාවක් තිබෙන නිසා ඒ ප්‍රදේශයේ ජනතාවට ගොවිතැන් කරන කාලයේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එන්න වෙලාවක් නැති බව.

මම කල්පනා කළා ජනතාවට අපි ළඟට එන්න වෙලාවක් නැතිනම් අපි ඒ ජනතාව ළඟට යන්න. මම මුලින්ම දිඹුලාගලින් ‘අරුණෝදයේ ජංගම සේවය’ පටන් ගත්තා. සෑම සිකුරාදා දිනකම ග්‍රාම නිලධාරී වසමෙන් වසම අපේ සේවය ජනතාවට ලබාදෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න.

ඇත්තටම මගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින්ට විශාල ගැටලු රාශියක් තිබුණා. දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ බොහෝ දෙනෙක් දඬුවම් ලබන සේවක පිරිසක් ලෙසයි සේවය කළේ. නමුත් ඒ සේවක පිරිස ඉතාම කැමැත්තෙන් මමත් එක්ක වැඩ කරන්න එකතු වුණා. කැපවීම සහ සේවය නිසා අපට 2015 වසරේ ද ජාතික ඵලදායිතා සම්මානය දෙවැනි ස්ථානය ස්ථානය දිනාගන්න හැකියාවව ලැබුණා. ඒ වගේම 2016 සහ 2017 වසර දෙකේදීම පළමු ස්ථානය දිනා ගත්තා.

අපි මුලින්ම කළේ දිඹුලාගල ප්‍රදේශයේ විවාහ නොවුණු පවුල් විසි පහක් හඳුනාගෙන ඔවුන්ගේ නීත්‍යනුකූල විවාහ සිදුකිරීමට කටයුතු කිරීම. ඇත්තටම ඒ අය විවාහ වෙලා නැත්තේ රෙජිස්ට්‍රාර් ගාස්තුවක් නැතිකම හා විවිධ ගැටලු නිසයි. අපි ඒ සඳහා මුදල් ප්‍රතිපාදන සොයාගෙන එක දවසක විවාහ උත්සවයක් පැවැත්වූවා. මේ වැඩිහිටි පවුල් අතර අවුරුදු අසූ පහක තාත්තා කෙනෙකුත් හිටියා.

අපි මේ විවාහ උත්සවය පැවැත්වූවාට පසුව මුළු රටම අපේ මේ සත්කාරය ගැන ප්‍රශංසා කළා. දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කවදා ද එන්නේ කියලා බලාගෙන හිටිය නිලධාරීන් ස්ථාන මාරුවීම් ඉල්ලීම් ප්‍රතික්ෂේප කරලා වැඩ කරන්න පටන් ගත්තා.

දිඹුලාගල නායක ස්වාමීන් වහන්සේ අපිත් සමඟ විශාල සමාජ සත්කාර සේවා රාශියකට දායක වුණා. අපි වැව් රාශියක් පිළිසකර කළා. මේ වගේ සමාජ මෙහෙවරක් කිරීමට ලැබීම මගේ ජීවිතයේ ලැබුණු ලොකුම භාග්‍යයක් කියලා තමයි මම හිතන්නේ.

ඔබ ප්‍රාදේශීය ලේකම්වරියක ලෙස ලැබූ අත්දැකීමට පසුව රාජ්‍ය පරිපාලන සේවයේ දරපු තනතුරු මොනවාද?

මම ඉන් පසුව 2018 වසරේදී ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ලේකම්වරිය ලෙසත් 2019 වසරේදී ආර්ථික ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ධුරයත් 2020 දී මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙසත් සේවය කළා.

2021 වසරේදී මට වෙනත් තනතුරක් හිමි වුණා. ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ වසර කිහිපයක් කටයුතු කළා. මට මේ තනතුර හිමිවීමට ප්‍රථම සේවය කළේ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක ලෙසයි.

පරිපාලන සේවයේ මෙවැනි දිගු ඉතිහාසයක් ඇති ඔබගේ පවුල් පසුබිම හා අධ්‍යාපන පසුබිමත් අපට කියන්න පුළුවන්ද?

මම ඉපදුණේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ. පාසල් ගියේ ත්‍රිකුණාමලය ශාන්ත මරියා විද්‍යාලයට. උසස් පෙළ සමත් වෙලා මම යාපනය විශ්වවිද්‍යාලයෙන් මගේ පළමු උපාධිය හිමිකරගත්තා. ඉන් පසුව මගේ පශ්චාද් උපාධිය ඉන්දියාවේ කම්රාජ විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තේ සමාජ විද්‍යාව පිළිබඳවයි. ඊට පසුව තමයි මම රාජ්‍ය සේවයට එකතු වෙන්නේ.

මගේ සැමියා කොළඹ මූලස්ථාන තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපතිවරයකු ලෙස සේවය කරනවා. අපට දුවක් ඉන්නවා. දුව මේ දිනවල ඇයගේ උසස් අධ්‍යාපනය සඳහා කැනඩාවේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබනවා.

ඔබ මේ තනතුර භාර ගැනීමෙන් පසුව ඉදිරියේදී ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට අපේක්‍ෂා කරන සේවය කුමක්ද?

මම ඒ වෙනුවෙන් විධිමත් සැලසුමක් දැනටමත් සකස් කරමින් පවතින්නේ. අපේ සේවය ඉතාම පහසුවෙන් ලබාදීම තමයි එකම ඉලක්කය. මරණ උප්පැන්න හා විවාහ හා ඉඩම් ඔප්පු සහතික පිටපත් ජනතාව ඉතාම පහසුවෙන් ලබාගත හැකි ක්‍රමවේදයක් පිළිබඳ සකස් කරමින් පවතිනවා. ඔවුන්ට කාර්යාලවල දින ගණනක් රස්තියාදු නොවී අදාළ ප්‍රදේශයෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් තමුන්ට අවශ්‍ය සේවය ඉටු කර ගැනීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට අප ඉදිරියේදී කටයුතු කරනවා. ඒ වගේම 2021 සිට සියලුම උප්පැන්න සහතික හා මරණ සහතික ඩිජිටල් සහතිකයක් ලෙස නිකුත් කිරීමේ කටයුත්ත ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හා ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කරනවා. මේ සියලු කටයුතු ඉතාම කඩිනමින් ජනතාවට ලබාදීමේ ක්‍රියාවලියක් බවට පත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු මම උපරිමයෙන් ඉටු කරනවා. අපගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිටින සියලු නිලධාරීන් සමඟ එයට අවශ්‍ය කටයුතු කිරීම තමයි ඉදිරි සැලසුම.

ඇයගේ දැනුම හා පළපුරුද්ද අනුව ජනතාවගේ පොදු අවශ්‍යතා හමුවේ කාර්යක්ෂම සේවයක් ඉටුවන බවට අපට විශ්වාසයක් පවතී. එම විශ්වාසය යථාර්ථයක්ම වේවායි අප ඇයට සුබ පතමින් අප සමුගත්තේ ඇයගේ සේවය අගයන්නට තවත් දිනක අවස්ථාව ලැබේවා යන ප්‍රාර්ථනයෙනි.

PIX BY -ශාන් රූපස්සර

 

දුමින්ද කාරියවසම්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?