Monday, September 8, 2025
Epaper
Home Highlightsකරපිංචා කල් තියාගන්නේ මෙහෙමයි

කරපිංචා කල් තියාගන්නේ මෙහෙමයි

by Thanushika

අද හැමෝටම ගෙමිදුලෙන්ම කරපිංචා සපයාගන්න අවස්ථාව නැහැනේ. ඒ නිසා වැඩි දෙනෙක් කරපිංචා මිටියක් වෙළෙඳපොලෙන් ගන්නයි දැන් පුරුදු වෙලා ඉන්නේ. හැබැයි අද වෑංජන දෙක තුනකට කරපිංචා එකතු කළාට පස්සේ පහුවදා හදන කෑමවලට ඉතිරි කරපිංචා ටික නම් එකතු කර ගන්න ලැබෙන්නේ නැහැ. කරපිංචා ඒ තරම් ඉක්මනින්ම මැලවෙන නිසා.

කරපිංචා කොළයට තියෙන්නේ පැතිරිලා යන සුවඳක්. ඒ සුවඳ හින්දාම ආහාරවලට රසය සහ සුවඳ එකතු කරන්න කරපිංචා භාවිත කරනවා.

කරපිංචා කොළවල විටමින් A, B, C සහ E විශාල විදිහට තියෙනවා. ඒ වගේම කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ ප්‍රධාන ඇමයිනෝ අම්ලත් කරපිංචාවල හඳුනා ගන්න පුළුවන්. ආහාරමය වැදගත්කම ඉක්මවන ඖෂධීය වටිනාකමක් කරපිංචාවල තියෙනවා.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදීත් කරපිංචා වැඩි වශයෙන් භාවිත කරනවා. කො‍ෙලස්ටරෝල් පාලනය කිරීම සහ හෘදරෝග අවදානම අඩු කිරීම සඳහා ද කරපිංචාවල ප්‍රධාන වැදගත්කමක් තියෙනවා. ඒ වගේම ආහාර ජීර්ණය පහසු කිරිම සඳහාත් කරපිංචාවලින් ඉෂ්ට වෙන්නේ සහයක්.

ඉතින්, මෙච්චර වටිනාකම් තියෙන කරපිංචා කල් තියාගන්න එකත් ඒ තරම්ම වැදගත් බව ඔයාලාටත් තේරෙනවානේ. මේ කරපිංචා කල් තබා ගන්න පුළුවන් ක්‍රම කිහිපයක්.

කරපිංචා අතු වෙන් වෙන් විදිහට කඩාගන්න. සාමාන්‍ය ප්‍රමාණයේ භාජනයක් අරගෙන ඒකේ පතුලට පේපර් සර්වියට් කිහිපයක් දමන්න. ඊට පස්සේ කරපිංචා අතු සෝදන්නෙ නැතිව මේ භාජනය ඇතුළේ අඩුක් කරගන්න. විශේෂයෙන්ම මතක තියාගන්න ඕනි, මේ විදිහට කරපිංචා කල් තියාගන්නකොට අපි කරපිංචා සෝදන්නේ නැහැ . ඊට පස්සේ ශීතකරණයේ යට කොටසේ මේ පෙට්ටිය තියලා තියන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට ඉති අරගෙන, ඉතිරි ඒවා ආයෙම වහලා තියන්න සති දෙක තුනක් වුණත් කරපිංචා පාවිච්චියට සුදුසු මට්ටමින් කල් තියාගන්න මේ ක්‍රමයෙන් පුළුවන්.

කරපිංචා කල් තියාගන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි, ඉති වෙන් වෙන් කරලා ජලය භාගයක් විතර දාපු වීදුරුවක ඉත්තේ අග කොටස ගිලෙන විදිහට තියාගන්න එක. මේ ක්‍රමයෙන් ලොකු කාලයක් කල් තියාගන්න නොහැකි වුණත්, දින කිහිපයක් නම් පහසුවෙන්ම කල් තියාගන්න පුළුවන්.

ඒ වගේම කරපිංචා නටුවෙන් කොළ වෙන් කරලා අරගෙන ඒ කොළ සෝදලා වියළි රෙදි කඩක් මත දාලා, මඳ පවනේ හොඳින් වේළෙන්න තියලා, ඉන් පස්සේ වියළි පෙට්ටියක් ඇතුළට දාලා ශීතකරණයේ යට කොටසේ තියලාත් සතියක් විතර කරපිංචා කල් තියා ගන්න පුළුවන්. කරපිංචා කොළවල වතුර තිබුණොත් නම් දවස් දෙක තුනක් යනකොට කොළ තැම්බෙන්න ගන්නවා. ඒ නිසා මඳ පවනේ වියළා ගන්න එක වැදගත්.

ඒ වගේම කරපිංචා කොළ සෝදලා, තද අවුවේ වියළාගෙන, ඊට පස්සේ කබලේ යන්තම් රත් කරලා අරගෙන, සුළං නොවැදෙන වියළි භාජනයක දාලත් කරපිංචා මාස කිහිපයක් වුණත් කල් තියාගන්න පුළුවන්. විශේෂයෙන්ම විදෙස් ගත වෙන කෙනෙකුට කරපිංචා වියළි තත්ත්වයෙන් අරගෙන යන්න පුළුවන් එක ක්‍රමයක් මේක. මෙහිදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න

වතුර එක්ක කරපිංචා මුහු නොවී තියෙන්න.

ඒ වගේම කරපිංචා කොළ සෝදලා, තද අවුවේ වියළාගෙන, ඊට පස්සේ කබලේ යන්තම් රත් කරලා අරගෙන, බ්ලෙන්ඩරයකින් හොඳින් කොටලා පවුඩර් ආකාරයට පත් කරගෙනත් කරපිංචා කල් තියාගන්න පුළුවන්.

ඒ වගේම වැඩි කාලයක් කරපිංචා නැවුම් විදිහට කල් තියාගන්න පුළුවන් තව ක්‍රමයක් තමයි සිප් ලොක් බෑග්වල දාලා ශීතකරණයේ ඉහළ කොටසේ ති‍ෙයන එක. මෙතැනදී, බෑග් එක ඇතුළට පේපර් සර්වියට් දාලා ඒ සර්වියට් අතරට ඉතිවලින් වෙන් කරපු කරපිංචා දාලා, සිප් එක ලොක් කරගන්න පුළුවන්. ඒ වගේම, සර්වියට් බෑග් එකට දාන්නේ නැතුව, ඉතිවලින් වෙන් කරගත්ත කරපිංචා බෑග් එකට දාලා බෑග් එකේ හුළං හිටින්නේ නැති වෙන්න සීල් කරලත් වැඩි කාලයක් කරපිංචා කල් තියාගන්න පුළුවන්.

ඉතින් මේ ක්‍රම අනුගමනය කරන ගමන් ඔබේ මිදුලේ හරි, නි‍ෙවසේ බැල්කනියේ පොඩි පෝච්චියක හරි කරපිංචා පැළයක් හිටවා ගත්තානම් එදාට අවශ්‍ය කරන කරපිංචා එදාම කඩා ගන්නත් පුළුවන්.

 

විදුමිණි දිසාකරුණා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?