Tuesday, September 9, 2025
Epaper
Home Highlightsගැස්ට්‍රයිටිස්ම ද කියලා බලන්න Endoscopy එකක් කරන්න ම වෙනවා

ගැස්ට්‍රයිටිස්ම ද කියලා බලන්න Endoscopy එකක් කරන්න ම වෙනවා

by Thanushika

ගැස්ට්‍රයිටිස් නම් තත්ත්වයට මුහුණ දුන් පිරිස් ගැහැනු පිරිමි භේදයකින් තොරව, වයස් භේදයකින් තොරව සමාජයේ ඇති පදමට කරක් ගසයි.

ආමාශය සම්බන්ධ ගැටලු ඇති අය ගැස්ට්‍රයිටිස් නිසා අපමණ වෙහෙසකට පත්වේ.

මේ සම්බන්ධයෙන් විමසන්නට වසර ගණනාවක අත්දැකීම් සපිරි මයියා ගුණසේකර විශේෂඥ වෛද්‍යතුමා හමුවන්නට අප තීරණය කළා.

ඇත්තටම මොකක්ද මේ ගැස්ට්‍රයිටිස් කියන්නේ?

සාමාන්‍යයෙන් ගැස්ට්‍රයිටිස් කියලා හඳුන්වන්නේ ආමාශයේ තියෙන ප්‍රශ්න. මෙහිදී වෙන්නේ ආමාශයක බිත්තිය දුර්වල වීමක් අප ගන්නා ආහාර රටාව මේ සඳහා ඍජු බලපෑම් එල්ලකරයි. ආමාශය කියන්නේ අපි ව්‍යවහාර කරන බඩ නෙවෙයි. නමුත් බඩ හෙවත් උදරය තියෙන්නේ උදර කුහරයේ. ආමාශය, අක්මාව, ප්ලීහාව, පිත්තාශය, මහ බඩවැල, කුඩා බඩවැල, ගර්භාශය (කාන්තාවකගේ නම්), වකුගඩු මේ ආදී සියලු අවයව අයත් වෙන්නේ උදර කුහරයට. උදර කුහරයේ කැක්කුමටත් ගැස්ට්‍රයිටිස් කියන්න ගොඩක් අය පුරුදු වෙලා.

ගැස්ට්‍රයිටිස්ම ද තියෙන්නේ කියලා හරියටම හඳුනගන්නේ කොහොමද?

මේ සඳහා උදර කුහරය ආශ්‍රිතව අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් කිරීම අත්‍යවශ්‍ය වේවි. එහෙමත් නැත්නම් උදර කුහරය ආශ්‍රිතව CT ස්කෑන් එකක් කරන්නත් පුළුවන්. එවිට එක් එක් අවයව ආශ්‍රිතව ඇති ගැටලු වෙන වෙනම හඳුනාගන්නට පුළුවන්. පිත්තාශයේ, අක්මාවේ, අග්න්‍යාශයේ විවිධ ගැටලු විදහා පාන්නේත් ගැස්ට්‍රයිටිස් තත්ත්වය හා සමානවමයි.

උදාහරණයක් විදිහට ගත්තොත් උණ වැලඳෙනවා හා සමානයි. උණ ඩෙංගුවලට වෙන්නත් පුළුවන්. චිකුන්ගුන්යාවලට වෙන්නත් පුළුවන්. මැලේරියාවට වෙන්නත් පුළුවන්. මේ වගේ බඩ පුරවා දැමීම, ඇසිඩ් ගතිය පිත්තාශයේ ගල් නිසා වෙන්නත් පුළුවන්. ” අයියෝ මම බෙහෙත් කළේ ගැස්ට්‍රයිටිස්වලට. ඒ වුණාට පස්සෙනෙ දන්නේ පිත්තාශයේ ගල් තියෙනවා කියලා”. රෝගීන් මෙවැනි අත්දැකීම්වලට කොතෙකුත් මුහුණ දී ඇති.

ආමාශයේ ඇතුළත පටලයේ හෙලිකොබැක්ටර් පයිලෝරි (Helicobacter Pylori) නම් ක්ෂුදුජීවියාගෙන් තුවාල ඇතිවූ විට, සීරීම් ඇති වූ විට එය ගැස්ට්‍රයිටිස් නම් තත්ත්වය යැයි හඳුනාගැනේවි. එසේ නම් හට ගෙන ඇත්තේ ගැස්ට්‍රයිටිස්මදැයි නිවැරදිවම තහවුරු කරගන්නේ එන්ඩස්කොපි පරීක්ෂණයක් ( Endiscopy) මඟින්.

මෙය පැය 7ක් 8ක් පමණ නිරාහාරව සිට, නිර්වින්දනය නොකර, උගුර ආශ්‍රිත ප්‍රදේශය හිරිවට්ටවා කරන පරීක්ෂණයක්. මෙහිදී විනාඩි 5ක පමණ කාලයක් ගිලින මාර්ගය සෙන්ටිමීටර් 25 ක් පමණ විශාල කොට එන්ඩස්කොපි පරීක්ෂණය සිදුකරයි.

ගිලින මාර්ගය හෙවත් ගලනාලය සහ ආමාශය අතර බටය වැනි කොටසක් විශාල වී ඇත්ද එහි ගැටලුවක් ඇද්ද, ආමාශයේ ඇතුළත ගැටලු, ආමාශයේ කෙළවර කුඩා බඩවැල පටන් ගන්නා තැන ආදී ඇතුළත පටල සියල්ල හා ඒ ආශ්‍රිත ගැටලු සියල්ල මෙම පරීක්ෂණය ඔස්සේ දැකගත හැකියි.

ආමාශය ආශ්‍රිතව ඇතිවන හර්නියා තත්ත්වයක් (Hiatal hernia) ද තිබේ. මෙහිදී සිදු වන්නේ ආමාශය හා ගලනාලය සම්බන්ධ වන කොටස සාමාන්‍යයෙන් උදර කුහරයේ තිබිය යුතු වුවත් නොයෙකුත් හේතුන් නිසා එය උරස් කුහරය තුළට නෙරී යාමකි. මෙහිදී හට ගන්නේ ද ගැස්ට්‍රයිටිස් වැනි රෝග ලක්ෂණම වේ. ඇසිඩ් ගතිය වැඩි වේ.

උණ මෙන් ගැස්ට්‍රයිටිස් නමැති රෝග ලක්ෂණය හටගන්නේ ඇසිඩ් වැඩි ගතිය නිසාද හෙලිකෝබැක්ටර්වලින් තුවාල හටගෙනද, එයින් සිරීම් හටගෙනද, ගලනාලය සහ ආමාශය අතර හිඩැස විශාල වී ඇසිඩ් ගතිය ඉහළට ඒම හෙවත් Hiatal hernia ද …. මේ සියල්ල එන්ඩස්කොපි එකක් තුළින් බලා ගත හැකි වේ.

Helicobacter නම් තත්ත්වය නිසා හටගත් ගැස්ට්‍රයිටීස් තත්ත්වය නම් ඖෂධ ලබාදී සුව කළ හැකි වේ.

ගලනාලය සහ ආමාශය සම්බන්ධ වන සන්ධිස්ථානය ඇත්තේ උදර කුහරයත් උරස් කුහරයත් වෙන් වෙන පටලයට පහළිනි.

ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් නොමැති වුවත් ඇතැමුන්ට ස්වභාවයෙන්ම ඇසිඩ් ගතිය වැඩි වේ. මේ සඳහා ගත හැකි ඖෂධ ඇති අතර රාත්‍රී කාලයේ ඇසිඩ් නිපදවීම වැඩි නිසා බොහෝ විට රාත්‍රී කාලයේ මේ සඳහා වන ඖෂධ ගත යුතුයි.

වැඩිපුරම දකින්න පුළුවන් රෝග ලක්ෂණ මොනවාද?

*බඩ පපුව දැවිල්ල

*උගුරේ දැවිල්ල

*බඩ පුරවා දැමීම

*වාතය උගුරට ඒම

*පපුවේ තද වේදනාව

* වේදනා නාශක ඖෂධ භාවිතය –

විවිධ රෝග තත්ත්වයන් සඳහා දිගින් දිගටම වේදනානාශක ඖෂධ භාවිත කරන අයට ගැස්ට්‍රයිටිස් ඇතිවීමට ඇති ඉඩකඩ වැඩියි.

*මද්‍යසාර භාවිතය හා දුම් පානය –

මද්‍යසාර භාවිතය ආමාශය තුවාල වීමට වැඩි ඉඩකඩක් ගෙන දෙයි.

*මානසික ආතතිය

මිරිස් අධික ආහාර, දැවිල්ල වැඩි ආහාර ගත් විට ගැස්ට්‍රයිටීස් හැදෙනවාද?

මේ ආහාරවලින් ගැස්ට්‍රයිටිස් හැදෙනවට වඩා ගැස්ට්‍රයිටිස් තියෙන කෙනෙකුට මෙවැනි ආහාරවලින් වැඩි බලපෑමක් එල්ල කරන්න පුළුවන්.

ගැස්ට්‍රයිටිස් රෝගියෙකුට නුසුදුසු ආහාර වර්ග මොනවාද?

කොහොමත් අම්ල ගතියෙන් වැඩි කෑම බීම සුදුසු නැහැ. අඹ, අන්නාසි, තෙල් සහිත කෑම, ගැඹුරු තෙලේ බැදපු කෑම, තේ, කෝපි නිතර පානය සුදුසු නැහැ. චොක්ලට් වුණත් ගැස්ට්‍රයිටීස් රෝගියකුට එතරම්ම සුදුසු නැහැ.

එතකොට සුදුසු ආහාර මොනවද?

රතු හාල්, ඕට්ස්, ධාන්‍ය ආහාර, එළවළු, ආම්ලිකතාවෙන් අඩු පලතුරු ගැස්ට්‍රයිටිස් රෝගීන්ට සුදුසු වේවි.

ගැස්ට්‍රයිටිස්වලදී වෙන්නෙම ඇසිඩ් ගතිය වැඩිවන එක නිසා ඊට අඩු ඇසිඩ් ප්‍රමාණයක් ඇති ඒවා පමණක් ආහාරයට හා පානයට ගත යුතුයි.

යෝගට්වල ඇසිඩ් ගතිය තරමක් අඩු නිසා එය ගැස්ට්‍රයිටිස් සඳහා සුදුසුයි.

නැවුම් කිරි බොන එක හොඳයි. හැබැයි එයින් වෙන්නේ ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ යටපත් වෙන එක. මේ නිසා ගැස්ට්‍රයිටිස් පිළිබඳ සිතා කිරි බීම නිතර නිතර කිරීමත් සුදුසු නෑ.

ජීවිතයට තර්ජනයක් එල්ල කළ හැකි හෘදයාබාධයකින් දකින්නට පුළුවන් මෙවැනි ලක්‍ෂණම නේද?

බොහෝ දුරට එක සමානයි. මෙහිදී රෝහලකට යොමුවීම අතිශය වැදගත්. එහිදී ECG, රුධිර පරීක්ෂණ ඇතුළු පරීක්ෂණ වර්ග කීපයක්ම සිදුකොට නිශ්චිතවම හටගෙන ඇත්තේ හෘදයාබාධයක් ද නැද්ද යන්න පිළිබඳ වෛද්‍යවරුන් නිගමනයකට එළඹෙනවා.

මේ වගේ වෙලාවට බඩ පපුවේ වේදනාවක් කියලා හිතන්නෙ නැතිව හෘදයාබාධයක්ම කියලා හිතලා කටයුතු කරන එක වඩාත් ගුණදායකයි. හෘදයාබාධයක් ඇතිවෙන්න වයසක් නැතිම තරම්. ඒ තරමටම තරුණ පිරිස් හෘදයාබාධවලට ලක් වෙන්න පටන් අරන්.

 

නවලෝක රෝහලේ

ආමාශ අන්ත්‍ර ⁣රෝග පිළිබඳ

ශල්‍ය වෛද්‍ය

මයියා ගුණසේකර

 

ආශිර්වාදිනි හෙට්ටිආරච්චි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?