Monday, September 8, 2025
Epaper
Home Highlightsවෛරී සිතුවිලි ඇති මිනිසුන් සමඟ මෛත්‍රී සිතින් කටයුතු කල හැක්කේ කෙසේද?

වෛරී සිතුවිලි ඇති මිනිසුන් සමඟ මෛත්‍රී සිතින් කටයුතු කල හැක්කේ කෙසේද?

by Thanushika

මිනිස් සිතේ ප්‍රධානම කාර්යය වන්නේ සිතිවිලි ගොඩ නැඟීමයි. මිනිසා අවදිව සිටින සෑම මොහොතකම අතීතය හෝ අනාගතය සම්බන්ධ ව සිතුවිලි ගොඩනැඟෙයි. ඒවා කුසල හා අකුසල සිතිවිලි ලෙස ප්‍රධාන වශයෙන් වෙන් කළ හැකි ය. මෛත්‍රිය, දයාව, කරුණාව, අනුකම්පාව ආදි සිතුවිලි කුසල සිතුවිලි වන අතර වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, ගුණමකුබව ආදි සිතිවිලි අකුසල සිතිවිලි ය.

අකුසල සිතිවිලි උත්සන්න පුද්ගලයා මෙලොව වශයෙන් පරිහානියට, කරදරයට පත්වන ආකාරය දිනපතා දක්නට ලැබෙන සියදිවි නසා ගැනීම්, මනුෂ්‍ය ඝාතන, පැහැරගැනීම්, පහරදීම් ආදී ප්‍රවෘත්තීන්ගෙන් පැහැදිලි වේ. එමෙන් ම පරලොව ජීවිතයේ දී ද එම පුද්ගලයා දුගතිගාමීව උපත ලබා දුකට පත් වේ.

සිතේ ඇතිවන අකුසල සිතිවිලි යටපත් කරගෙන සිටීමට කෙතෙක් උත්සාහ කළත් අන් පුද්ගලයන් ඇසුරු කිරීමේ දී ඔවුන්ගේ ක්‍රියාවන් නිසා සිතේ අකුසල සිතිවිලි හටගන්නා බව බොහෝ දෙනාගේ මතය යි. වෛරී සිතිවිලි ඇති කරදරකාර මිනිසුන් සමඟ මෛත්‍රී සිතින් කටයුතු කළ හැක්කේ කෙසේද? යන්න ධර්මානුකූලව සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි.

අප අකැමැති වුවත් අප ගැටෙන සමාජයේ සිටින වෛරී සිතිවිලි ඇති මිනිසුන් සමඟ කටයුතු කිරීමට අපට සිදු වේ. මේ වෛරී සිතිවිලි ඇති පුද්ගලයා ඔබේ ආයතන ප්‍රධානියා විය හැකිය. එසේත් නැත්නම් ඔබේ තනතුර ම දරන සගයෙක් විය හැක. එසේත් නැත්නම් ආයතනයේ සේවය කරන කුමන හෝ තරතිරමක පුද්ගලයෙක් විය හැකි ය. මෙබඳු පුද්ගලයින් නිසා ඔබට බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු වන අතර ඔ‍බේ ජීවිතය පවා ඔවුන් නිසා අප්‍රසන්න විය හැකියි.

ඔබ ආයතනයේ සේවය කරන ඇතැම් මිනිසුන් ඔබ ලෙස විවේචන කරන අතර, නොයෙකුත් මුසා බස් ප්‍රචාරය කර එකිනෙකා භේද භින්න කිරීමට කටයුතු කරයි. එපමණක් නොව චාටු බස් කියමින් අනෙකාගේ සිත දිනාගැනීමට ද ඔවුන් උපක්‍රමශීලීව කටයුතු කරයි. එවැනි මිනිසුන් අතර කටයුතු කිරීමේ දී ඔබ බොහෝ ම විමසිලිමත් හා බුද්ධිමත් විය යුතු යි.

ඉහත කී පුද්ගලයන් ඇසුරු කිරීමේ දී ඔවුන් පිළිබඳ අප සිතේ ඇති වන ද්වේෂය මූලිකවම පාලනය කර ගත යුතු අතර

ඒ අවස්ථාවේ දී සිතේ ඇති වන සිතිවිලි හොඳින් හඳුනා ගත යුතු යි.

යම් කරුණක් නිසා යමෙකු තුළ ඇතිවන අප්‍රිය බව, නොසතුට, රුචි නොවන බව, නොරිස්සුම්සහගත බව ද්වේෂය හෙවත් තරහව නමින් හඳුන්වයි. වෛද්‍ය විද්‍යාත්මකව විමසා බැලීමේ දී තරහව ඇතිවන්නේ මොළයේ අභ්‍යන්තරික වශයෙනි. මේ සඳහා මොළය, හදවත,

පෙනහලු, ස්වසන පද්ධතිය ආශ්‍රිත කරගෙන මෙම හැඟීම මොළය අභ්‍යන්තරයේ ඇති “ලින්බික්’ පද්ධතිය මඟින් ක්‍රියාත්මක වේ.

බුදුන් වහන්සේ ද්වේෂය පුද්ගලයා තුළ ඇති වන ආකාර හතරක් පිළිබඳ ව දේශනා කර ඇත. ඒවා නම්,

1. යමෙක් මට අනර්ථයක්, අයහපතක්

කළා යැයි ද්වේෂය ඇතිකර ගැනීම.

2. යමෙක් මට අනර්ථයක් කරනවා යැයි වර්තමානය පිළිබඳ ද්වේෂය ඇතිකර ගැනීම.

3. අනාගතයේ දී අනර්ථයක් කරන්නේ යැයි සිතා ද්වේෂය ඇතිකර ගැනීම.

4. තමාගේ මිතුරාට අහිතක් කළේ යැයි ද්වේෂය ඇතිකර ගැනීම යනුවෙනි.

(අ.නි ආඝාතපටිවිනය සූත්‍රය)

ඔබ සේවය කරන ආයතනය තුළදීත් ඔබට ද්වේෂය ඇති වන්නේ මෙම කරුණු සතරින් එකකට ය.

මේ ආකාරයට සිතේ ඇති වන ද්වේෂය දුරු කර ගැනීම සඳහා ඔබට අනුගමනය කළ හැකි උපක්‍රම 05ක් බුදුන් වහන්සේ දේශනා කර ඇත.

1. මෛත්‍රිය පැතිරවීම

2. කරුණාව ඇති කරගැනීම

3. උපේක්ෂාවෙන් යුක්ත වීම

4. නොවිමසා නොමෙනෙහි කිරීම

5. කර්මයේ ස්වකීයත්වය පිළිබඳ මෙනෙහි කිරීම යනුවෙනි.

තරහ ඇති වූ විට ගැටුම් ඇතිවීම සාමාන්‍ය ය. එබැවින් තරහක් ඇති වූ විට එය නැති කරගැනීම සඳහා යොදාගත හැකි පළමු උපක්‍රමය වන්නේ ඔවුන්ට මෛත්‍රිය කිරීම හෙවත් මිතුරුකම පෑම යි. මෛත්‍රිය පුහුණු කිරීමෙන් ආනිසංස 11 ක් ලැබෙන බව මෙත්තානිසංස සූත්‍රයේ දැක්වේ. ද්වේෂය පුහුණු කිරීමෙන් කිසිදු යහපත් ආනිසංසයක් නොලැබේ. රන්තලියක් අරභයා බෝසතුන් සමඟ දෙව්දත් තෙරුන් සේරීවාණිජ ව උපන් ආත්මභවයේ දී ඇති කරගත් ද්වේෂය බුුදුවන ආත්මභාවය දක්වාම ගමන් කළ ආකාරය සේරිවාණිජ ජාතකයේ දැක් වේ. මෛත්‍රිය කොතරම් බලවත්ද යත්? රා කළ සොළසක් පොවා බුදුන් හමුවට පැමිණි නාලාගිරි හස්තිරාජයා බුදුන් අභියස දමනය වූ ආකාරයෙන් ම ‍ මෛත්‍රිය කොතරම් බලවත් ද යන්න ඔබට පැහැදිලි වනු ඇත.

දෙවැනි උපක්‍රමය වන්නේ, කරුණාව ඇති කරගැනීම යි. කරුණාව යනු අනෙකාගේ දුකේ දී තම හදවත කම්පාවීම යි. තමාට චෝදනා කරන, බණින, නින්දා කරන පුද්ගලයාගේ බුද්ධි මට්ටම, වයස, තරාතිරම, පවුල් පසුබිම ආදිය සිතා ඔහුගේ මානසිකත්වය තේරුම්ගෙන ඔහුට කරුණාව දැක්විය යුතු ය. බුදුන්ට දොස් නැගූ අක්කෝස භාරද්වාජ බමුණාට බුදුන් වහන්සේ දැක්වූයේ කරුණාවයි. එයින් ම ඔහු තමා කළ වරදේ ස්වභාවය තේරුම් ගෙන රහතන් වහන්සේ නමක් බවට ද පත් විය. කරුණාවේ බලය මින් පැහැදිලි වේ.

නිදසුනක් ලෙස ඔබ නොකී දෙයක්, නොකළ දෙයක් ඔබ කළා යැයි ඔබේ හිතවතකු විසින් ආයතන ප්‍රධානියාට පවසා ඇත්නම්, මෙලෙස අයහපත් දේ කිරීම, අනෙකා පහත් කර තමා උසස් කොට කතා කිරීම, කේලාම් කීම පුහුදුන් මිනිසුන්ගේ ස්වභාවයක්. ඒ නිසා මා කලබල නොවිය යුතුයි. තරහ නොගත යුතුයි ආදි ලෙස ඔහු පිළිබඳ කාරුණාව හා උපේක්ෂාව උපදවා ගත යුතු යි.

තෙවැනි උපක්‍රමය වන්නේ උපේක්ෂාව ඇති කරගැනීම යි. උපේක්ෂාව යනු කිසියම් පුද්ගලයෙක්, දෙයක් හෝ සිද්ධියක් පිළිබඳ විශේෂ ඇල්මක් ඇති කර නොගෙන මැදහත් සිතින් බැලීමයි. ලාබ, අලාබ, යස,අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක යන අටලෝ දහමෙහි කම්පා නොවී සිටීම යන්න ද උපේක්ෂාව යනුවෙන් පෙන්වා දිය හැකි ය. ඔබට චෝදනා කරන, ඔබට නින්දා කරන පුද්ගලයන්ට මෙන් ම ඔබ ප්‍රශංසා කරන, ඔබ අගය කරන පුද්ගලයන් පිළීබඳ ව ද මැදහත් සිතින් කටයුතු කිරීම මෙහි දී අපේක්ෂිත ය.

සිව්වැනි උපක්‍රමය වන්නේ, ඒ පිළිබඳ නොවිමසා මෙනෙහි නොකර සිටීම යි. සාමාන්‍යයෙන් බොහෝ විට අප කරන්නේ තමාට අයහපතක් සිදු වූ විට ඒ ගැන සිත සිතා දුක්වීම හෝ හිතවතුන්ට පවසමින් කෝපය තව තවත් වර්ධනය කර ගැනීම යි. අසවලා මට බැන්නා, අපහාස කළා, හිංසා කළා, මා පැරදවූවා, මගේ දේ පැහැර ගත්තා මේ ආදි වශයෙන් කල්පනා කරන පුද්ගලයාගේ සිතේ ද්වේෂය, වෛරය ඇති වෙනවා. ඇතැම් විට එකී පුද්ගලයා සමඟ කතා නොකර සිටියත්, අමනාප වී වසර ගණනාවක් ගත වුවත් ඔහු කළ කී දේ පිළිබඳ සිහිපත් කරන්නේ නම් ද්වේෂය වර්ධනය වෙනවා. එබැවින් ඔහු කළ කී නරක දේ සිහිපත් වන්නේ නම් කෙසේ හෝ ඔහු ඔබට පුංචිම හෝ උපකාරයක් කර ඇත්නම් එ් පිළිබඳ පමණක් මෙනෙහි කරන්න. ඒ මන්ද? එසේ නොවුනහොත් ඒ ද්වේෂය, වෛරයක් බවට පත් ව එය බද්ධ වෛරයක් බවට පත් ව සසර පුරාම පැමිණෙන බැවිනි.

ඉහත උපක්‍රම හතරම සිදු කළත් ද්වේෂ සිතුවිලි යටපත් නොවන්නේ නම් පස්වැනි උපක්‍රමය ලෙස ක්‍රියාවට ලැබෙන ප්‍රතික්‍රියාව පිළිබඳ සිතන්න. වපුරන බීජවලට අනුව අස්වැන්න ලැබෙන්නාක් මෙන් ඔහු කළ දේ ඔහුටත් මම කරනා දේ මටත් විපාක දේ යන්න සිතා ඔබ මෛත්‍රිය පුහුණු කරන්න.

වෛරී සිතිවිිලි ඇති කරදරකාරී මිනිසුන් හඳුනාගෙන ඔවුන් සමඟ සතුටින් කටයුතු කිරීමට ඔබට මේ කරුණු ප්‍රයෝජනවත් වනු ඇත. මේ ලෝකයේ කිසිම කලෙක වෛරයෙන් වෛරය නොසන්සිඳෙන අතර මෛත්‍රියෙන් ම වෛරය සන්සිඳේන බව මන්ත්‍රයක් මෙන් සෙත් කවියක් මෙන් නිරන්තරයෙන් සිහි කරන්න. එයම ඔබට දෙලොව යහපත උදා කරනු ඇත.

 

 තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී

උඩුමලගල ආදිච්චවංස මූලික පිරි‍වනේ පරිවේනාචාර්ය

රාජකීය පණ්ඩිත, අධ්‍යාපනපති, දර්ශනපති

කොට්ටවගම ධම්මජෝති හිමි

 මධුර ප්‍රභාත් ගමගේ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?